ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලාගේ යෝජනා ගැන ජනපතිගේ අවධානය

530

රටේ ඇතිව තිබෙන වත්මන් අර්බුදය විසඳා ගැනීම සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ලබාදුන් සාධනීය යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර එකී යෝජනා අනුව කටයුතු කිරීමට ජනපතිවරයා කටයුතු කරමින් සිටින බව ජනපති ලේකම්වරයා ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මල්වතු, අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ මහනිකායන්ට අයත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (11දා) මහනුවර මල්වතු මහා විහාරයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් අතරතුර මෙම දැනුම් දීම සිදුකර තිබේ.

අදාළ සාකච්ඡාවෙන් පසු මල්වතු මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, රාමඤ්ඤ මහ නිකායේ මහ ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති පණ්ඩිත අත්තංගනේ ශාසනරතන යන නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප‍්‍රකාශ කර කළහ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. දේශයේ සුරක්ෂාවත් මහජනයාගේ යහපැවැත්මත් අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම රාජ්‍ය පාලනය උදෙසා මාර්ගෝපදේශ සැපයීම මහාසංඝරත්නය වෙත ඓතිහාසිකව පැවරී ඇති වගකීමකි. ඒ අනුව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව රටේ පවත්නා අර්බුද පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට යෙදුනහ.

පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් ලෙස රට තුළ පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයන් පිළිබඳ මනා අවදිමත් භාවයකින් යුතුව ඒ සඳහා පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි මහාසංඝරත්නය වශයෙන් අපි අපේක්ෂා කළද ජනතාවට සහන සැලසීම පසෙකලා ජනතා අභිලාෂයන් නොසලකා හැර වගකීම් විරහිතව මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය පිළිබඳ ත්‍රෛනිකායික මහාසංඝරත්නය වෙනුවෙන් අපගේ දැඩි කනගාටුව පළකර සිටිමු.

පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් රට තුළ පවත්නා සැබෑ අර්බුදය පිළිබඳ අවධානය යොමුකර විසඳුම් ලබාදෙනවා වෙනුවට ඇතැම් දේශපාලනඥයන් විසින් සිදුකරන ලද අදූරදර්ශී ප‍්‍රකාශ මෙම සමාජ ආර්ථික අර්බුදය උග‍්‍ර කිරීමට හේතුවූ බව අපගේ අදහසයි. වර්තමාන සමාජ හා දේශපාලනික අර්බුදය විසඳා ගැනීම උදෙසා මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පසුගිය 04 වැනිදා ඉදිරිපත් කළ සාධනීය යෝජනා සම්බන්ධයෙන් ජනපතිතුමන්ගේ අවධානය යොමුකොට ඇති බවත් එකී යෝජනා මාලාව අනුව කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සිදුකරමින් පවතින බවත් ත්‍රෛනිකායික මහනායක හිමිපාණන් වහන්සේලා වෙත මෙම රැස්වීම අවස්ථාවේදී ජනපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දෙන්නට යෙදුණි.

කරුණු කෙසේ වෙතත් උද්ගතව ඇති වත්මන් අර්බුද සමනය කර ගැනීමට සහ මහජනතාවට සහන සැලසීම උදෙසා රාජ්‍ය නායකත්වය සමඟ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයන් සමඟ නුදුරේදීම සාධනීය ලෙස සාකච්ඡා කිරීම අතිපූජ්‍ය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අභිලාෂය බව මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මල්වතු මහා විහාරයේ පැවැති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු නීතිඥයන් පිරිසක්ද සහභාගි වූහ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment