ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු රිමාන්ඩ් කිරීමේ බලයක් අධිකරණයට නැහැ

265

ඇමැති ජී. එල්. පීරිස්

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු රිමාන්ඩ් කිරීමට අධිකරණයට බලයක් ලබා නොදෙන බවත්, එය එසේ කළහොත් විවිධ ගැටලූ ඇති විය හැකි බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 වැනිදා) පැවසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (22 දා) පෙරවරු 10 ට රැස්විණි.

නිවේදන, ලිපි ලේඛන, වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ දිනට නියමිත විවාදය ඇරඹිණි.

විවාදය ආරම්භ කරමින්
විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීමට සිදුව තිබෙනවා. රජය මේ සම්බන්ධයෙන් පවතින නීති සමස්තයක් ලෙස සමාලෝචනයක් කරනවා. සියලූ දේ ආවරණය වන ලෙස නීති සම්පාදනය කළ යුතුයි. ඒකට අපට කාලය අවශ්‍ය වෙනවා. රජයේ අනෙකුත් ආයතනවල අදහස් විමසා මේ ගැන කටයුතු කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ රට දිගු කාලයක් තිස්සේ මේ සංශෝධනය කරන තෙක් බලා සිටිනවා. 1979 පැන වූ පනතක් මෙය. සමස්ත නීති පද්ධතිය සම්බන්ධයෙන් සලකා මේ ගැන කටයුතු කරනවා. මේ යෝජනාවලින් ඉදිරිපත් කරන සියලූ සංශෝධනවලින් වෙනසක් විය යුතුයි. පවතින නීතියේ වර්ධනයක් අපි අපේක්ෂා කරනවා. සාධාරණ මනසක් සහිත පුද්ගලයකුට මානව අයිතීන් ගැන වන බලපෑම යනාදිය ගැන පැහැදිලි අදහසක් ගත හැකියි. මෙම සංශෝධන සරල බහුතරය මඟින් සම්මත කළ හැකියි. අනාගතයේ දී ස්ථාපිත කරන ලද නිශ්චිත නියමයක් අනුව එදිනෙදා විභාග කරනවා. එසේ නොවන්නේ නම් මහාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතුයි. මේ නඩුව ඉක්මනින් විමසා බලා අවසන් කළ යුතු බවට මහාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතැම් විට දැනුම් දෙනවා. පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ දී අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු තිබෙනවා. මහෙස්ත‍්‍රාත්වරයාට ඒ සම්බන්ධයෙන් දැනුම් දිය යුතුයි. ශාරීරික, මානසික හිංසනය ගැන නිර්වචනවලින් පුළුල් පරාසයක් ආවරණය වෙනවා. කිසියම් පුද්ගලයකු රඳවා ඇති අවස්ථාවක පැමිණිල්ලක් කරන්නට අවශ්‍ය නම් එය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට මහෙස්ත‍්‍රාත්වරයා කටයුතු කළ යුතුයි. වධබන්ධනයට ලක් වීමක් සම්බන්ධයෙන් ලක්ෂණ තිබේ නම් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඒ වාර්තාව මහෙස්ත‍්‍රාවරයාට ඉදිරිපත් කළ යුතුයි. මම තවත් සංශෝධනයක් ඉදිරිපත් කරන්න කැමතියි. අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අනුව මහෙස්ත‍්‍රාත්වරයාට ස්ථානය වෙනස් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලයන්ට සැලකීම ගැන මඟ පෙන්වීමට පුළුවන්.

රාජ්‍යයන්වල මේවා පිළිගෙන තිබෙනවා. යම්කිසි පුද්ගලයකුගේ රඳවා ගැනීමේ අයිතිය සහ ඒ පුද්ගලයාට නීතිඥවරයකුගේ සහාය ලබා ගැනීම ගැන සඳහන් කර තිබෙනවා. උසාවියට නඩුව ගෙන ඒමට පෙර බොහෝ දේ වෙන්න පුළුවන්. ඊට පෙර නීතිඥවරයකුගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. රඳවා තබා ගෙන සිටින පුද්ගලයකුට ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වෙනවා. එය මානසික කරුණක්. හැම සංශෝධනයක්ම ඉතා වැදගත්. දැනට තිබෙන විධිවිධානවලට වඩා වැදගත් සංශෝධනයක් සිදුව තිබෙනවා. සංශෝධනවලින් කිසි වෙනසක් නොවන බවට කිව නොහැකියි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට බලයක් නැහැ අදාළ පුද්ගලයා රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන්. යුක්තිය වෙනුවෙන් තීරණයක් ගැනීමේ අයිතිය තිබෙනවා. ඇප ලබාදීම ගැන ක‍්‍රියාපටිපාටියක් තිබෙනවා. අධිකරණයට එම බලය දුන්නොත් එය

ගැටලූවට ලක්විය හැකියි. මාධ්‍යවේදීන්ගේ අයිතීන් පිළිබඳව බලන විට එය ඉතා වැදගත්. මාධ්‍යවේදියකු රඳවා තබා ගැනීමේ කාලය මෙම සංශෝධනවලින් මාස 18 මාස 12 ක් දක්වා අඩු කර තිබෙනවා. පුද්ගලයන් 81 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. එක් එක් නඩුවල පැහැදිලි අධ්‍යයනයක් සිදු කර රඳවාගෙන සිටි පුද්ගලයන් නිදහස් කළා. ඔවුන් දිගු කාලයක් තිස්සේ රඳවා ගත් පිරිසක්. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුවිශේෂ අවස්ථාවලදී යොදා ගැනීම කළ හැකියි. ආරක්ෂාව සහ නිදහස අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. දේශපාලන පක්ෂ කුමක් වුවත් මේ සංශෝධනයන්ට සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. අලූත් නීතියක් අපි සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment