ත්‍රස්තවාදී ක්‍රියාවක් කළොත් මරණීය දණ්ඩනය ස්ථිරයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

125

ලොව දක්‍ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කරගෙන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනෙනවා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවත්, කුමන ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට වුවත් අනිවාර්යෙන් මරණීය දණ්ඩනය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්තල දී පසුගියදා පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ‘කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂලා විසින් අනාථ කළ බවත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේවල් යටගැසූ බවත්, සමහර පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාව කියා එළියට නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවත්, කුමන ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට වුවත් අනිවාර්යෙන් මරණීය දණ්ඩනය ලබාදෙන බවත් පැවසීය. මරණීය දණ්ඩනය ලබාදීම ලිබරල් මතවාදයට විරුද්ධ යැයි පවසන අයට කියන්න ඇත්තේ කුඩු, මත්ද්‍රව්‍ය නිසා පාසල් සිසුන් පවා ඊට ගොදුරු වී ඇති බවත්, එබැවින් සිංගප්පූරුවේ පවතින නීති ගෙනැවිත් මත්කුඩු ජාවාරමේ යෙදී සිටින අය විනාශ කරන බව ද පැවසීය.

මීට පෙර සිටි නායකයෝ මෙන් ටෙලිෆොන්ටර් ඉදිරිපිට සිට කතා කිරීම, යම් අයකුගේ අධීක්ෂණය යටතේ කතා කිරීම, කතාවෙන් පසු සංස්කරණය කර කතාව නැවත සකස් කිරීම ආදිය තමා ළඟ නොමැති බවත්, තමා කියන හැමදේම හදවතින් එන අදහස් බවත් ගමේ භාෂාවෙන් කියනවා නම් බොක්කෙන්ම එන අදහස් බවත්, මේ කියන හැමදේම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය වත්තල, ජාඇල, කටාන, මීගමුව වැනි බල ප්‍රදේශවල දසදහස් ගණන් අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අයිති කර ගන්න යන්න මොහොතක මේ සඳහා මෙතෙක් විරෝධය පෑවේ කාදිනල්තුමා සහ සමගි ජන බලවේගය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ජනතාව වෙනුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ මධ්‍යම – ප්‍රදීප් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment