ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ආණ්ඩුව අරගලයේ තරුණයන් දඩයම් කරනවා

62

විපක්‍ෂ නායක සජිත් කියයි

මේ රටේ තරුණ පරම්පරාව දැවැන්ත යුග පෙරළියකට නායකත්වය ලබාදුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට අගාධයට දැමූ ජනාධිපතිවරයා පලවා හැරීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙසේ වෙතත් ඒ දැවැන්ත යුග පෙරළිය සහ ජන අරගලය දියත් කළ තරුණ පරම්පරාවට එරෙහිව රාජ්‍ය මර්දනය දියත් වෙමින් පවතින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ආණ්ඩුව ඔවුන් දඩයම් කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව අද තරුණයන් දඩයම් කරන යුගය බිහි වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මොහොත වන විට වසන්ත මුදලිගේ ඇතුළු කිහිප දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි ද පැවසීය.

තම තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීමේ වරදට තරුණයන්ට එරෙහිව ආණ්ඩුව සලකන්නෙ මෙසේ දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා වහාම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඉවත් වන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවද පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම අර්බුදයන්ට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නූතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහජනතාව විසින් ඉල්ලා සිටින සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති තරුණ ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවේදී හෙතෙම මේ බැව් පැවසීය.

තරුණ සංවිධාන නියෝජිතවරුන්, දේශපාලනඥයින්, අධ්‍යාපනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. මෙම කාර්යයට අනුබද්ධ ප්‍රතිසංස්කරණ සඳහා මහලේකම් කාර්යාලයක්, විපක්ෂ නායක කාර්යාලයේදී විවෘත කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment