තාත්තලා හිරේ! දරුවන් 1218ක් ගිඟමනට වැටිලා…

102

නිදහස් වෙන්න සිස්ටම් එකක් නෑ!

රටම ඇදවැටී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අපේ දරු පරපුර හා දිළිඳු පවුල්වල සාමාජිකයන් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයකට ගොදුරු වී ඇතැයි යන්න මේ මොහොත වන විට පැහැදිලි සත්‍යයක් යැයි ඔප්පු වී අවසන්ය.

එවැන්නක් සිදුව නැතැයි කීමට කිසිවකුටත් නොහැකිය. එම තත්ත්වය තුළ රජයේ වියදම් පැතතෙන් සිදු කෙරෙන එක් කප්පාදුවක් තුළින් එකී ගැටලුවට දිය හැකි විසඳුමක් ඉකුත් සතියේ අප පෙන්වා දුන්නෙමු.

එහිදී අප පෙන්වා දුන් කරුණ වූයේ රටට බරක් බවට පත්ව ඇති මෙරට බන්ධනාගාර පද්ධතියේ සිරගතව රඳවා සිටින නිදහසක් ලබා දිය හැකි මට්ටමේ වන සිරකරුවන් පිරිසක් මුදාහරිමින් එකී මුදල මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හා දිළින්දන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වැය කරන්නැයි යන්නය.

ඇතැම් විට අපේ එකී අදහස දුටු ඇතැමුන්ට මෙහිදී බරපතළ ගැටලු මතුවන්නට ද ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද ඒ ආකාරයට සිරකරුවන් නිදහස් කිරීම බරපතළ සමාජ අර්බුදයකට මුලපිරීමක් ලෙස දුටුවා විය හැකිය.

එනිසා වැරදි කළ වුන් දඬුවම් විඳිනුයේ කරන ලද වරදේ තරම අනුව වන අතර එවැන්නන් නියමිත කාලයට පෙර නිදහස් කර යැවීම රටේ සාමකාමී පුරවැසියන්ට එල්ල කෙරෙන ප්‍රබල තර්ජනයක් විය හැකි යැයි ඔවුන් පෙන්වා දෙන්නට ද ඇත.

සාමාන්‍යයෙන් ගත් කල සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂණ ආදී ලෙසින් සැලසුම්සහගතව බරපතළ අපරාධ කෙරූවන් සහ දරුණු කොල්ලකරුවන් මෙන්ම මතට ඇබ්බැහිවූවන් ආදී වශයෙන් සමස්ත සිරකරුවන්ට සාපේක්‍ෂව ඉතා අවම මට්ටමේ නියැඳි කිහිපයක් ගෙන බැලුවහොත් එවැනි තර්කයක් මතුකිරීම සාධාරණය.

එහෙත් එම තෝරාගත් කාණ්ඩ හැරෙන්නට දීර්ඝකාලීනව දඬුවම් විඳින බන්ධනාගාරගත සෙසු පුද්ලයන්ට නිදහසක් හිමිවුවහොත් එවැනි බරපතළ තර්ජනයක් සාමාන්‍ය ජන සමාජයට ඇතිවීමේ අවදානමක් තිබේද?

අපට හැඟෙන සහ දැනෙන පරිදි නම් එවැනි තත්ත්වයක් ඇතිවීමේ සමභාවිතාව ඍණ මට්ටමේ පවතින්නකි. අද සිදුවන අකාරයට නිදහසක් ලබා දියහැකි පුද්ගලයන් දිගින් දිගටම සිරගත කර තැබීමෙන් ඇති වන සමජ ව්‍යසනය එයට වඩා අති ප්‍රබලය.

● සිරකරුවන් සහ දරුවන්

කොරෝනා වසංගතයට පෙර සහ එම කාල සීමාවේ බන්ධනාගාර තුළ සිරගතව සිටි පිරිසට වඩා වැඩි ප්‍රමාණයක් අඛණ්ඩව සිරගතවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෑතක සිට මුහුණ දී සිටින ගැටලුවකි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා විසින් මීට මාසයකට පමණ ඉහතදී මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙනු ලැබීය. පවතින අධික තදබදය හේතුවෙන් බන්ධනාගාර තුළ ගැටලු රැසක් නිර්මාණය වීමට එම තත්ත්වය හේතුවක් වී තිබිණි. මේ අන්දමට දිනෙන් දින සිරගතවන සිරකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හමුවේ ඉකුත් ඉරිදා වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ සිරගතව සිටි සමස්ත සිරකරුවන් ගණන 25000ක් පමණ විය.

මේ අතරින් දසදහසකට ආසන්න සිරකරුවන් පිරිසක් වසර හතරකට අධික කාලයක සිට බන්ධනාගාරගතව සිටි පුද්ගලයෝ වූහ. එසේම මරණීය දණ්ඩනය ලැබී තිබීම හේතුවෙන් දහතුන් වසරකට අධික කාලයක් සිරගතව සිටි පුද්ගලයෝ 68 දෙනකු බෝගම්බර බන්ධනාගාරයේ පමණක් සිටියහ.

ඉන් සිව් දෙනකු වසර විසිදෙක, විසිතුන සහ විසිහතර ආදී වශයෙන් ගෙවී ගිය ජීවිත කාලයෙන් අඩකට වඩා කාලයක් සිරගතව සිටියෝද වූහ. මෙසේ දීර්ඝ කාලයක් පියවරුන් සිරගත වෙද්දී අද මේ රටේ සිටින නිසි රැකවරණ අහිමි වූ දරුවන් සංඛ්‍යාව පමණක් පනස්එක් දහසකි. (51000 ක්). මේ අතරින් වැඩි දරුවන් පිරිසක් ගැහැණු දරුවන් වන අතර වයස අවුරුදු 16 වැඩි නහඹු වියේ පසුවන දරුවන් සංඛ්‍යාව සියයට 14 ක් වේ. ඉන් අති බහුතරය අවිනිශ්චිත වී තිබෙන අධ්‍යාපනයක් සමඟ පාසල් යන දරුවෝ වන්නාහ. එය සියයට 89 කි. රටේ අනාගතය භාර ගැනීමට සිටින අපේ දරුවන්ගෙන් කොටසක් එවැනි තත්ත්වයකට ඇද වැටීමෙන් ඉදිරියේදී සමස්ත සමාජයට එල්ල විය හැකි බලපෑම කොතරම් විය හැකිද?

● අයාලේ ගිය පුනරුත්ථාපනය

මේ අන්දමට බන්ධනාගාරගත සිරකරුවන් සංඛ්‍යාව ඉහළ යද්දී ඔවුන්ගේ ආහාර පාන සඳහා අති විශාල මුදලක් වැය කිරීමට වාර්ෂිකව රජයට සිදුවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට එළැඹෙන වර්ෂය වෙනුවෙන් පමණක් ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි හාරසිය හැත්තෑවකි. (කෝටි 470).

රජය දරණ එකී වැයබර එතැනින් නතර වන්නක්ද? නැත. මේ මිනිසුන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහාද එයට වඩා මුදලක් ආණ්ඩුව වැය කරමින් සිටී. මෙරට සිරකරුවන් අරබයා රජය එසේ විශාල මුදලක් පුනරුත්ථාපනය වෙනුවෙන් වැය කෙරෙද්දී එයට සරිලන සැළසුම්සහගත නිසි පුනරුත්ථාපනයක් රට තුළ සිදු වන්නේ නම් දහස් ගණනින් වූ සිරකරුවන් පිරිසක් දීර්ඝකාලීනව මෙරට බන්ධනාගාර තුළ සිටින්නේ ඇයි? එය බරපතළ ගැටලුවක් නොවේද?

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු බන්ධනාගාරය තුළදී ධර්මාචාර්ය විභාගයට මුහුණ දී එය සමත් වූ සිරකරුවෝ 21 දෙනකු වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවල සිටින්නාහ. දහම් පාසල් අවසාන විභාගය සමත් වූ ගණන 12 කි. දහම්පාසල් අධ්‍යාපනය ලබන පිරිස 245ක් වේ. සාහිත්‍ය සම්මානලාභී සහ අභිධර්ම විභාගය මෙන්ම උපාධිය හැදෑරූ තිදෙනකු ද වෙති. එහෙත් ඔවුන් තවමත් සිටින්නේ සිරගතවය. එසේ වීමට හේතුව කුමක් දැයි වටහාගත නොහැකිව තිබෙන්නකි.

● සමාජමය පරිහානිය

තාත්තලා හිරේ! දරුවන් 1218ක් ගිඟමනට වැටිලා…

පියවරුන් මෙලෙස දීර්ඝකාලීනව සිරගත වීම හේතුවෙන් මේ වන විට ආර්ථික අපහසුතා සහ රැකවරණය අහිමි වීම හමුවේ අප ඉහත සඳහන් කළ දරුවෝ පනස්එක්දහස අතරින් සියයට 28 ක ප්‍රමාණයක් මේ මොහොත වන විට පාසල් අධ්‍යාපනය අතහැර දමා සිටිති.

එකී දරුවන්ගේ අනාගතය කෙසේ විසඳෙනු ඇතිද? ඔවුන්ගේ අද දවස ගෙවී යන්නේ අනාගතයේ දිනක තවත් සිරකරුවකු බිහිවීමේ අමිහිරි වටපිටාවක් තුළ විය නොහැකිද? ඒ පිළිබඳ සොයා බැලීමක්වත් සිදුවනවා දැයි සැක සහිතය. රටක් වශයෙන් ගත් කල එය මොනතරම් අවාසනාවක්ද?

මේ අන්දමට පියවරුන් දීර්ඝකාලීනව සිරගතව සිටීම හමුවේ අද වන විට ස්ථිර වාසස්ථාන අහිමි වූ සංඛ්‍යාව සියයට 41 කි. සැමියා සිරගත වීමෙන් පසු දරුවන් ඇතුළු පවුල හැර ගිය බිරින්දෑවරුන්ගේ ප්‍රතිශතය සියයට 26කි.

පියා සිරගත වීම හා ඒ හේතුවෙන් මව පවුල හැර යෑම නිසා අනාථභාවයට පත්ව අනාථ නිවාසවල සහ කිසියම් භාරකරුවකු යටතේ දරුවෝ 4328 ක් අවාසනාවන්ත ලෙස ජීවිත ගත කරති.

දුක්බරම සිදුවීම වන්නේ මේ හේතුවෙන් අද වන විට දරුවන් 1218 යාචකයන් බවට පත්ව සිඟමනට වැටී සිටීම වේ. පියා සිරගත වීම හමුවේ සුළු පියා හෝ අන් අයකුගේ ගොදුරක් වී අතවරයට පත්වූ දරුවන් ගණන 82 කි. එසේම භාරකරුවන්ගේ හිරිහැර හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබගෙන ඇති දරුවෝ සංඛ්‍යාව 613 ක් වන්නාහ.

● අහිමි වූ කාන්තා රැකවරණය

බිරිඳකට සිය සැමියාගේ රැකවරණය දීර්ඝකාලීනව අහිමි වීම යනු මෙරට තුළ පවතින විකෘතිමය වූ නින්දිත අවර සමාජ ප්‍රවණතාවන් හමුවේ දහසක් ගැටලු නිර්මාණය කරන්නක් බව අමුතුවෙන් කිවයුතු නැත. අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දොසක් නොකියන්නෙමු. එහෙත් මෙලෙස දීර්ඝකාලීනව සිරගතව සිටින පුද්ගලයකුගේ බිරිඳ ඇහැට කනට පෙනෙන රූමතියක් නම් ඇයට සිය සැමියාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට යා නොහැකිය.

බොහෝවිට එසේ සිදු වන්නේ සැමියාගේ මිතුරන්, පවුලේ ඥාති හිතමිතුරන්, අසල්වැසි පුද්ගලයන් වැනි පාර්ශ්ව වලිනි. යම් ආකාරයකින් සැමියාගේ රැකවරණය අහිමි වී සිටින ඇයගේ චිත්ත ඒකාග්‍රතාව එහිදී බිඳ වැටුණහොත් සමස්ත දරු පවුලේම අභාග්‍ය සටහන් කෙරෙන හැරවුම් ලක්ෂ්‍ය එයම වේ.

මේ අන්දමට ඉහත කී දීර්ඝකාලීන සිරකරුවන්ගේ බිරින්දෑවරු 76 දෙනකු රැකවරණය අහිමි වීම හේතුවෙන් ඉකුත් මාස කිහිපයක කාලයේ විවිධ පුද්ගලයන්ගේ අඩන්තේට්ටම්වලට ගොදුරු වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත. එසේම පවුලේ පියා සිරගත වීම නිසා ඇතිවන ආර්ථික ගැටලු හේතුවෙන් සිදුව ඇති බාලවයස්කාර විවාහයන් ගණනද සැලකිය යුතු මට්ටමක තිබෙන්නකි.

● නොදකින යථාර්ථය

රටක නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහි කතා දෙකක් නැත. එසේම එකී නෛතික තත්ත්වයන් යටතේ කිසියම් අයකු සමාජ විරෝධී අපරාධමය ක්‍රියාවක යෙදුණහොත් අධිකරණ ක්‍රියාමාර්ග තුළින් දඬුවම් පැමිණවීමද සිදු කළ යුතු අනිවාර්ය කටයුත්තකි. සමාජයේ සෙසු පුද්ගලයන්ගේ යහපත උදෙසා එසේ සිදුවීම අත්‍යවශ්‍යය.

එහෙත් එලෙස අධිකරණ මගින් දඬුවම් පැමිණවීමේදී වරදකරුවන් වන පුද්ගලයන් ජීවිත කාලය පුරාම එකී දඬුවම් විඳිමින් සිරගතව සිටිය යුතුද? ඔවුනට යහමගට පැමිණ යළි සමාජගතවීමට අවස්ථාවක් නොදිය යුතුද?

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ දීර්ඝකාලීනව සිරගතව සිටින පුද්ගලයන් අරබයා කතා කිරීමේදී එය අද බැහැර කළ නොහැකි බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙන්නකි. බන්ධනාගාර දෙස බැලීමේදී දැඩි ලෙස පනවනු ලබන කොන්දේසි යටතේ හා බැඳුම්කරයක් මත නිදහසක් ලබාදිය හැකි දහස් ගණනක් මේ මොහොතේත් සිරගතව සිටිති.

රටම ආර්ථික අර්බුදයකට ඇද වැටී දුගී දුප්පතුන් එදා වේල නොමැතිව හාමතේ දිවි ගෙවද්දී එලෙස සිරගත කරගෙන සිටින මිනිසුන්ට ආණ්ඩුව රුපියල් කෝටි සියගණනක් වැය කරමින් ආහාර පාන ඇතුළු පහසුකම් ලබා දෙමිනන් සිටී. රටේ දරුවෝ බඩගින්නේය. මන්දපෝෂණයෙන් පෙළෙන්නේය. මව්වරු හාමතේය. කිරිබොන ඇතැම් දරුවන් දෙවසරක පමණ කාලයක සිට කිරි බිඳක් ඇහැට දැක නැත. මීළඟ පරපුර රටට දායාද කරමින් සිටින බොහෝ ගැබිනි මව්වරු කුසට පෝෂණීය අහරක් නොමැතිව මන්දපෝෂණයේ ගොදුරු වී සිටින්නාහ.

● ලංකාව අංක එකට

එවැනි තත්ත්වයක් රට තුළ පවතිද්දී අපි කුමක් කරමින් සිටින්නෙමුද? සිදුවෙමින් තිබෙන්නේ රටේ බන්ධනාගාර පද්ධතිය දරාගත නොහැකි තැනටම පුරවා සිරකරුවනට යළි සමාජගත වීමට ඇති අවස්ථාව පෙනි පෙනී අහිමි කරමින් කන්න බොන්න දී ඔවුන් රැකබලා ගැනීමය.

සිරගත වන පුද්ලයාගේ ඔලුව සෝදා පිරිසිදු කර යහපත් අන්දමින් සමාජය දෙස බලන පුද්ගලයකු බවට ඔහුව පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයක් රටක් වශයෙන් අපට නැත. සිරගත වන පුද්ගලයා දේශපාලන සබඳතා ඇති අයකු නම් එක දේශපාලන බලපුළුවන්කාරකම් හමුවේ එවැන්නකුට නිදහස් වී යෑමට ලැබෙන අවස්ථා එමටය.

එහිදී කුඩු ජාවාරමුන්, ස්ත්‍රී දූෂකයන්, සංවිධානාත්මක අපරාධකරුවන් ආදී ලෙසින් වෙනස් කොට සැලකීම් සිදු නොවන අවස්ථාද ඇත. සිරගත වූ තැනැත්තා දේශපාලනඥයෙක් නම් ලබා දෙන සහන අති විශේෂය.

එහෙත් සිරගත වූ පුද්ගලයා සාමාන්‍ය අයකු නම් ඔවුනට සිදු වන්නේ ජීවිත කාලය සිරගතව සිටිමින් සීසීකඩව ගිය දරු පවුල හා ජීවිතය පිළිබඳ සිතමින් මුළු ජීවිතයම අසීමිතව විඳවා ලෙඩක් දුකක් හැදුණහොත් ඇතැම්විට නිසි ප්‍රතිකාරයක්ද නොලබා බන්ධනාගාර තුළම මියපරලොව යන්නටය. මරණීය දණ්ඩනය හා දීර්ඝකාලීන සිරදඬුවම් නියම වීමෙන් ජීවිතයේ හොඳම කාලය බන්ධනාගාරය තුළ ගෙවා දැමූ වයස අවුරුදු 70 පසු කළ සිරකරුවන් 274 දෙනකු මේ මොහොතේත් මෙරට බන්ධනාගාර තුළ සිටීමෙන් කියැවෙන්නේ එය නොවේද?

මෙකී තතත්වය තුළ ලෝකය හා සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව යළිත් අංක එකට ඔසවා තැබීමට මෙතෙක් මේ රට කරවූ පාලකයෝ සමත්ව ඇත්තාහ. ඔවුන් එය සිදු කර ඇත්තේ ජනගහනයට සාපේක්‍ෂව ප්‍රතිශතයක් වශයෙන් දීර්ඝකාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් වැඩිම පිරිසක් සිටින රට බවට ශ්‍රී ලංකාව ඔසවා තැබීමෙනි.

ඒ බව පෙන්වා දීමට උදාහරණයක් ලෙස අසල්වැසි රාජ්‍යය වූ ඉන්දියාව ගෙන බැලුවහොත් සමස්ත ඉන්දියාවේ ජනගහනය කෝටි හැටකට අධිකය. එහෙත් එරට බන්ධනාගාර තුළ දීර්ඝකාලීන සිරදඬුවම් විඳන මිනිසුන් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් එය ඇත්තේ සියයට 0.001 වැනි තැනකය.

ඉන්දියාවේ එසේ වුවද කෝටි දෙකකට මදක් වැඩි ජනගහනයක් සිටින මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ දීර්ඝකාලීන සිරදඬුවම් විඳින පිරිස ජනගහනයට සාපේක්‍ෂව ප්‍රතිශතයක් වශයෙන් ගත් කල අද එය පවතින්නේ සියයට 0.01 ලෙසය.

පුද්ගලයකු දීර්ඝකාලීනව සිරගතව සිටියදී එම පවුල ගෙන බලන විට සිදුවන ව්‍යසනය ඉහත පරිදි නම් මෙවැනි තත්ත්වයක් පවතිද්දී දිනෙන් දින රට තුළ සිදුවන අපරාධවල ඉහළ යෑමක් මිස කිසිවිටකත් ඒවායේ පාලනයක් අපට බලාපොරොත්තු විය හැකිද?

අප ඒ ප්‍රශ්නය මෙහිදී මතුකර පෙන්වා දෙනුයේ පාර්ලිමේන්තුවේ අසුන් ගෙන රට වෙනුවෙන් හදවතින් කතා කරන මෙරට සමස්ත දේශපාලනඥයන්ට කල්පනා කර බලනු පිණිසය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment