ත්‍රිරෝද රථ රියැදුරා විදෙස් කතගෙන් නොමනා ගාස්තුවක් ඉල්ලලා!

649

ප්‍රංශ ජාතික කාන්තාවකගෙන් කුලී ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට එක්වන්නැයි අරාධනා කළ ත්‍රිරෝද රථ රියැදුරකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර තිබේ.

එසේ නිදහස් කළ සැකකරු ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි. පසුගිය ජනවාරි 02 දා සිදුවී තිබූ මෙම සිද්ධිය පැමිණිල්ලට අනුව සැකෙවින් මෙසේය.

රැකියා වීසා මත මෙරට රැඳී සිටි 35 හැවිරිදි අදාළ ප්‍රංශ ජාතික කාන්තාව සිද්ධිය වූ දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී කුලී ගමනක් සඳහා කුලී ගමන් සේවා සපයන ආයතනයකට ලබාදුන් පණිවිඩයට අනුව පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ගමනාන්තය සඳහන් කර බැංකු කාඩ්පතක් මගින් මුදල් ගෙවිය හැකිබව පවසා තිබේ. මෙහිදී එය ප්‍රතිෂේප කර තිබෙන රියදුරු ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට ඇයට ආරාධනා කර තිබේ.

මෙහිදී එම රියැදුරුට බැණවැදී එලවා දැමු ඇය අදාළ සිද්ධිය ඉන් දින දෙකකට පසු එනම් ජනවාරි 04 දා ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම කාර්යාංශය අකුරණ පදිංචිකරුවකු වන 28 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මියගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතළු නිලධාරින් පිරිසක් විසින් පරීක්‍ෂණ කටයුතු සිදු කරයි.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment