ත්‍රීරෝද රථවලින් පැමිණ අනතුරක් සිදුකර මුදල් ගන්නා කොළඹ කුඩ්ඩෝ…

292

සිදුවන සියළු ත‍්‍රීරෝද රථ අනතුරු රඟපෑම්ය

අනතුරට බියවන අයගෙන් බලෙන් මුදල් ගන්නා ක‍්‍රමවේදයක්

කොළඹ අලුත්ම ජාවාරම

කොළඹ ප‍්‍රදේශයේ කුඩුගැසීමට පුරුදු පුද්ගලයෝ ඒවා පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමට කලින් කල විවිධ දේවල් සිදු කරති. මාල කැඞීම, පික් පොකට් ගැසීම, නිවෙස්වල වනා ඇති ඇඳුම් සොරකම් කිරීම, වසා ඇති නිවෙස්වලට පැනීම, සාප්පු සංකීර්ණ, වෙළෙඳසල් වලින් විවිධ භාණ්ඩ සොරකම් කිරීම, වාහනවල පැති කණ්ණාඩි ගැලවීම ආදිය කුඞ්ඩන් එකල සිට සිදු කළ ක‍්‍රියාවන් වේ. මෙරට බහුතරයක් ජනතාව කුඞ්ඩන් මෙවැනි දැ සිදුකරන බව දනිති. එලෙස ජනතාව දැනුවත් වීම නිසා කලක් යද්දී කුඞ්ඩන්ට මෙවැනි දෑ සිදු කිරීමට අපහසු විය. එයට තවත් ප‍්‍රබලම හේතුවක් වූයේ සෑම තැනකම පාහේ සීසීටීවී කැමරා සවිකර තිබීමයි.

මෙවැනි තත්ත්වයන් මත කුඞ්ඩන් කුඩු ගැසීම සඳහා මුදල් සොයා ගැනීමට විවිධ කූට උපක‍්‍රම භාවිත කිරීමට පෙළඹුණි. වාහන වලට බලහත්කාරයෙන් පැන අනතුරක් සිදු වූවායි හඟවා රියැදුරන් බයකර මුදල් කඩා ගැනීම ඉන් එක ක‍්‍රමයකි. කුඞ්ඩන් දෙතුන් දෙනකු එකතු වී මෙම ක‍්‍රියාව කොළඹ ප‍්‍රදේශයේ ජයටම සිදු කරගෙන ගියේය. සමහරවිට කුඩු ගැසීමට පුරුදු වූ කාන්තාවන් ද මෙම ක‍්‍රියාවට සම්බන්ධ වූවාය. කලක් ගත වෙද්දී මේ පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් වීමත් සමග කුඞ්ඩන්ට මෙම ක‍්‍රියාව දිගටම සිදුකරගෙන යෑමට අපහසු විය. ඒමනිසා කුඞ්ඩන් මුදල් සොයා ගැනීම සඳහා තවත් කූට උපක‍්‍රමයක් භාවිත කළේය. ඒ ත‍්‍රිරෝද රථවලින් පැමිණ වාහනවල ගැටී අනතුරක් සිදු වූවා යැයි පවසමින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමයි. පහතින් පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

අරුණ රාජිත කොළඹ රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පසුගිය සතියේ දිනක ඔහු සුපිරි වෙළෙඳසලකට පැමිණියේය. ඒ තම නිවසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීම සඳහාය. එලෙස භාණ්ඩ මිලදී ගත් ඔහු තම මෝටර් රථයට නැගී නිවස බලා පැමිණීමට පිටත් විය.

රාජගිරිය සිට වැලිකඩ දෙසට ඔහු මෝටර් රථය ධාවනය කළේය. ඒ සමඟම නලා ශබ්දය නගමින් පැමිණි ත‍්‍රිරෝද රථයක් ඔහුගේ මෝටර් රථය පසු කර මාර්ගය හරස් කර නැවැත්තුවේය. එක්වරම සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වූ අරුණ තම මෝටර් රථය මාර්ගය අයිනේ නතර කළේය. ඒ සමඟම ත‍්‍රිරෝද රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනකු ඔහුගේ රියැදුරු අසුන ළඟට පැමිණ මෙලෙස පැවසූහ.

‘‘මහත්තයා වාහනය හප්පලා ලස්සනට මාරු වෙනවා නේද?”.

‘‘කාගේ වාහනයක් ද?.”

‘‘කාගෙවත් නෙවෙයි මගේ ත‍්‍රීවීල් එක.”

‘‘ ඕගොල්ලන්ට පිස්සුද.? මගේ අතින් අනතුරක් සිදු වුණේ නැහැ.”

‘‘නිකං බොරු කියලා මාරු වෙන්න හදන්න එපා. අපි අහිංසක මිනිස්සු. එදා වේල හම්බ කරන් කන්නේ මේකෙන්.”

‘‘මම සැරයක් කිව්වනේ. මගේ අතින් එහෙම අනතුරක් සිදු වුණේ නැහැ කියලා. අනික මගේ කාර් එක නැවැත්තුවෙ ඕගොල්ලො එක දිගටම හෝන් ගහගෙන ආපු නිසා.”

‘‘එක දිගටම හෝන් ගහගෙන ආවේ මගේ ත‍්‍රීවීල් එක හප්පලා මාරුවෙන්න හදපු නිසා. මගේ මේ යාළුවා යන්තමට දැකලා තියෙන්නෙ.”

ඒ සමඟම ත‍්‍රිරෝද රථයේ සිට පැමිණි අනෙක් පුද්ගලයා ද අරුණට මෙලෙස පැවසුවේය.

‘‘මම හිටියේ පාර්කින් එකේ පොඞ්ඩක් ඈතට වෙන්න. මහත්තයා කාර් එක රිවස් කරන කොට අපේ ත‍්‍රීවීල් එකේ වැදුණා. එහෙත් මහත්තයා ඒක ගණන් නොගෙන හෙමිහිට මාරු වෙලා ආවා.”

එය ඇසූ අරැණ යළි යළිත් කල්පනා කළේ තමන් අතින් එලෙස අනතුරක් සිදු නොවූ බවයි. එමනිසා ඔහු නැවත වරක් ඔවුන්ට මෙලෙස පැවසුවේය.

‘‘මගේ අතින් එහෙම දෙයක් වුණේ නැහැ ඒක මට විශ්වාසයි. ඕගොල්ලන්ට වැරදීමක් වෙලා තියෙන්නේ.”

‘‘මහත්තයා වරද කරලා බේරෙන්න බොරු කියන්න එපා. අපි අහිංසක මිනිස්සු. කාර් එකෙන් බැහැලා එන්න හැප්පුන තැන අපි පෙන්නනම්.”

ඒ අනුව අරුණ තම මෝටර් රථයෙන් බැස ඔවුන් තිරෝද රථයේ පෙන්වූ ස්ථානය පරීක්ෂා කළේය. එහිදී ඔහුට දැක ගන්නට ලැබුණේ වම් පස බඳ ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයක් සිරී ඇති බවයි. එහෙත් එවැනි අනතුරක් සිදු වූ බවක් ඔහුට මතක නැත. එමනිසා අරුණ ඔවුන්ට මෙලෙස පැවසුවේය.

‘‘මේක මගෙන් අතින් සිදු වුන එකක් නොවෙයි. වෙන කාගෙ හරි ඉතින් උන එකක් වෙන්නැති. මට හොඳට මතකයි කාර් එක රිවස් කරනකොට වාහනයක වැදුණු නැති බව.”

‘‘වරද කරලා තව බොරුත් කියන්න එනවා. මේ මගේ යාළුවා ඇස් දෙකෙන්ම දැකලා තියනවා මහත්තයාගේ අතින් මගේ ත‍්‍රීවීල් එක හැප්පෙනවා.”

‘‘එහෙම කොහොමද වෙන්නේ. හැප්පුනා නම් මට දැනෙන්න ඕනනෙ. මොකද මම හරි පරිස්සමෙන් තමයි ඩ‍්‍රයිව් කරන්නේ. අද වන තුරු මගේ අතින් කිසිම අනතුරක් සිදු වෙලත් නැහැ.”

‘‘වැරදි කරලා බේරෙන්න ඔහොම තමයි කියන්නේ. ඇවිත් මහත්තයාගේ කාරෙකේ පිටුපස දිහා බලන්නකෝ.”

ඔවුන් දෙදෙනා එලෙස පැවසූ පසු අරුණ තම මෝටර් රථයේ පිටුපස පෙදෙස බැලූවේය. එවිට ඔහුට දැකගන්නට ලැබුණේ මෝටර් රථයේ ස්ථානයක එම ත‍්‍රිරෝද රථයේ වර්ණය ගෑවී ඇති බවයි. ඒ සමඟ ත‍්‍රිරෝද රථයේ හිමිකරු ඔහුට යළි මෙලෙස පැවසුවේය.

‘‘දැන්වත් පිළිගන්නවද වරද. දැක්කනේ මගේ ත‍්‍රීවීල් එකේ පාට කාර් එකේ ගෑවිලා තියෙනවා.”

‘‘මේක මට හිතාගන්න බැහැ.”

‘‘හිතාගන්න බැරි මොකද? තවත් බොරුවට රඟපාන්න එපා. මට මේක හදා ගන්න සල්ලි දෙන්න. අපි එදා වේලා කාලා ජීවත් වෙන්නේ මේකෙන්. රුපියල් දෙදහක් දෙන්න මේක හදාගන්න.”

‘‘දෙදහක් යන්නේ නෑ පොඩි සීරීමක් විතරයි නේ.”

‘‘දැන් හැම එකක්ම ගණන්. දෙදහටත් මේක

කරගන්න බැහැ. මම සාධාරණ ගානක් ඉල්ලූවේ. ඉක්මනට එක දෙන්න තවත් අපේ කාලේ කන්නැතුව.”

එම මිනිසුන් දෙදෙනාගෙන් බේරීමට බැරි තැන අරුණ රුපියල් දෙදහක් ඔවුන්ට දී එම ස්ථානය පිටවී ගියේය. එම පිටවී යන මොහොතේ ඔහු කල්පනා කළේ තමන් අතින් එවැනි අනතුරක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳවයි. පසුදින ද ඔහුට මෙය අමතක කිරීමට නොහැකි විය. එමනිසා ඔහු පෙරදින ගිය සුපිරි වෙළෙඳ සලට කළමනාකරුගේ අවසරය ඇතුව ගොස් සීසීටීවී කැමරා පරීක්ෂා කළේය. එහිදී දැකගන්නට ලැබුණු දෙයින් ඔහු පුදුමයෙන් පුදුමයට පත්විය.

අනතුරක් සිදුකළා යැයි පැවසූ පුද්ගලයන් දෙදෙනා ඔහුගේ නවතා තිබූ මෝටර් රථය අසලට පැමිණ කුඩා උපකරණයකින් තීන්ත වර්ගයක් එහි පිටුපස ආලේප කළේය. ඉන්පසු ති‍්‍රරෝද රථයද කුඩා උපකරණයකින් පතුරු ගැසුවේය. එලෙස පතුරු ගසා ඔහු එනතුරු මෙම පුද්ගලයන් දෙදෙනා ත‍්‍රිරෝද රථයට වී සිටියේය. අරුණ මෝටර් රථයෙන් පිටව යනවාත් සමගම ඔවුන් දෙදෙනාද එය ලූහුබැඳ ගියහ.

සීසීටීවී කැමරාවේ එම වීඩියෝ පටය බැලීමෙන් පසු තමන් වංචනිකයන් දෙදෙනකුට හසුවූ බව ඔහු දැන ගත්තේය. ඔහුගේ සිතට දැනුනේ දැඩි කේන්තියකි. එමනිසා ඔහු මෙය සුළුවෙන් නොතැකුවේය. මොවුන් දෙදෙනාට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි ඔහු සිතා ගත්තේය. ඒ අනුව ඔහු තමන්ට සිදු වූ මේ දේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළේය. එහිදී ඔහුට මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුවූ බොහෝ පිරිසක් දැන හඳුනා ගැනීමට හැකි විය.

ඉන් දින කිහිපයකට පසු බත්තරමුල්ල ප‍්‍රදේශයේදී තවත් තරුණයකුට මෙවැනිම දෙයක් සිදුවිය. ඔහුගෙන්ද එම කුඞ්ඩන් තිදෙනා අනතුරක් සිදුකළා යැයි පවසමින් මුදල් ඉල්ලූවේය. එහෙත් එම තරුණයා අරුණ පෙර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළකළ වීඩියෝ පටය නරඹා තිබුණි. එමනිසා ඔහු කුඞ්ඩන්ට සතයක්වත් ලබාදුන්නේ නැත. එතනින් නොනැවතුණු ඔහු කුඞ්ඩන් විසින් සිදු කිරීමට ගිය එම වංචනික ක‍්‍රියාව පිළිබඳව මුහුණු පොතේ සජීවී වීඩියෝවක් මගින් අන් අයවද දැනුවත් කළේය. එම වීඩියෝ පටය ද විශාල ප‍්‍රතිචාර ලැබුණි.

කොළඹ කුඞ්ඩන් විසින් සිදුකරන මෙම වංචනික ක‍්‍රියාව පිළිබඳව ඉහළ පොලිස් නිලධාරියෙක්ගෙන් අපි විමසුවෙමු. එහිදී ඔහු මේ පිළිබඳව අපට මෙලෙස අදහස් දැක්වූවේය.

‘‘කොළඹ ප‍්‍රදේශය කේන්ද්‍රකරගත් හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වූ පිරිසක් ත‍්‍රිරෝද රථවලින් පැමිණ රිය අනතුරු සිදු වූ බව පවසමින් එම රිය පදවන අයගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ ක‍්‍රියාවලියක් සිදුකරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. එහෙත් මේ පිළිබඳව තවම පැමිණිලි ලැබී නැහැ.”

‘‘රාජගිරිය, තලවතුගොඩ, කළල්හේන, බත්තරමුල්ල, පැලවත්ත, හෝමාගම, මහරගම, බම්බලපිටිය, වැල්ලවත්ත, වත්තල, ජා ඇල ආදී කොළඹ තදාසන්න ප‍්‍රදේශවල හෙරොයින් පානයට ඇබ්බැහි වූ පිරිස් මෙම වංචනික ක‍්‍රියාව සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙම පුද්ගලයන් කල්ලි වශයෙන් එකතු වී තමයි මෙම ජාවාරම සිදු කර ගෙන යන්නේ. ඔවුන් බලහත්කාරයෙන් අනතුර සිදුකර රුපියල් දෙදහක් පමණ ඉල්ලා සිටිනවා. මොවුන් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා තමයි මේ ජාවාරම සිදු කරන්නේ. මෙම කල්ලි විසින් කොළඹ ප‍්‍රදේශයේ දිනපතා මෙවැනි අනතුරු සිදු කරනවා. ඒ වගේම ඔවුන් ඉන් විශාල මුදලක් උපයනවා. එ මුදල් යොදා ගන්නේ හෙරොයින් පානය කරන්න.”

‘‘කොළඹ රිය ධාවනය කරන ඔබ මෙවැනි පුද්ගලයන්ගෙන් ප‍්‍රවේශම් වන්න. මොවුන් මෙම රිය අනතුර සිදු කරන්නේ ඉතා සූක්ෂම ලෙසයි. එලෙසම අනතුරු වූ පසු ඔවුන්ගේ කල්ලියේ තවත් දෙන්නෙක් තුන්දෙනෙක් පැමිණ අනතුර සිදු වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිනවා. එම නිසා මෙවැනි අනතුරක් සිදුවුවහොත් වහාම කළ යුත්තේ බිය නොවී ළඟම පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කිරීමයි. කිසි වෙලාවක ඔබ මෙවැනි වංචනික පුද්ගලයන්ට මුදල් දීමට සූදානම් වන්න එපා.”

ත‍්‍රිරෝද රථවලින් පැමිණ ඉතාම සූක්ෂම ලෙස රිය අනතුරක් සිදුකර මුදල් ලබා ගැනීම කොළඹ කුඞ්ඩන්ගේ අලූත්ම ජාවාරමයි. එමනිසා ඔබත් කුඞ්ඩන්ගේ මෙම ජාවාරමට හසුවන්න එපා. එවැනි අනතුරක් සිදුකර මුදල් ඉල්ලා පැමිණියහොත් ඔබ කළ යුත්තේ ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කිරීමයි. විශේෂයෙන්ම රිය ධාවනය කරන කාන්තාවන් මෙම කුඞ්ඩන්ගෙන් ප‍්‍රවේශම් විය යුතුය. ඒ මන්ද යත් කාන්තාවන් බය කර මුදල් ලබා ගැනීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි නිසා කුඞ්ඩන්ගේ ප‍්‍රධාන ඉලක්කය බවට පත්වී ඇත්තේ කොළඹ රිය ධාවනය කරන කාන්තාවන්ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment