ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක්

97

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

නව පනත සකස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන හෙරිල් පුල්ලේ, නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් යුත් කමිටුවක් විසින් පනත සකස් කරමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය.

එම කමිටුව නව පනත සකස් කර ජනවාරි 31 වැනිදාට පෙර අධිකරණ අමාත්‍යාංශයට භාරදෙන බවත්, ඉන්පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති 08ක් වැනි කාලයකින් සම්මත කර ගත හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වනවිට එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් 14 දෙනකු සිරදඬුවම් විඳින බවත් ඉන් 08 දෙනකු අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය. තවත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් 16 දෙනකු සැකකරුවන් ලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීම කඩිනම් කරන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් කී ඇමැතිවරයා එම සැකකරුවන් මහ බැංකු බෝම්බය, දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කිරීම, හිටපු යුද හමුදාපති වරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට උත්සහ දැරීම වැනි ඉතා සංවේදී සිද්ධිවල සැකකරුවන් බවත් කීවේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment