තාත්තා නැතිවෙලා අවුරුදු 20 යි: රන්වල බලකායෙන් වැඩ විස්සක්

290

ලාංකේය ජන ගීතය හා ජන සංගීතය වෙනුවෙන්ම ඇප කැප වූ විශිෂ්ට සංගීතවේදියකු සේම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකු වූ ලයනල් රන්වල ශූරීන් සිය දිවිසැරිය නිමවා මෙම නොවැම්බර් මස 13 වැනිදාට විසි වසරක් සපිරේ.

ලයනල් රන්වලයන් පෙන්වා දුන් මග ඔස්සේ යමින් රන්වල පදනම රන්වල බළකාය සහ රන්වල මතු පරපුර සංවිධාන එකමුතුව මෙහෙයවීමෙන් මෙම මස 26 සහ 27 දෙදින අළලා සිදුකෙරෙන දැවැන්ත වැඩසටහන් මාලාවක් ද පැවැත්වේ.

දේශීයත්වයට මුල් තැන දෙමින් සිදුකෙරෙන මෙම විසල් යුග මෙහෙවර පිළිබඳව රන්වල ශූරීන්ගේ පුත් රන්වල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල අප සමඟ පිළිසඳරකට එක්විය.

ලයනල් රන්වලගේ පුතා විදියට මම කරන්නේ නොවැම්බර් 13 වෙනිදට අපේ පවුලේ අයත් එක්ක එකතුවෙලා දානමාන පිංකම් පුන්‍යකර්ම ආදිය කිරීමයි. හැබැයි අපි රන්වල පදනම විදියට සහ පදනමේ සාමාජිකයෙක් විදියට පදනමේ අනෙක් අයත් එක්ක එකතුවෙලා ගොඩක් වැඩකටයුතු අපි මේ 20වෙනි ගුණ සැමරුමත් එක්ක සංවිධානය කරලා තියෙනවා. අපි කල්පනා කළා තාත්තා ඉගෙන ගත්ත පාසල්වල සහ තාත්තා ඉගැන්වූ පාසල්වල දැනට ඉගෙන ගන්න ළමයින්ට යම්කිසි වැඩකටයුත්තක් නොමිලේ කරන්න ඕන කියලා. අපි පාසල් එක්ක කතා කරලා ඒ අයගේ අවශ්‍යතාවයන්ට අනුව ඒ පාසල්වලින් කරපු ඉල්ලීම්වලට අනුව දේශන, වැඩමුළු වගේ දේවල් කරන්න දැනට සංවිධානය කරනවා. එහෙම පාසල් නවයකම සංවිධාන කටයුතු කරනවා.

ඒත් එක්කම තාත්තා කියන්න ඕනේ තාත්තා මුලින්ම වාර්තා වැඩසටහනක් ආරම්භ කළා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ක. ඒ නිසා ඉන් අනතුරුව අපි අප්‍රකට ජන ගී 20ක් කරන්නත් කල්පනා කළා. ඒගස් නාලිකාව, ස්වර්ණ ටී.වී., ලංකාරේ රේඩියෝ වෙබ් චැනලය සහ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාව හරහා ඒ වැඩකටයුත්ත කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. අපි මේ වැඩ 20 නම් කරලා තියෙන්නේ රන් සළකුණු 20යි 20 කියලා. ඒ අවුරුදු 20ක් රන් වැඩ 20ක් කියලා. ඒත් එක්කම තවත් විශේෂ දෙයක් අපි කරනවා ලයනල් රන්වලයන් සහ රන්වල බළකාය නිර්මාණය කරපු ගීත ඇසුරෙන් චිත්‍ර අඳින වැඩසටහනක් කරලා චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. තවත් සුවිශේෂීම දෙයක් තමයි අපි අලුත්ම ප්‍රසංගයක් ආරම්භ කරනවා අපේ ගීත ඇසුරෙන් ජීවන විග්‍රහයක් පිළිබඳව. ඉතිං නොවැම්බර් 27 වෙනිදාට ඒ සංදර්ශනයත් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්නත් ඕනේ ලයනල් රන්වල මගේ පියාට තිබුණ දැනුම, පෞර්ෂය, අත්දැකීම් කිසිවක් අපි සතුව නැහැ. හැබැයි එතුමා අපිට පෙන්වපු මගක යන්න අවශ්‍යතාවයක් අපට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තියත් අපට තියෙනවා. ඉතිං අපි මේ උත්සහ කරන්නේ එතුමා හා සම වෙන්න නෙවෙයි. එතුමා පෙන්වපු මඟ යමින්, අපිටම කියලා සංගීතයක් බිහි කරන්න තමයි අපි උත්සහ කරන්නේ.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment