තාත්තා කළ හැම දෙයක්ම මම අනුගමනය කරන්නේ නෑ- සජිත් මැතිසබයේදී කියයි

81

රණසිංහ ප්‍රේමදාස නම් වූ තම පියා කළ සෑම දෙයක්ම තමා අනුගමනය නොකරන බවත් සිය පියාගේ ගුණාත්මක නිවැරැදි දේවල් පමණක් අනුගමනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) පැවසීය.

තමා පියා කළ වැරදි දේවල් බැහැර කරන බවත් තමන් ස්වාධීන පුද්ගලයකු බවත් පියා කරපු හැම දෙයක්ම අනුගමනය කරන පුතකු නොවන බවත් හොඳ දේවල් ඉදිරියට ගෙන යමින් අඩුපාඩුකම් බැහැර කරන බවත් හෙතෙම කීවේය.

ඔහු මෙම අදහස් පළ කළේ, රාජ්‍ය ආයතනයක වෘත්තීය සමිති නිලධාරියකු වෘත්තීය සමිති කටයුත්තක් සඳහා කාර්යාලයීය විද්‍යුත් තැපැල් පහසුකම් පාවිච්චි කිරීම හේතුවෙන් කොළඹ සිට කලවාන ශාඛාවට මාරු කර ඇති බැවින් එය නවත්වන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

මම ස්වාධීන පුද්ගලයෙක්. මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් තියනවා. මගේම හදවතක් හෘද හෘදසාක්ෂියක් තියෙනවා. පාසල් දරුවන්ට දිවා ආහාරය දීම රණසිංහ ප්‍රේමදාස මගේ පියා කරපු හොඳ වැඩක්. ඔබතුමා මගේ පියා වෘත්තිය සමිති නායකයන්ට කරපු දෙයක් කිව්වා. ඔබතුමා කියන්නේ එතකොට මමත් යන්න ඕන ඒ පාරේද. ඒකද කියන්නේ.

එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු දෙමින් මෙසේද කියා සිටියේය.

මේ ප්‍රශ්නේ කලින් දැනුම් දුන්න නම් මම හෝ අදාළ අමාත්‍යතුමා හෝ සූදානම්ව පැමිණෙනවා. ඒ නිසා විපක්ෂ නායකතුමා නගපු කාරණය අදාළ අමාත්‍යාංශය සමඟ, අදාළ දෙපාර්තමේන්තුව සමඟ කතාබස් කරලා අපි පිළිතුරක් ලබා දෙන්නම් කථානායකතුමනි. වෘත්තීය සමිති නායකයන් ගැන අද කතා කරන්න, ගරු විපක්ෂ නායකතුමා නැඟී සිටීම ගැන මම ඇත්ත වශයෙන් සතුටුවෙනවා. සමහර විට පුදුම වෙනවා. මොකද එතුමගේ ආදරණීය පියාගේ කාලේ වෘත්තීය සමිති නායකයෝ ඔක්කොම ගෙදර යැව්වා. බුරුතු පිටින් ගෙදර යැව්වා. 83,000ක්, වැඩවර්ජනයක් කළා සුළු වැටුපක් ඉල්ලලා. වැඩි වීමක් ඉල්ලපු වෙලාවේ ගෙදර යැව්වා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment