ත‍්‍රිකෝණ මඩුවේ අක්කර 3000 ක් මකර කටට පරිසරවේදීහු අනතුරු අ`ගවති

423

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ත‍්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතයට අයත් අක්කර 3000කට ආසන්න වන බිම් ප‍්‍රමාණයක් නව වාණිජ ඉඩම් සඳහා ලබා ගැනීමට මේ දිනවල පරිසර බලපෑම් තක්සේරුවක් ලබා ගන්නා බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

මේ හේතුවෙන් ත‍්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අහිමිවීමේ අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

ශ‍්‍රී ලංකාවේ දැනට නොවෙනස්ව කණ්ඩනය නොවූ වනජීවී කලාප එකිනෙකට යාව පවතින්නේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිත වන බිම්තීරුව පමණක් බව පෙන්වාදෙන පරිසරවේදීහු දැනට මහවැලි අධිකාරිය විසින් මෙසේ වාණිජ ඉඩම් ලෙස අත් පත් කර ගැනීමට සැරසෙන්නේ 1986 ඔක්තෝබර් 24 දා ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ ත‍්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතයේ ඉඩම් බව පවසති.

මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කරමින් තිබෙන බවත්, මේ හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අලි මිනිස් ගැටුම් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බවත් ඔවුහු කියති.

‘‘පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවතින්නේ අපූරු පරිසර පද්ධතියක්. විශේෂයෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානය, ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය එකට යාකරන ස්වභාව රක්ෂිතය තමයි ත‍්‍රිකෝණමඩු. අලි ඇතුන්ගේ ස්වභාවික සංචරණ රටාවම මේ නිසා කණ්ඩනය වෙලා ඉදිරියේදී බරපතළ අලි මිනිස් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ආශ‍්‍රිතව දෙන්න යන වාණිජ ඉඩම්වල පදිංචියට එන හෝ වගා කිරීමට හෝ එහි යන මිනිස්සුන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වෙන්න පුළුවන්.

මේ පරිසර බලපෑම් තක්සේරුව කරන්නේ ඔය කලාපය අත්පත් කර ගැනීමටයි. මහවැලි අධිකාරිය ත‍්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතය ඒ අයගේ ඕනෑ එපාකම්වලට අල්ලා ගන්නයි මේ සූදානම් වෙන්නේ. මහවැලි මහ සැලැස්ම තුළ ස්ථාපිත කර තිබෙන වන බිම් මේ විදිහට අත්පත් කර ගන්න දෙන්න පුළුවන් කමක් නෑ. මෙය වහා නැවැත්වීමට පියවර ගත යුතුයි’’ යැයි පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.

මහවැලි අධිකාරියෙන් ආරම්භ කිරීමට සූදානම් නව මහවැලි ඒකක 7කට මෙම වාණිජ ඉඩම් කට්ටි ලබා ගැනීමට සැරසෙන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත්ව තිබූ කන්දකාඩු හා ත‍්‍රිකෝණ මඩු ප‍්‍රදේශවල ඉඩම් බවද වාර්තා වී ඇතැයි පරිසර සංවිධාන කියයි.

‘‘මේ වාණිජ ඉඩම් ටික ගන්න යන්නේ ත‍්‍රිකෝණමඩු සහ කන්දකාඩු සත්ත්ව ගොවිපළවල් විදිහට ගැසට් කරපු බිම් කියලා අඟවමින්. හැබැයි ත‍්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය ගැසට් කළේ 1986 වසරේ. එය වනජීවී කලාපයක් විදිහට එතැන් සිට සැලකෙන්නේ. ඒ නිසා වන සත්ත්ව වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනත (සංශෝධිත* මගින් මෙය වනජීවී කලාපයක් ලෙස ප‍්‍රකාශ කර තියෙනවා. එහෙම මහවැලියට අත්පත් කර ගන්න බෑ.’ යැයිද සජීව චාමිකර මහතා පැවසීය.

මේ පිළිබඳව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්. එල්. පී. එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

‘‘ත‍්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතයේ ඉඩම් පිළිබඳව පරිසර බලපෑම් තක්සේරුවකට වඩා මහවැලි අධිකාරියෙන් ඒ අයගේ ඉඩම් හා වනජීවී කලාප ආශ‍්‍රිත පේ‍්‍රරණ කලාප ආශ‍්‍රිතවයි මේ තක්සේරුව කරන්නේ. කැම්පස් එකේ මහාචාර්යවරයකුගේ ප‍්‍රධානත්වයෙන් මෙම පරිසර බලපෑම් තක්සේරුව සිදුවන බවට මම දැනුවත්. නමුත් ඉඩම් පිළිබඳ තීරණ ඉහළ පෙළේ තීරණ මතයි සිදු වෙන්නේ. මට ඒ ගැන තීරණ ගන්න බෑ. මම හිතන්නේ ඒක ඉහළින් තීරණය කරාවි’’

පින්තූරවල දැක්වෙන්නේ එහි සිතියම් 2කි.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment