තාක්ෂණය තුළ බන්ධනාගාර ගතවීම

356

පින්වත සිංහල අලූත් අවුරුදු මාසය උදාවෙලා. වෙසක් මාසයට පෙරාතුව තිබෙන පින්බර මාසය බක්මාසය. සතුට, සමගිය, සෞභාග්‍යය, බක් මාසයේ නෑදෑයෝ වගේ මයි. ඒත් ඉතින් මේ සිංහල අලූත් අවුරුද්දේ නම් ඉහත නෑදෑයෝ අපිත් සමග තරහා වෙලා වගේ. නෑදෑයෝ තරහා වුණාට කමක් නැහැ. පින්වත් ඔබ මේ ලබන සිංහල අලූත් අවුරුද්ද, යළි නෑදෑයෝ යාළු කරගන්න අවුරුද්දක් බවට පත්කොට ගන්න. පින සහ පව ලෝකය තුළ තිබෙන තාක්කල්, වැටීම සහ නැඟිටීම ලෝක ධර්මතාවයක්. ඒත් තමතමන්ගේ අනාගත අරමුණු උදෙසා, වුවමනාවෙන්ම වැට්ටවීම නම්, ‘පවත්’ නොඉවසනා ධර්මතාවයක්ම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්ත්වයා කර්මය මගේ කොටගෙන උපදීය කියලා. සත්ත්වයා කර්මය ඥාතියා කොටගෙන උපදීය කියලා. පින්වත කවුරුන් හෝ අපිට වට්ටන්නේත්, වැටීමට අදාළ අකුසල් සංස්කාර අපි පසුපස තිබෙන නිසා මයි. ඕනෑම වැටීමකින් නැඟිටින මාර්ගය ජීවමානව තිබෙන නිසාම, වැටුණාය කියලා තව තවත් වැටෙන දිශාවට නම් යන්න එපා. උදාවෙන සිංහල අලූත් අවුරුද්ද වැටුණ අපි, යළි නැ`ගීසිටින අවුරුද්දක් බවට පත්කොට ගන්න.

පින්වත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන සිංහලයාටයි, සිංහල බෞද්ධයා යැයි කියන්නේ. දැන් දැන් සිංහල අබෞද්ධකම නම් වේගයෙන් වැඩිවෙනවා. අනිත්‍ය සංස්කාරයන්ට අදාළවයි අපේ වර්තමාන දැනීම සකස් වෙන්නේ. සිංහලකම මරාගෙන උපදින අසිංහලකම, බෞද්ධකම මරාගෙන උපදින අබෞද්ධකම. මේ සෑම ධර්මතාවයක් පසුපසම සුන්දර ධර්මයක්මයි තිබෙන්නේ. අපි පුහුණු කළා වූ අතීත සංස්කාරයන් තිබෙනවා. ඒ සංස්කාරයන් නිසාම සිදුවෙන අනුවණ මෙනෙහි කිරීම් තිබෙනවා. ඒ සියල්ලම ජවය දෙන අස්තපුරුෂ ආශ‍්‍රයන් තිබෙනවා. පින්වත මායම කියන්නේත් නවීන තාක්ෂණය කියන්නේත් එකම අර්ථයක් මයි. මායාව කවදාහරි දවසක අපිව මංමුලා කරනවා සේම, නවීම තාක්ෂණයත් අනාගතයේ කවදාහරි දවසක අපිව දුක තුළම බන්ධනාගාරගත කරනවා. නවීන තාක්ෂණය කෙරෙහි ආශ්වාදය නව යොවුන් තාරුණ්‍යයෙන් විකසිතව බබළන වර්තමානයේ, ඒ කෙටි ආශ්වාදයට ඔබ, වශී වී සිටියත්, නවීන තාක්ෂණය විසින් ම ගොඩනැඟු, නවීන යැයි කියන ලෝකය, තාක්ෂණය විසින්ම මායාවක් ඔබට පත්කිරීම උදෙසා, කාලය පිළිබඳව ප‍්‍රශ්යක් පමණක්මයි දැනට ඉතිරි වෙලා තිබෙන්නේ. තවමත් ඉතිරිවී ඇති කාලයට ජීවය දෙන්නේ, මනුෂ්‍ය අපේම පිනයි. පින්වත අපේම පිනෙන් තිරිහන් වෙන නවීන තාක්ෂණය, අනාගතයේ දවසක අපේම පවෙන් ගිනිගන්නවා. එදාට ලෝකය තුළ තව තවත් තිරිහන් වෙන්නේ අවිද්‍යාව පමණක් මයි. නවීන තාක්ෂණයේ නව යොවුන් ආශ්වාදයෙන් මොනවාට මත්වීම අපි ලෝභ, ද්වේෂ, මෝහයන් වඩමින් මේ දෙපා තබන කෙලිලොල් ගමන, ආයෙමත් පින්වත් මනුෂ්‍යයා, මනුෂ්‍යයාගේම මිනීමස් කන වනචාරී අනාගතයකටයි පාර කියන්නේ. පින්වත ලෝකය දෙස බලලා, ඔබ කලබල වෙන්න එපා. ලෝකය කියන්නේ මෝහයේ ඵලයයි. ආගම් දහස් ගණනක් තිබෙන ලෝකය තුළ, භව නිරෝධය ගැන කියන්නේ, කර්මය කර්මඵල විශ්වාසය ගැන කියන්නේ, පටිච්චසමුප්පන්න නැවත උපත ගැන කියන්නේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක් මයි.

පින්වත මේ මනුෂ්‍ය සමාජය තුළ විද්‍යාවෙත්, අවිද්‍යාවෙත් පරතරය මොනතරම් නම් විශාලද? උතුම් චතුරාර්ය සත්‍යය නැමති විද්‍යාවට, ඉතාමත් පුංචි ඉඩක් ඇති ලෝකය තුළ ගෞරවනීය සිංහල බෞද්ධ උපතක් කියන්නේ, ආශ්චර්යමත් උපතක්. පින්වත ලෝකය තුළ සිංහල බෞද්ධ ඔබේ උපත පූජනීයයි. ඔබේ උපත වන්දනීයයි. පින්වත් ඔබ භික්ෂුවගෙන් ඇසුවොත්, ස්වාමීන් වහන්ස, ලෝකයේ ඇති ලොකුම පුදුමය කුමක්ද කියලා. භික්ෂුව නොපැකිලව පිළිතුරු දෙන්නේ, මේ ආශ්චර්යයමත් බුද්ධෝත්පාද කාලයක ලැබූ, ඔබගේ සිංහල බෞද්ධ උපතයි කියලා. පින්වත මේ ජීවිතයේදීම උතුම් ධර්මාවබෝධයෙන් ලෝකයෙන් නිවී යෑමට, භාග්‍ය උරුම කොටගත් සිංහල බෞද්ධ ජීවිතයකට ලෝක පුදුමයන් යැයි කියනා දුකෙන් ම උපන් චීන මහා ප‍්‍රාකාරයේ, මහ පොළොවට පස්වී යන ගඩොල් ගොඩවල්, කිනම් ළදරු පුදුමයක්ද. පින්වත අවිද්‍යාවේ ජනෙල් තිර මෑත්කොට විද්‍යාවේ ඇත්ත දකින්න. විද්‍යාවේ ඇත්ත අපි නොදකින නිසාමයි අවිද්‍යාවේ අනුකරණයන් පසුපස අපි ලෝකය වටේ දුවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් බුද්ධෝත්පාද කාලයක, ඔබ මේ ලැබූ සිංහල බෞද්ධ උපත, කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස දකිනවා වගේම දුර්ලභ උපතක්ය කියලා. පින්වත මීට වඩා දුර්ලභ පුදුමයක් ලෝකයේ තවත් කොයින්ද?

මේ සටහන කියවත්දී පින්වත් ඔබට ආඩම්බරයක් ද දැනෙන්නේ. පින්වත් ඔබට කනගාටුවක් ද දැනෙන්නේ. එහෙමත් නැතිනම් මුකුත්ම දැනුනෙ නැතිද? නිහඬව ඉන්නේ. නැතුව දැනුන දෙය කියන්න. පින්වත් ඔබට ඔබේ දුර්ලභ සිංහල බෞද්ධ උපත ගැන දැනුනේ ආඩම්බරකමක් නම්, ඔබ මේ සටහන දෙස බලලා තිබෙන්නේ අවිද්‍යාවේ ඇසෙන්මයි. පින්වත් ඔබට ඉහත සටහන කියවීමෙන් දැනුනේ, අනේ මම මෙවන් දුර්ලභ උපතකින් තවමත් ප‍්‍රයෝජනයක් නොගත්තා යැයි කනගාටුවක් නම්, ඔබ මේ සටහන බලලා තිබෙන්නේ විද්‍යාවේ ඇසෙන් මයි. පින්වත ඔබ ඔබේම අධර්මයේ වරදක් දැකලා ඔබ ඔබටම බැනගෙන තිබෙනවාද? ඔබ ඔබටම චෝදනා කොටගෙන තිබෙනවාද? පිළිතුර නැහැ නම්, එය පින්වත් ඔබේ ධර්මාවබෝධයන්ට බලවත් ප‍්‍රමාදයක්ම වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව නම්, ගිහි ජීවිතයේ දී දුශ්ශීලභාවයට අදාළව අකුසල් මූලයන්ට අදාළව වරදක් කරපු තැන, මම මටම ගොනා කියලාමයි, හරකා කියලා මයි, චෝදනා කොට ගත්තේ. ඒත් වර්තමානයේ පින්වත් ඔබ, ඒ තරම් තද වචන භාවිතා කරන්න යන්න එපා. අතීතයේ භික්ෂුවගේ අසරණභාවයන් වැඩි නිසාමයි, එවැනි වචන භාවිතා කළේ. භික්ෂුව දන්නවා පින්වත් ඔබ, එදා මම තරම් අසරණ නැහැය කියලා. පින්වත භික්ෂුව මේ ඔබ තුළින් අවදිකරන්නේ, ඉහත දුර්ලභ ධර්මයන් කෙරෙහි වීර්යයමයි. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා, උතුම් ධර්ම මාර්ගයේදී තමාගේ වරදක් වරදක් ලෙසම දකින්නා, වැඩි දවසක් යන්න පෙරාතුවම නිවැරදි වෙනවා ය කියලා. පින්වත වරදට ඔබව ගිලගන්න දෙන්න එපා. වරද වරදක් ලෙසම මතුකොට දකින්න. බුදුරජාණන් වහන්සේ පැවිදි අපිටත්, විනය කර්මයන්. ඇවැත් දෙසීම් පනවා වදාළේ, වරද වරදක් ලෙසම මතුකොට දැකීමටයි.

පින්වත උදාවීමට නියමිත සිංහල අලූත් අවුරුද්දේ සිංහල බෞද්ධයා කියන අර්ථය චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් ජීවත් කරන්න. එවිට විද්‍යාව ඔබ තුළින් මෝදුවේවි. සිංහලකම රැකුනොත් තමයි, බෞද්ධකම රැකෙන්නේ. එම නිසා සිංහල කමෙන් අපිට උරුම යහපත් දේවල් රැකගන්න. චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පණදෙන, පුණ්‍ය කාලයෙන් පටන් ගෙන අවුරුදු උදාව, ලිපගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය ලබමින් නැකත් චාරිත‍්‍රයන්ට අදාළව සිදුකරන්න. ජාතියට උරුම ලස්සන දේවල්, අර්ථවත් විනය ගරුක දේවල් මැකිල යන්න දෙන්න එපා. හෙට ලෝකය භාරගන්න දරුවන්ට, අතීතයේ යහපත් දෙයින් පූර්වාදර්ශ දෙන්න. භික්ෂුව පුංචි කාලේ, සිංහල අවුරුදු නැකතට නිවසේ පිසුව කිරිබත කවන්න අම්මාට කෙසෙල් කොළේ කපාල දුන්නා තවමත් මතකයි. අම්මා උයපු කොණ්ඩ කැවුම්, අතිරස, මැටි මුට්ටියේ අඩුක්කරලා පත්තර කොළ වලින් මුට්ටියේ කට බැඳලා, ඇද යටින් තිබ්බා භික්ෂුවට මතකයි. ඒ අම්මා අද භික්ෂුවට අයිති නැති වුණත්, ඒ අම්මා පූර්වාදර්ශීව කියලා දුන්න, සිංහලකම තාමත් භික්ෂුව තුළ තිබෙනවා. භික්ෂුවට හොඳටෝම විශ්වාසයි, මගේ අම්මා සිංහලකමට ණයකාරයෙක් වුණේ නැහැය කියලා. භික්ෂුවගේ අම්මා සිංහලකමට ණයකාරයෙක් වුණා නම්, ඒ අම්මාගේ දරුවාට මේ සටහන ලියන්න බැහැ.

පින්වත ඔබ පටිච්චසමුප්පන්න යළි උපත විශ්වාස කරනවාද? ඔබ සිංහල බෞද්ධකමට ගරු නොකළොත් ඊළඟ ජීවිතයේදී ඔබ බටහිර රටක උපදින්න පුළුවන්. අබෞද්ධ පවුලක උපදින්න පුළුවන්. එදාට ඔබේ උරුමය මිථ්‍යාදෘෂ්ටියේ පතුලමයි. පින්වත මේ ජීවිතයේදී ඔබ ලෝකයේ අති දුර්ලභම සිංහල බෞද්ධ උපතක් ලබලා, ඊළඟ ජීවිතයේදී පෘතග්ජන භාවයේ සුලභ දුක අයිතිකොටගන්න එපා. අවිද්‍යාවෙන් තිරිහන්වෙන ලෝකය හරිම අමිහිරියි. එක සිතුවිල්ලක් වැරදුන තැන, මහා විනාශයක් වෙන්න පුළුවන්. ඔබ මේ ලැබූ දුර්ලභ සිංහල බෞද්ධ උපත, සිල්ලර සැපයන් උදෙසා, වක්කඬේ හැංගු හකුරක් බවට නම් පත්කොට ගන්න එපා. පින්වත් ඔබේ ඔය පින්බර දෑස් පියවෙනකම් සිංහල බෞද්ධකම ජීවත් කරවන්න. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය මරාගෙන, ඔබ ජීවත් වෙන්න එපා. පින්වත මධ්‍යම ප‍්‍රතිපදාව මරාගෙන ලෝකය යන කාමසුකල්ලිකානු ගමන මරි`ගුවක්. සැප පිපාසයට, සල්ලි සොයාගෙන දුවන, අසරණ මුව පොව්වෙක් වෙන්න එපා. අනුනගෙන් සිඟාකන්න සිව්පසයෙන් යැපෙන, සතේ අතේ නැති යාචක භික්ෂුවකට ඇයි ඔබ ගරු කරන්නේ. ඔබ භික්ෂුවකට ගරු කරලා, භික්ෂුන් ජීවත්කරවන චතුරාර්ය සත්‍යය ධර්මයන් ඇයි ඔබ ජීවිතයෙන් ඈතට දමන්නේ. පින්වත ලෝකය ඔබට අයිති නැහැ. ඔබට අයිති ලෝකය උපද්දවා දෙන දුක පමණක් මයි.

පින්වත් ඔබේ මාතෘභූමිය අසත්පුරුෂ දේශපාලන මඩ ගොහොරුවක ගිලී තිබෙන නිසාම පින්වත් ජනතාවගේ අර්ථික ප‍්‍රශ්න හුඟාක් වැඩියි. කරවටක් ගිලියන ප‍්‍රශ්න තිබුණත් ලබන්නා වූ සිංහල අලූත් අවුරුද්ද ධර්මයේ උපේක්ෂාවෙන්ම පිළිගන්න. අවුරුදු උදාවට උතුරවන්න කිරි කඳුලක් ඔබේ නිවසේ නැතිවුණත්, අදාළ නැකතට පින්බර ඔබේ හදවතේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය උතුරුවා ගන්න. සමස්ත ජාතියටම දුක් දෙන පොරොන්දු කඩකරන දේශපාලනය නිසා පින්වත් ඔබ පවු සිද්ධ කරගන්න එපා. අපේම අකුසල් අනුන් මත පටවන්නත් එපා. තෘෂ්ණාවට ලැජ්ජාවට සහ බිය නැහැ. කර්මය කර්මඵල විශ්වාසයට ලෝකය භාර දෙන්න. ඔබ නිදහස් වෙන්න. ලබන්නා වූ සිංහල අලූත් අවුරුද්දේ සැබෑම අර්ථය, අවිද්‍යාවේ නිරෝධයෙන් ලබන ‘විද්‍යාවට’ මාර්ගය විවර කොට ගැනීම බව කරුණාවෙන් තේරුම්ගන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment