ත්‍රිල් එකටද? නොදන්නා කමටද? මාසයකට මරණ පහක්… අලුත්ම උවදුර “කෙම්සෙක්ස්”

1908

ඇඟ හිරි වැටෙන අන්දමේ ප්‍රවෘත්ති කිහිපයක් පසුගිය සති කිහිපය තුළම විද්‍යුත් – මුද්‍රිත මාධ්‍ය දෙකෙහිම වාර්තා වී තිබෙනු දක්නට ලැබිණි. එහෙත් බොහෝ දෙනෙක් ඒ ගැන ඒ තරම් අවධානයක් යොමු කළ බවක් දකින්නට තිබුනේ නැත. සමාජයේ බොහෝ දෙනෙක්ද මේ ගැන විවෘත සංවාදයකට යන බවක් පෙනුනේද නැත. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී සහ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර යන දෙපල මතු කරන මේ කාරණය රටේ අවධානය යොමු විය යුතු කරුණක් ලෙස අපි විශ්වාස කරමු. කතාව සරලව මෙසේය.

“ශ්‍රී ලංකාවේ කොළඹ සහ ගම්පහ නගර ආශ්‍රිත තරුණ තරුණියන් අතර රසායනික ලිංගික ක්‍රියා ඉහළ ගොස් ඇති බවත්, ලිංගාශ්‍රිත රෝග බෝ වීම ඉහළ යෑමට එය හේතුවක් වී ඇති බවත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන බොහොමයක් රෝගීන් එම රෝගයට ගොදුරු වූ ආකාරය හෙළි නොකරන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය.”

‘රසායනික ලිංගික’ ක්‍රියා එසේත් නැතිනම් ‘කෙම්සෙක්ස්’ (chemsex) ලෙස වඩාත් ප්‍රචලිත ලිංගික ක්‍රියාවන් මේ වන විට වයස අවුරුදු 18 – 30ත් අතර තරුණ තරුණියන් අතර බහුලව දක්නට ලැබෙන බව වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළේය.

● මොකක්ද මේ කෙම්සෙක්ස්?

“කෙම්සෙක්ස්”, පිළිගත් වර්ගීකරණයට ලක් නොකළ, තවත් එක් ආකාරයක ලිංගික හැසිරීමක් ලෙස හඳුන්වාදිය හැකියි. මෙහිදී ඉතා පැහැදිලි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සහ ලිංගික ක්‍රියාකාරකම් සඳහා වන නැඹුරුව කැපී පෙනෙනවා. ලිංගික ආස්වාදය ඉහළ නංවා ගැනීමටත්, දීර්ඝ කාලයක් එම ක්‍රියාවේ නිරත වීමටත්, සියලු ස්වයං පාලනයන්ගෙන් මිදීමටත් මේ ක්‍රමය භාවිතයට ගනු ලබන බව. බොහෝවිට පිරිමි පිරිමි සමග සිදුවන සංසර්ගය සඳහා කෙම්සෙක්ස් ක්‍රමය භාවිත කරයි. ඔවුන් සිය ලිංගික අත්දැකීම් පහසු කර ගැනීමට, දිගු කර ගැනීමට හෝ තීව්‍ර කර ගැනීමට ලිංගික ක්‍රියාකාරම්වලට පෙර හෝ අතරතුර මත්ද්‍රව්‍ය ලබා ගනු ලබයි.

“ක්‍රිස්ටල් මෙත්, ගැමා හයිඩ්‍රොක්සිබියුටිරේට් හෙවත් ඨ්‍යඊ, සහ මෙපඩ්‍රෝන්” නම් මත්ද්‍රව්‍යයන් භාවිතයෙන් කාම ආශාව ඉහළ යන අතර නිද්‍රාශීලීව කාලය ගත කිරීමට ඇතිවන නැඹුරුතාව වැඩි කරනු ලබන බව සඳහන් වනවා. කෙම්සෙක්ස් පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කණ්ඩායම් ලිංගික ක්‍රියාකාරකම්වලට අධික නැඹුරුවක් ඇති වීම හෝ දින ගණන් පවතින මත්ද්‍රව්‍ය සහිත සාද පැවැත්වීමට පෙළඹීම බව යි. පර්යේෂණය සඳහා සහභාගි වූ බොහෝ පිරිසක් ප්‍රකාශ කර තිබුණේ, ඔවුන් යම් ආකාරයක මානසික බිඳවැටීමකට ලක් වී සිටි නමුත් කෙම්සෙක්ස් සඳහා ආරාධනා ලැබී ඊට සහභාගි වූ පසු එම හැඟීම් ඉවත්ව ගිය බව යි. මීට අමතරව කණ්ඩායම් වශයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවන විට ඔවුන් පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග කිසිවක් පිළිබඳ සැලකිලිමත් නොවූ බවත් සඳහන් කර තිබෙනවා. එම හේතුව නිසා සමාජය තුළ ්‍යෂඪ, සිෆිලිස්, ගොනෝරියා වැනි ලිංගාශ්‍රිත රෝග වැඩිවීමේ අවදානමකට ලක්ව ඇත.

● කෙම්සෙක්ස් වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි?

කෙම්සෙක්ස් සඳහා හුරු වූ බොහෝ දෙනා සතුව පොදු සමානකම් කිහිපයක් හඳුනාගැන්මට හැකි වූ බව පර්යේෂණ වාර්තා තුළ සටහන් වේ . ඒ අනුව කෙම්සෙක්ස් සඳහා යොමු වූ බොහෝ දෙනා, සමරිසි හෝ ද්විලිංගික නැඹුරුතාවක් සහිත පිරිස් වන අතර ඔවුන් අයිස් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය සහ මත්පෙති සඳහා ඇබ්බැහිවූවන් වේ. මොවුන් රාත්‍රී සමාජශාලා, සාද වැනි දෑ සඳහා ලොල් බවක් දක්වන පිරිස් වේ. සමරිසි පිරිස් මුණගැස්වීම සඳහාම නිර්මාණය කර ඇති දුරකථන ඇප් හෝ වෙබ් අඩවි ඉතා බහුලව භාවිතයට ගනු ලබන පිරිස් වන අතර බාහිර සමාජයෙන් දුරස්ව, මානසික ආතතිය වැනි කාරණාවලින් පීඩා විඳින පිරිස්ද යන බවට හඳුනාගැනීමට හැකිවී තිබෙනවා.

මෙවැනි අනාරක්ෂිත චර්යා සඳහා පෙළඹුණු පිරිස් බොහෝදුරට මෙම ක්‍රියාවලිය සඳහා ඍජුව සම්බන්ධ වීමේ සම්භාවිතාව ඉහළ යි. අන්තර්ජාලය භාවිතය ඉතා වේගයෙන් සමාජගත වීම සමග ඨඡී තාක්ෂණය උපයෝගී කරගන්නා සමරිසි ඇප් භාවිතය මඟින්, ලිංගික ක්‍රියාකාරකම් සඳහා සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම පහසුවීමත් සමග ශ්‍රී ලංකාව තුළ පවා කෙම්සෙක්ස් අර්බුදය ක්‍රමයෙන් හිස ඔසවන ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මෙහි ඇති බරපතළම ගැටලුව වන්නේ ඔවුන් නාඳුනන පිරිස් අතරේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඉතා ඉහළ සහ නිදහස් අවකාශයක් විවරවීම යි.

● කෙම්සෙක්ස් ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ මාර්ගයක් ද?

කෙම්සෙක්ස් ආශ්‍රිතව සිදුකළ බොහෝ පර්යේෂණවලින්, ඒ හරහා ලිංගාශ්‍රිත රෝග පැතිරීම සිදුවන බව ඉතා පැහැදිලිව ඉස්මතු වී ඇත. කෙම්සෙක්ස් සඳහා පෙළඹුණු බොහෝ පිරිස් මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසයට (්‍යෂඪ) ගොදුරු වීම, ඒඩ්ස් මට්ටම දක්වා වෛරසය වර්ධනය වීම, හා හෙපටයිටීස් ක්‍, ක්ලැමීඩියා, ගොනෝරියා, සිෆිලික්ස් වැනි මාරාන්තික රෝග සඳහා නිරාවරණය වීම සුලබ බව හඳුනාගෙන ඇත. මෙහි ඇති බරපතළම කාරණාව වන්නේ, කෙම්සෙක්ස් සඳහා ඇබ්බැහිවූවන් තමා රෝග වාහකයෙක් බව නොදැන තවත් පිරිස් සමග පවත්වනු ලබන ලිංගික ක්‍රියාකාරකම් හරහා මෙම බරපතළ සමාජ ගැටලුව අසීමිත වේගයකින් සමාජගත වීම යි.

සමාජයේ ලිංගිකත්වය, ලිංගික රුචිකම්, සහ ලිංගික ප්‍රවණතා වැනි මාතෘකා පිළිබඳ කතාබහට ලක් කිරීමේ දී සංස්කෘතිය උලුප්පාගෙන දක්වන මැලිකමත් සහ පසුගාමී අදහස් මෙම තත්ත්වය පැතිරීම කෙරෙහි බලපා තිබෙන බව උපකල්පනය කළ හැකියි. මෙම නිසා එංගලන්තය වැනි ඇතැම් රටවල් මේ පිළිබඳ පර්යේෂණය කරන අතර, ආරක්ෂිත ලිංගික චර්යා පවත්වා ගැනීමේ වැදගත්ම, ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා ලබාදිය හැකි උපකාර වැනි කාරණා සමාජගත කිරීමට බොහෝ සෙයින් උත්සාහ කරනු ලබනවා. නමුත් අපේ රටේ බහුතරයකට තවමත් කෙම්සෙක්ස් පිළිබඳව හරි හැටි අවබෝධයක් නොමැත.

●ලංකාවේ දී ඔබට උපකාර ලබාගත හැකිද?

ත්‍රිල් එකටද? නොදන්නා කමටද? මාසයකට මරණ පහක්… අලුත්ම උවදුර "කෙම්සෙක්ස්"

අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය මඟින් හඳුන්වා දී ඇති 1984 අංකය ඇමතීමෙන් ඔබට මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමක දී උපකාර ලබාගත හැකියි. දිවයින පුරා පවතින රජයේ ප්‍රධාන රෝහල් තුළ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම නවතා ගැනීමට උපකාර ලබා දෙන සායන පවත්වනු ඇත. ඕනෑම කෙනෙකුට ඒ සඳහා සහභාගි විය හැක. ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය හරහා සහ දිවයිනේ ප්‍රමුඛ රජයේ රෝහල්වලින් ඔබට නොමිලේ සියලුම ලිංගාශ්‍රිත රෝග සඳහා පවත්වනු ලබන පරීක්ෂණ සිදුකරගත හැකියි.

මීට අමතරව සියලුම ආකාරයේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් දිවයිනේ ඕනෑම රෝහලකින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. මෙම සියලු කාරණා ඉතා රහසිගත හා පුද්ගලික මට්ටමෙන් පවත්වා ගැනීමට රජය කටයුතු සලසා ඇති අතර කිසිදු ආකාරයකට පෞද්ගලිකත්වයට හානි වීමක් සිදු නොවේ.

ඔබත් වගකිවයුතු පුරවැසියන් ලෙස අනාරක්ෂිත ලිංගික හැසිරීම්හි ඇබ්බැහි වී සිටින පුද්ගලයන් ඉන් මුදා ගැනීමටත්, ඔබ එවන් ඇබ්බැහියන්හි සමග සබඳතාවන් පවත්වන්නේ නම් ඒවායින් මිදීමටත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තමන්ටත් සමාජයටත් සිදුවන හානිය අවබෝධ කරගැනීමටත් දැනුවත්භාවයක් ඔබ සතුව තිබිය යුතු යි. මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වය තවදුරටත් සඟවා තැබිය යුතු මාතෘකා නොවේ. මේ එළඹ ඇත්තේ සමාජ චින්තනය වෙනස් කරන කාලයයි. මේ සඳහා විවෘත කතිකාවක් ඇති කිරීම තුළින් කැපී පෙනෙන ධනාත්මක වෙනසක් ඇති කළ හැකි බව නොඅනුමාන යි.

ලිංගිකත්වය යනු හුදෙක් මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය වූ ස්වභාවික ක්‍රියාවලියකි. නව යොවුන් වියට පා තැබීමෙන් පසු ලිංගික හැඟීම් උද්දීපනය විම ස්වභාවිකය. පිරිමි පුද්ගලයන් තමන්ගේ හැකියාව පිළිබඳ සැක මතු කරගෙන ඇති කරගෙන හැඩයි. තම ලිංගික සහකාරිය ඉදිරියේ පොරක් වීමට හෝ ලිංගික තෘප්තිය උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණින් බොහෝ දෙනා ලිංගික උද්දීපන පෙති භාවිත කරයි. නමුත් ඔබ ගන්නා ලිංගික උද්දීපන පෙති ඔබේ හදවත නතර කිරීමට සමත්වෙන බව ඔබ දන්නවාද?

“වෛද්‍ය උපදෙස්වලින් තොරව ලිංගික උත්තේජක ඖෂධ භාවිතයෙන් සිදු වන මරණවල ඉහළ යෑමක් නිරීක්ෂණය වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට පැවසීය.” ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීමත් මාත්‍රාව නොදැන භාවිත කිරීමත් මීට හේතු වී තිබේ. වයස අවුරුදු 20, 25 සහ 40, 45 යන කාණ්ඩවල පිරිස මෙම තත්ත්වයට වැඩි වශයෙන් යොමු වී ඇත. බොහෝ තරුණයන් අත්හදා බැලීම සඳහා මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කර තිබුණි. මෙම කරුණ පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ඇය පෙන්වා දෙයි. තවද වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ලිංගික උත්තේජනයක් භාවිත නොකරන ලෙසද ඇය ඉල්ලා සිටියි.

අවුරුදු 20, 30 තරුණයන් මෙවැනි ඖෂධ ගන්නේ අහවල් කාරණයකට ද යන්න ප්‍රශ්නයකි. වර්තමානයේ ෆාමසියක විටමින් ක්‍ පෙති මිලදී ගැනීම හා සමානව ලිංගික උත්තේජන පෙති මිලදී ගැනීමක් වාර්තා වේ .50පට /100පට ආදී වශයෙන් රුපියල් 100 ඉඳලා මෙවැනි පෙති මිලදී ගැනීමේ හැකියාව පවතී. මෙම පෙති නිර්මාණය කොට ඇත්තේ අව රුධිර පීඩනය වැනි ලෙඩ රෝග සඳහා වේ. නමුත් මෙම බෙහෙත්වල ඇති අතුරු ප්‍රතිඵලයක් ලෙස ලිංගික ප්‍රාණවත් බව ලැබේ. මේ හේතුව නිසා බොහෝ දෙනා මෙය ලිංගික උද්දීපන පෙත්තක් ලෙස සිතා පාවිච්චි කරයි. නමුත් කිසිවෙකුත් මෙමගින් සිදුවන අහිතකර ප්‍රතිඵල ගැන නොසිතයි.

මේ කියන කාරණය පුළුල්ව විමසා බැලිය යුත්තකි. සාමාන්‍යයෙන් ලිංගික උත්තේජන භාවිතය ගැන මීට පෙර සමාජය තුළ එතරම් කතාබහට ලක්වූයේ නැත. එහෙත් දීර්ඝ කාලයක් පුරා මේවා භාවිත නොකළ යුතු පිරිස් පවා භාවිතයට ඇබ්බැහි වී ඇති බවක් පෙනෙන්ට තිබේ.

අප මේ ගැන ඖෂධහල් කිහිපයකින් විමසා බැලුවෙමු.

‘ඔව් … වැඩි වශයෙන් මේවා මිලට ගන්න තරුණ පිරිසගේ වැඩිවීමක් තියෙනවා. මිලදී ගන්න ප්‍රමාණයත් වැඩිවෙලා තියෙනවා .

හැබැයි ඔය කියන විදිහේ සයිඩ් එෆෙක්ට්වත් මරණවත් වාර්තා වුණා කියලා අපි අහලා නෑ.”

කොළඹට ආසන්න ප්‍රධාන නගරයක ඖෂධහල් හිමියෙකු කීවේ එවැනි කතාවකි.

එහෙත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ නොමැතිව මේවා නිකුත් කිරීමට හැකියාවක් තිබේද යන්න අපි තවත් ඖෂධහල් හිමියෙකුගෙන් විමසා බැලුවෙමු.

‘මෙහෙමයි ….ඩොක්ටර් කෙනෙක්ගේ අනුමැතිය අරන් එන අයත් ඉන්නවා. ඒ හුඟ දෙනෙක් මොකක් හරි දුර්වලතාවක් තියෙන අය. හැබැයි එහෙම එන අයට වඩා නිකම්ම ඇවිත් ඉල්ලන අය වැඩියි. අපිට පුරුදු කස්ටමර්ලා ඉන්නවා. ඒ අය ගොඩක් කල් අපි ළඟට එනවා. දැන් කොල්ලෝ එනවා වැඩියි. එහෙම ලොකු අකරතැබ්බ වුණා කියලා අපිට කම්ප්ලේයින් මුකුත් ඇවිල්ලා නෑ.”

● වෛද්‍යවරුන් පුද්ගලයන්ට එවැනි උත්තේජක නිර්දේශ කරන්නේ ඇයි?

දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට, රෝගී තත්ත්වය නිසාම ඇති වන කායික දුර්වලතා වලදී ඔවුන්ට අඹුසැමියන් ලෙස එකතු වෙද්දි ඇතිවන ලිංගික දුර්වලතාවන් මගහරවා ගැනීමට ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ උත්තේජන ඖෂධ නිර්දේශ කරනු ලබනවා.

එවැනි ඖෂධයක් එවැනි රෝගියකුට නිර්දේශ කිරීමට කලින් වෛද්‍යවරුන් බොහෝ දුරට දියවැඩියාව පාලනයට අවශ්‍ය උපදෙස් මෙන්ම ව්‍යායාම වල නිරත විය යුතු ආකාරයන් පිළිබඳවත් දැනුවත් කරනු ලබනවා. එසේ නොමැතිව නිරෝගීව සිටින්නට හෝ වයස අවුරුදු 55ට වැඩි අයට උත්තේජන ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ රෝගී වයස, ඔවුන් භාවිත කරන ඖෂධ, නිරත වන රැකියාව, පෙළෙන රෝගී තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙනයි.

● උත්තේජන ඖෂධ ගැනීමෙන් ඇති වන අතුරු විපාක කවරේද?

ක්ලාන්තය, ශරීර අප්‍රාණික බව, හිස කරකැවිල්ල, දහදිය දැමීම, හිසරදය, රුධිර පීඩනය වැඩි වීම, හෘද ස්පන්දනය වේගය වැඩි වීම, උත්තේජක ඖෂධ භාවිතයෙන් සිතට දැනෙන බිය, සැක, සංකාව මනසට ඇති වීම.

මෙම සියලු සරල රෝගී තත්ත්වයන්ට අමතරව හෘදයට සැපයෙන ලේ සැපයුම අඩාල වීමේ දී ක්ෂණික හෘදයාබාධ තත්ත්වයක්, ක්ෂණිකව මරණය ඇති වන තත්ත්වයකුත් ඇති විය හැකියි. දීර්ඝ කාලීනව මෙවැනි ඖෂධ භාවිතයෙන් වකුගඩු, අක්මා සහ හෘද අකර්මන්‍යතාවලට පුද්ගලයා ගොදුරු විය හැකියි.

ඊට අමතරව සමේ රෝග, දද, කුෂ්ඨ ආදියද ලිංගික උත්තේජක ඖෂධ භාවිතා කරන්නන්ට නිතර ඇති වේ.

● මෙවැනි උත්තේජන ඖෂධවල ඇති ප්‍රමිතිය කෙබඳුද?

ඔබ භාවිතා කරන ඖෂධයක, විටමිනයක ඇසුරුම කියවා බැලුවහොත් ඖෂධය ගැන, අන්තර්ගතය ගැන තේරුම් ගත හැකියි. නමුත් ලිංගික උත්තේජක ඖෂධයක ඇසුරුමක් කියවා අන්තර්ගයත කෙබඳුද යන්න වටහා ගැනීමේ හැකියාවක් නැත. අද සමාජයේ මෙවැනි පෙති සඳහා ඉල්ලුම වැඩි නිසාම ව්‍යාජ නිෂ්පාදන රැසක් මෙවැනි ඖෂධ සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත. ඇතැම් නිෂ්පාදන මිල අඩු වුවත්, ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් වැළකී සිටීමට භාවිත කරන්නන් වග බලා ගත යුතුයි.

ලිංගික ක්‍රියාවලියේදි ඔබ ඒ පිළිබඳව තෘප්තිමක් වීමක් සිදුවන්නේ නැතිනම් හෝ ඔබේ ලිංගික ක්‍රියාවලිය නිසි පරිදි කරගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා කිසි දිනක මැලි නොවන්න. ලිංගිකත්වය විඳිය යුතුය. එයට වයස් සීමාවක් නොමැත. නමුත් ඔබ කරනා දේ පිළිබඳ සිහියෙන් හිඳිය යුතුය.

මල්මී රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment