තාත්තා මියගිය දවස මට අද වගේ  මතකයි – වෛද්‍ය රංග වික්‍රමසිංහ

816

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බාල පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහයන් සමඟ දෙනගම සිරිවර්ධන සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසූ ලිපියකි.

එදා 1976 ජූලි 23 වැනිදා මගේ තාත්තා මියගිය දවස මට අද උදෑසන වගේම මතකයි. මා සිටියේ තාත්තාගේ ඇඳ ළඟ. ඔහුගේ සිහිය මඳක් දුබල වී තිබුණා. මා ඔහුගේ නාඩි බැලුවා.

තව වැඩි වෙලාවක් යෑමට පෙර තාත්තා මිය යන බව මට දැනුණා. නංගී හැර අපේ පවුලේ අනෙක් සියලු දෙනාම තාත්තාගේ ඇඳ ළඟ සිටියා.

තාත්තා මියගිය දවස මට අද වගේ  මතකයි - වෛද්‍ය රංග වික්‍රමසිංහ

නාඩි වැටුණේ තරුණයෙකුගේ වගේ. අවුරුදු අසූහය පසු කළත් තාත්තාගේ නාඩි තරුණයකුගේ වගෙයි. මට පුදුම හිතුණා. අදත් මා ඒ ගැන පුදුම වෙනවා. මිය යෑමට මිනිත්තුවකට පමණ පෙර නාඩි දුර්වල වුණා. හුස්ම ගැනීමේ වෙනසක් ඇතිවුණා. අපි ඔහුගේ උස් පහත් වන පපුව දෙසත් මුහුණ දෙසත් බලා සිටියා.

මේ අන්තිම මිනිත්තුව! මට දැනුණා. දිගු හුස්මක් පිට වුණා. හුස්ම ගැනීම නැවතුණා.

වැඩවලින් පිරුණු ඔහුගේ ජීවිතය එසේ අවසන් වුණා. රජයට අවශ්‍ය වුණේ රාජකීය ගරු බුහුමන් මැද අවමඟුල් උළෙල මහ ඉහළින් පැවැත්වීමට. තාත්තාගේ කැමැත්ත තිබුණේ ඉතා චාම් ලෙස අවමඟුල සිදු කිරීමට. අවමඟුල කොග්ගලදී සිදු කළ යුතු බව ද ඔහු කියා තිබුණා. අපි ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු උපන් නිවස අසල අවමඟුල ඉතා චාම් ලෙස සිදු කළා.

මිය යෑමට පෙර තුන් මසක්ම තාත්තා සිටියේ අසනීපයෙන්. නිව්මෝනියාව වැළඳී ඔහු හොඳටම දුර්වල වුණා. වෛද්‍ය ඩී. ජේ. ආටිගල මහතාගේ ද උපදෙස් ඇතිව මා තාත්තා ගෙදර තබාගෙන ප්‍රතිකාර කළා. කෙනෙකු මිය යන අවස්ථාව නිරූපණය කැරුණු තැන් ඔහුගේ කතා රාශියකම මා කියවා තිබෙනවා. මැරෙන මොහොත හිතින් මවාගෙන ඔහු ඒ කතා ලියූ හැටි ඔහුට සිහිවන්ට ඇත.

තාත්තා මියයන විට මගේ වයස අවුරුදු හතළිස් හතරයි. අවුරුදු තිහක්ම මා ජීවත් වුණේ තාත්තා සහ අම්මා සමඟ එක වහලක් යට. වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේත් මා සිටියේ ඔවුන් සමඟ. මා 1961 දී විවාහ වූ පසු ද අවුරුද්දක්ම අම්මාත් තාත්තාත් සමඟ එකට ජීවත් වුණා. පසුව මා ගෙයක් හදාගෙන වෙනම තැනකට ගියා. තාත්තා අම්මාත් සමඟ පැමිණ මගේ ගෙදර තවත් අවුරුද්දක් හිටියා.

මා කුඩා කාලයේ තාත්තාට අපේ ඉගෙනීමේ වැඩ ගැන සොයන්නට වේලාවක් තිබුණේ නැහැ. අම්මාත්, ලොකු අයියාත්, තමයි නිතරම අපේ පාඩම් ගැන ඇහුවේ. අම්මා තාත්තාට ලිවීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ගෙදර ප්‍රශ්න, වුවමනාවන් කිසිවක් පිළිබඳව තාත්තාට සිතන්නට ඉඩ දුන්නේ නැහැ. අපේ වැඩ ඔක්කොම අම්මා බලා ගත්තා. ලොකු අයියා අපට තරවටු කරමින් පාඩම්වලට අප යොමු කළා. ලොකු අයියාට අපි කවුරුත් බයෙන් හිටියෙ.

තාත්තා මට තළල තියෙන්නෙ එකම එක දවසයි. එදා මම නංගිත් එක්ක අටපට්ටම් වෙසක් කූඩුවක් තනමින් හිටියා. බටපතුරු කැපුවේ, සීරුවේ මම. නංගි ඒවා අරගෙන යනව. මට තරහයි. මම ඇගේ අතේ තිබුණු බට පතුරක් ඉදුරුවා. ඇගේ අතෙන් ලේ ගලන්න පටන් ගත්තා. නංගී කෑ ගහල ඇඬුවා. තාත්තයි, අම්මයි දුවගෙන ආවා. ලේ දැක්ක ගමන් තාත්තට කේන්ති ගියා. බට පතුරක් අරගෙන තාත්තා මට ගැහුවා.

පසුකාලෙක තාත්තා “බබාගේ වෙසක් පහන” නමැති කෙටි කතාව ලීවේ මේ අත්දැකීමෙන්. ඒත් ඒ කතාවේ ප්‍රධාන ළමා චරිතයට තැළුම් කන්න වෙන්නේ නැහැ. බැනුම් අහනව විතරයි. මට තළපු එක හරි නැහැ කියල තාත්තට හිතෙන්න ඇති.

අපේ ඉගෙනීම ගැන තාත්තා ඒ තරම් සැලකිල්ලක් නොදැක්වුවත් වාර පරීක්‍ෂණවලින් පස්සේ අපේ ලකුණු වාර්තා පොත් බලනවා. හොඳට ලකුණු අරගෙන තිබුණොත් තෑග්ගක් දෙනවා. තෑගි කළේ පොතක්. කියවීමට අප උනන්දු කිරීමට තමයි පොත් තෑගි කළේ. ආර්. ඇම්. බැලන්ටයින්ගේ “කොරල් දූපත” මට ලැබුණු එක තෑග්ගක්. ඒ පොතේ අග පිටුවේ තිබුණා බැලන්ටයින්ගේ අනෙක් පොත්වල නම්. “කොරල් දූපත” කියවා අවසන් කළ මට බැලන්ටයින්ගේ අනෙක් පොත් ද කියවන්නට වුවමනා වුණා.

“ඊළඟ වාරේ හොඳට ලකුණු ගත්තොත් ඒ පොතුත් දෙනවා….”

තාත්තා කීවා.

කියවීමටත්, ඉගෙනීමටත්, තාත්තා අප උනන්දු කළේ එහෙමයි.

සමහර වාරවලදී තාත්තා අප ගුණසේන පොත් සාප්පුවට එක්ක යනවා. අපට හොඳ පොත් තෝරා ගන්න කියනවා. හොඳ කර්තෘවරු ගැන තාත්තා අපට කියා තිබුණා. අපි ඔවුන්ගේ පොත් තෝරා ගන්නව. බටහිර ළමා පොත් විශාල ප්‍රමාණයක් තාත්තා කියවා තිබුණා. ඒ නිසා ළමයින්ට ගැලපෙන පොත් පිළිබඳව ඔහු දැන සිටියා.

විභාගයෙන් වැඩි ලකුණු ගත් දවසට පොත් සාප්පුවලට ගියාම හොඳ හෝටලයකට ද කැඳවාගෙන ගොස් අපට කෑම ලබා දෙනවා.

සෑම අවුරුදු නිවාඩුවකම තාත්තා අප ගමට එක්ක ගියා. කොටුවෙන් දුම්රියේ නඟින අපි අහංගම දුම්රිය පළේ බහිනවා. දුම්රිය පොළට ආච්චි එවූ බක්කි කරත්තයෙන් තාත්තාත් අම්මාත් අප සමඟ ගමට යනවා. ඔහු එහි ඉන්නේ එක දවසයි. අපි එහේ නතර කොට ඔහු ආපසු කොළඹ එනවා.

අවුරුදු නිවාඩුව ඉවර වනතුරු අපි ගමේ ළමයින් සමඟ එකතු වී ලඳු කැලෑ පීරමින් සෙල්ලම් කළා. ගම අප සමඟ සම්බන්ධ කිරීමේ වුවමනාව තාත්තට තිබුණා. එදා අපි ගමේදී ලැබූ ඒ අත්දැකීම් පසුකාලයේදී තාත්තාගේ පොත්වලින් යළි හමුවුණා. ඒ පොත්වලින් වැඩි හරියක් මා කියවන්නට පටන් ගත්තේ මගේ වයස අවුරුදු තිහක් වූ පසු. තාත්තා ඔහුගේ පොත් කියවන්නට අප පෙළඹවූයේ නැහැ. ඔහු අපට සිංහල පොත්වලින් දුන්නේ කුමාරතුංගගේ සහ ඩබ්. ඒ. සිල්වාගේ පොත්. කුමාරතුංගගේ ළමා කවිවලට තාත්තා බොහෝ ප්‍රිය කළා. “හා හා හරි හාවා – කැලේ මැදින් ආවා” කවිය තාත්තාගේ කටේ නිතර තිබුණා. මටත් ඒ ළමා කවි පාඩම් හිටියා.

ඉස්සර අපි ගල්කිස්සේ ගෙදරක පදිංචි වී සිටියා. එහි තිබුණේ කාමර තුනයි. එකක අම්මයි තාත්තයි. තවත් එකක අයියල දෙන්න. අක්කයි, මායි හිටියේ, සාලේ පැදුරු දාගෙන.

තාත්තා ලේක්හවුස් ආයතනයෙ වැඩ කරල ගෙදර එන්නේ රෑ දහයට. ඔහු එන සද්දෙට හැමදාම රෑ දහයට මා අවදි වෙනව. අමුත්තෝ ආවොත් අයියල දෙන්නත් පැදුරු අරන් සාලෙට එනවා. ඒක නිතර සිදු වූ දෙයක්. කොග්ගල නෑදෑයෝ, තාත්තා අඳුනන පිට පළාත්වල මිනිස්සු නිතර නිතර අපේ ගෙදරට ආවා. ගෙදර අමුත්තන්ගෙන් පිරුණා. ආගන්තුකයන්ට සැලකීම තරම් සතුටක් තාත්තටත්, අම්මටත්, තවත් නැති තරම්. අවුරුදු 12 දී මා පාසල් යෑමට බෝඩිමක නතර වුණා. බෝඩිමෙන් අස්වෙලා ගෙදර ආවම තාත්ත මට අලුත් කාමරයක් හදා දුන්නා. ඒ කාමරේ හදන්න අත්තිවාරම දාපු දවසේ තාත්තා මට කීවා රංගගේ කාමරේට රංගම මුල්ගල තබන්න කියා.

ඔහු උදේම ඔහුගේ පුස්තකාලයට යනවා. බුරුසුවකින් පොත්වල දුහුවිලි පිසිනවා. මකුළු දැල් කඩනවා. පොත් පිසින අතර විටින් විට නතර වෙලා පොතක් අතට ගන්නවා. අතරින් පතර පිටුවක් දෙකක් කියවනවා. හැම පොතකම ඔහු පැන්සලකින් යමක් ලියා තිබෙනවා. ඒවා කියවා යළි මුළු පොතම සිහි කරනවා.

පුස්තකාලයේ දුහුවිලි පොදක් නැතිවන විදියට තාත්තා ඒක පිරිසිදුව තැබුවා. මිතුරන් සමඟ කතා කරමින් සිටින අතර “ආ… ඒක පොතක තිබුණා” කියා පොත් කාමරයට යනවා. මිනිත්තුවෙන් දෙකෙන් පොත තෝරාගෙන එනවා. පොත් හයදාහක් පමණ තාත්තාට තිබුණා. ඕනෑම පොතක් තිබුණ තැන කීමට පුළුවන්කමක් තාත්තාට ලැබුණේ තාත්තා නිතරම පොත් අත ගා පිටු පෙරලූ නිසා වෙන්න ඇති.

පොත්වලට තාත්තා තරම් ආදරය කළ කෙනෙක් ඇද්දැයි මා දන්නේ නැහැ. තාත්තාගේ පොත් ඉල්ලාගෙන ගිය අයගේ නම් පොතක ලියා තිබෙනවා. පොත් ලැබුණු පසු ඒ බවද ලකුණු කර තිබෙනවා. ඉතා ප්‍රකට පුද්ගලයන් විශාල පිරිසක් තාත්තාගේ පුස්තකාලය පාවිච්චි කළා. පොත් ලබාගෙන ආපසු බාර නොදුන් අයගේ නම් ද තාත්තාගේ අර පොතේ තිබෙනවා.

ලේඛන කලාවට අප නැඹුරු කිරීමට තාත්තා වෑයම් කළේ නැහැ. ලේඛකයකු විඳින දුක තාත්තා දන්නා නිසා වෙන්න ඇති. බොහෝ ලේඛකයන් ප්‍රකාශකයන්ගේ ග්‍රහණයට අසුවී ඔවුන්ගේ නිර්මාණවලට අඩු මුදලක් ලබමින් ගෙවන දුක් ජීවිත තාත්තා දැක තිබුණා.

දරුවන් හය දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීමට, විශ්වවිද්‍යාල උපාධි ලැබෙන තුරු ඔවුන්ට ඉගැන්වීමට, තාත්තා ලැබූ වැටුප් ප්‍රමාණවත් වූයේ යාන්තමින්. අම්මා, තාත්තා සොයන මුදල් ඉතා අරපරෙස්සමෙන් වියදම් කළේ. තාත්තාගේ සියලු පොත් පළ කළේ තාත්තාමයි. ඔහු ප්‍රකාශකයන්ට පොත්වල අයිතිය ලියා දුන්නේ නැහැ.

භාෂාවේ සහ සාහිත්‍යයේ දියුණුවට වැඩ කරන ඉහළ නිර්මාණ කුසලතා ඇති අයට තාත්තා ධෛර්යය දුන්නා. පී. බී. අල්විස් පෙරේරා වැනි කොළඹ යුගයේ කවීන් නිර්දය ලෙස විශ්වවිද්‍යාල විචාරකයන් විසින් හෙළා දැකපු කාලේ තාත්තා එබඳු කවීන්ගේ කුසලතා අගය කළා. දුබලතා ද පෙන්වා දුන්නා. ගුණදාස අමරසේකර සතු ඉහළතම නිර්මාණ කුසලතා තාත්තාගේ සතුටට හේතු වුණා. ඔහුගේ කෙටි කතා, නවකතා අගය කළා. එහෙත් ඔහුගේ “යළි උපන්නෙමි” තාත්තාගේ ගැරහීමට ලක්වුණා. මහාචාර්ය සරත්චන්ද්‍ර “යළි උපන්නෙමි” ජාත්‍යන්තර භාෂාවකට නැගිය යුතු උසස් කෘතියක් ලෙස හඳුන්වා දෙද්දී තාත්තා එය ඉතා අසාර්ථක කෘතියක් සේ දක්වමින් අමරසේකරට යා යුතු මග පෙන්වුවා.

දිනක් තාත්තා බද්දේගමට ගියා. එහිදී ඔහු ගුණදාස අමරසේකර උපන් යටලමත්තට යෑමට හිතුවා. අර “යළි උපන්නෙමි” කර්තෘගේ ගෙදර කොහේදැයි ඔහු ගැමියෙකුගෙන් ඇහුවා. “දන්නේ නැහැ.” කීවා. “කරුමක්කාරයෝ කර්තෘගේ ගෙදර?” තාත්තා

ඔහුගෙන් ඇසුවා. ගැමියා පාර පෙන්නුවා. “යළි උපන්නෙමි” ගැමි ජනතාවට විෂය වන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතියට ආගන්තුකයි. ඔහු කීවා.

තාත්තාට බඩේ අමාරු සෑදී ශරීරය දුර්වල වුණා. හිතේ කැළඹීමකුත් තිබුණා. තාත්තා බණ්ඩාරවෙල නිවසට ගියා. ඒ සුන්දර කඳුකරය තාත්තාගේ සිත සන්සුන් කළා. “විරාගය” ලියවුණේ එහිදී.

ඒ නිවසට පෙනුණු ගහකොළ කඳු “විරාගය” නවකතාවට ඇතුළු වුණා.

“චිත්‍රපටයකට ඊට මුල් වූ නවකතාවම පිළිබිඹු කරන්න පුළුවන්ද?” තාත්තා ඇසුවා.

“ගම්පෙරළිය” නවකතාව ඇසුරින් ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ “ගම්පෙරළිය” චිත්‍රපටය තාත්තා තුළ නොසතුටක් ඇති කළේ නැහැ.

තාත්තා ලියූ ලිපිවල මුල් පිටපත් කියවීම අපහසුයි. තාත්තා පොතක් ලිව්වම ඒකේ අත් පිටපත අම්මා පිටපත් කර දෙනවා. තාත්තාගේ අකුරු සහිත මුල් පිටපත අම්මා ආරක්ෂාවට තබනවා. ගම්පෙරළියේ අත් පිටපත් නම් ආරක්ෂා කර ගන්න බැරිවුණා. ලියූ කඩදාසි ගොඩ ගැසෙනකොට තාත්තා ඒවා විසි කරනවා. පිළිස්සීමට පෙර අම්මා ඒ සියල්ල එකින් එක ගෙන බලනවා. බොහෝ වැදගත් ලිපි ගින්දරට වැටෙන්නට නොදී රැක ගන්නේ අම්මා විසින්.

“කවර තරමේ බුද්ධිමතකු වුවද සිය පරිසරය තුළ, සංස්කෘතිය තුළ වැඩුණේ නැත්නම් ඔහුගෙන් ඒ සමාජයට පලක් නැහැ. ඔහුගේ බුද්ධියෙන් ප්‍රයෝජනයක් නැහැ….” තාත්තා කීවා.

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment