ත්‍රිරෝදයකින් ගොස් කොට්ටාවේදී තරුණයකුට සුද්දෙ දැමූ රාලහාමිලා 4 දෙනා මාට්ටු

336

කොල්ලකෑ රන් මාලය සහ ජංගම දුරකථනයත් සොයාගනී

කොට්ටාව විද්‍යාල හන්දියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට මාලබේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.

සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි. කොස්තාපල්වරුන් තිදෙනාගෙන් අයකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලිසියට අලුත් අයෙක් බවත් නිලධාරියකු පැවැසීය.

කොල්ල කෑමට යොදාගත් ත්‍රීරෝද රථය සහ කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය මඟින් සොයාගෙන ඇත. වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඉකුත් 20 වෙනි දින කොට්ටාව විද්‍යාල හන්දියේ පිහිටි සිය සහෝදරියගේ

නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණ තිබූ මෙම සැකකරුවන් සිව්දෙනා මාර්ගයක් අසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. එම තරුණයා මේ පිළිබඳ ඉකුත් විසි එක් වෙනි දින සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කිරීමේදී කොල්ලකෑමට පැමිණි තිරෝද රථය මාලබේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකුට අයත් ත්‍රිරෝද රථයක් බවට අනාවරණ වූ බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ජී.එස්. ජයමහ මහතාගේ උපදෙස් මත කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. කේ. සුභාෂණ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග, පොලිස් පරීක්ෂක ලාල් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment