ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් තියනවද කියා හරියට කියන්න

149

පී. එච්. අයි. සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට කියයි

ත්‍රිපෝෂ සමාගමෙන් නිපදවා බෙදාහැර ඇති ත්‍රිපෝෂ පිටිවල බරපතළ රෝගාබාධ ඇති කිරීමේ හැකියාව පවතින විෂකාරකයක් වන ‘ඇෆ්ලටොක්සින්’ අඩංගුව ඇත්දැයි යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්. අයි. බෝපිටියගේ මහතා පැවසීය.

අදාළ විෂකාරකය අඩංගු වීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට බෙදාහැර තිබූ ත්‍රිපෝෂ පැකට් නැවත ත්‍රිපෝෂ සමාගම වෙත ගෙන්වාගෙන ඇති බවට තොරතුරු තම සංගමය සතුව ඇති බවත් එම ත්‍රිපෝෂ පැකට්වල ‘ඇෆ්ලටොක්සින්’ විෂකාරකය පැවතිය යුතු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව පැවතීම නිසා පරිභෝජනයට නුසුදුසු බව තම නිගමනය බව බෝපිටියගේ මහතා කීවේය.

මේ අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසනුයේ කල් ඉකුත්වීමේ ගැටලුවක් මත ත්‍රිපෝෂ පැකට් යම් ප්‍රමාණයක් නැවත සමාගම වෙත ගෙන්වා ගත් බවට තොරතුරු ලැබී ඇතත් ‘ඇෆ්ලටොක්සින්’ හෝ වෙනත් විෂකාරකයක් අන්තර්ගත වීම නිසා ත්‍රිපෝෂ පැකට් රජයේ වෛද්‍ය සායනවලින් ඉවත්කරන ලෙසට තම නිලධාරීන් වෙත කිසිදු දැනුම් දීමක් මෙතෙක් කර නොමැති බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment