ත්‍රෛනිකායික මහ නාහිමිවරුනි! වඩිනු මැන යළි වේදිකාවට

205

අවසරයි අතිගරු ත්‍රෛනිකායික මහනාහිමිවරුනි! මඳක් ඔබ වහන්සේලා අමතන්නට. ඔබ වහන්සේලා ප්‍රමුඛකොට ඇති විසිදහසකට වැඩි ගරුතර මහ සඟරුවනින් යළිදු අවසරයි.

අද ශ්‍රී ලංකාව නම්වූ ධර්මද්වීපය ආර්ථික, දේශපාලන, සමාජයීය වශයෙන් අඳුරු ගැඹුරු අගාධයේ මුවඕවිටටම ළඟාවී ඇත. මුළුමහත් ජනතාව සාපිපාසා භීතියෙන් ඇළලී ගොස්ය. අතීතයේ ඔජදීප, වරදීප, ධර්මද්වීප, ලෙස ආමන්ත්‍රණය කරණු ලැබූ ශ්‍රී ලංකා මැණීයන් හැඬූ කඳුලින් මුසපත්ව සිටින්නීය. සමස්ත ශ්‍රී ලංකාවම ගින්නෙන් අග්නිජාලාවලින් භාගෙට දැවෙමින් සිටී. රට දැවී අගාධයේ ගිලී වැනසෙන්නට පෙර දැවෙන ගිනි නිවා අමා ඔසුපැන් ඉස වදාරන්නට ඔබ වහන්සේලා පෙරමුණ ගත යුතු කාලය දැන් එළඹ ඇත. පසුගිය කාලයේ අතිගරු සඟරුවනට කවර ආකාරයේ හෝ ප්‍රමාද දෝෂයක් වී නම් කමාවුව මැනව. මේ රටේ ලක්‍ෂ දෙසිය විස්ස ඉක්මවන ජන ගංගාව අද උඩුයටිකුරුවී ඇත. අන්තො ජටා බහි ජටාය. මෙසේ පීඩාවෙන් පීඩාවට පත්ව සිටින සුවහසක් ජනතාව බේරා ගැනීමේ සටනට ඔබ වහන්සේලා හැර අන් කිසිවෙක් සිටී යැයි මටනම් නොහැඟේ. ත්‍රෛනිකායික මහ නාහිමිවරු අනෙකුත් ආගමික නායකයින් සමග එකම මේසයකට එකම කතිකාවතකට එළඹෙනු මැනව.

ඔබ වහන්සේලා ජාතියේ මුර දේවතාවහන්සේලාය. අපේ මහාවංශ ඓතිහාසික කෘතියට අනුව රටක් වැටුණු, ජනතාව භීක්‍ෂණයෙන් පීඩනයෙන් සාගතයෙන් භීතියට පත්වූ හැමවිටම හුදීජන පහන් සංවේගයෙන් ඔබ වහන්සේලාගේ පරපුරේ සංඝ පීතෘවරු පෙරමුණටම පැමිණි බව පෙනේ. අසරණ සරණංකර සංඝරාජ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි කදිම නිදසුන්ය. තවමත් ප්‍රමාද නැත. දේශපාලනයෙන් භේද භින්නව කුලල් කා ගන්නා රටක් ආර්ථික වශයෙන් රුපියලටම වැටුණු රටක් කෝපයෙන් ගින්නෙන් දැවෙන ජනතාවක් මහ දවල් මහපාරවල්වල අමු අමුවේ මිනීමරන රටක්, තෙල් පෝලිම්වලදී අපේ මිනිසුන් මැරෙන රටක් අප ඉදිරියේ විiමාන වන්නේය. පොඩි දරුවාගේ සිට මහ මිනිහා දක්වා සියල්ලෝම මානසික ආතතියෙන් පෙළෙන්නෝය. ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට සැරසෙන්නෝද නැත්තේ නොවේ. අද රටේ පිළිගත් ප්‍රභූචරිත නැත්තටම නැතුවාවගෙයි. රටේ බොහෝ මිනිසුන් වෛරයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, භීතියෙන් අසහනයෙන් ඇළලී ගොස්ය. තෙල්පෝලිම්වල ශුද්ධ සිංහල කියමින් මරාගන්නට සැරසෙති. හැමගෙදරකම ගිනි දැල්වෙන්නේ ලිපේ නොව හදවත්වලය. පොඩි පැටව් කිරට හඬත. ලබාදෙන්නට වත්කම් නැත. කළයුතු දෙයක් නැත.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුනි! වඩිනු මැන යළි වේදිකාවට

ගඟේ මුහුදේ පනිති, වස විෂ කති. දිවි තොර කර ගනිති. අහෝ! ඛේදයකි. රටක් වැටුණු තැන මහනාහිමිවරුනි ! අවසරයි ! ඔය කිව්වේ ටිකයි ඔබ වහන්සේලා මේ රටේ සිටින ශ්‍රේෂ්ඨ උගතුන්ය. බහුශ්‍රැත හිමිවරුන්ය. ශ්‍රී ලංකාවේ මුළු සංඝ සමාජයම අතිශයින්ම බුද්ධිමත් උගතුන්ය. දැනුමෙන් පොහොසත්ය. කාෂාය වර්ණය, කාෂාය වස්ත්‍රය අපට අසීමිත සැනසිල්ල ගෙන දෙයි. ඔබවහන්සේලා අපේ සැපේදී දුකේදී ව්‍යාධියේදී මරණයේදී, ධර්මදේශනාවේදී, පරිත්‍රාණ දේශනාවේදී අප සමීපයේම සිටියෝ වම්හ. අපට එළැඹි දුක්කරදර සුවපත් කළහ. එසේ නම් ගරුතර මහනාහිමිවැනි! විවිධ ආගමික නායකතුමනි ! මෘගසංවර්ෂාව වැටෙන්නට පෙර ජනතාව වෙතට එන්න. මේ රටේ දැනට උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සමථයකට පත්කර රට, ජාතිය, සමය, ආර්ථිකය සුවපත් කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයකට පෙරමුණ ගන්න. නැත්නම් රට, ජාතිය අගාධයේ.

අප ගෞතම බුදුපියාණන් වහන්සේ චතූරාර්ය සත්‍ය අපට දේශනා කළ සේක. දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය දේශනා කළ ආකාරයටම යමින් ප්‍රශ්නය කුමක්ද, ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නය ජයගැනීම, ප්‍රශ්නය ජයගන්නා මාර්ගය අපට කියාදෙනු මැනව. මීට පෙරත් අතිගරු ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ ගැටලුව පිළිබඳව වරක් රාජ්‍යනායකතුමන්ලා දැනුවත් කළ බව දනිමි. එහෙත් ප්‍රතිඵල ශූන්‍ය විය. උන්වහන්සේලා නිහඬ වූහ. දෙවනවරටත් ගිය සතියේ උන් වහන්සේලා තවත් සන්දේශයක් රා්‍යනායකතුමන්ලා වෙත ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කෙළේය. ඔබ වහන්සේලා රටේ බිහිසුණු තත්ත්වය පිළිබඳ නිරන්තරව අවධියෙන් සිටින බව රටේ ජනතාව දනිති. ඒ ගැන වරක් නොව දෙවරක්ම නමස්කාරවේවා !

මේ සටහන ලියන මම පොඩි මිනිහෙකි. මා වාගේ අනෙක් පොඩිමිනිසුන්ටත් දැනෙන්නේ මෙසේය. පොඩි ලොකු භේදයක් නැත. අප ඉරිදියේ දැවැන්ත ගිනිමැළයකි. ප්‍රශ්න වැළකි. ලියලා දලු ලා ඇදීයයි. අනේ අප කෙතරම් සතුටින් සිටි ජාතියක්ද? තුන්වේල අපට හැකි පරිදි රසමසවුලෙන් සන්තර්පනය වුණෙමි. ප්‍රශ්නය ඔඩු දුවමින් පවතී, මේ රටේ මිනිස්සු ඉතාමත් අහිංසකයෝය. ගහන්න ආවොත් දුවති. ගැහුවොත් ගුටිකා දිවයන මිනිසුන්ය. එවන් ජාතියක්, ඉවතලන දණ්ඩ පවා දලු ලා හැදෙන සරුසාර රටක් අපි විනාශයට යන හැටි බලා සිටිමුද?

ජාතියේ මුරදේවතාවන් වන මහානාහිමිවරුනි! අවශේෂ පූජා ප්‍රසාදීන් වහන්ස, මේ රටේ රාජ්‍ය නායකයෝ, දේශපාලන නායකයෝ ප්‍රභූවරුන්, උගතුන් තවත් අවශේෂ නායකයින් සියලු දෙනා එකම මේසයක්වෙත රැස්කරවා, බලය, පක්‍ෂ, පාට, වර්ණ, ජාති, වෛර, ක්‍රෝධ, තරහ මරහා සියල්ල අළුයට හෙළු කෙළ පිඩක් සේ සලකා මතහෙළා මේ රටේ හුදී ජන පහන් සංවේගය පිණිස රට බේරා ගැනීමේ මිත්‍රශීලී ව්‍යායාමයකට කඩිනමින් යන සේක්වායි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමු. රාජා භවතු ධම්මිකෝ.

කලවාන- රණසිංහ ආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment