තාත්තා සිංදු දහසකට වඩා ලියලා තියෙනවා… හිමි නැති පෙමකට ගීතය පැරණි පේ‍්‍රම කතාවක්…

1028

 කැමිලස්ගේ පුතු ලසිත මුල්වරට කතා කරයි

ලංකාවේ ජනප‍්‍රිය සංස්කෘතිය තුළ කැමිලස් පෙරේරා ලා තිදෙනෙක් ගැන සඳහන් ය. ඉන් පළමුවැන්නා කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා ය. දෙවැන්නා ගායක කැමිලස් පෙරේරා ය. තෙවැන්නා ගායක ගායිකාවන්ට සිංදු ලියන පුවත්පත් කලාවේදී කැමිලස් පෙරේරා ය. රෝගීව දිගු කලක් සයනයට සීමාව සිටි තුන්වැනි කැමිලස් පෙරේරා පසුගියදා මිය ගියේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ හතරකි. මේ රටේ පළවූ සිනමා පත්තරවලින් වැඩි හරියක කැමිලස් පෙරේරා ගේ ලිපි පළවී තිබේ. පුවත්පත් කලාවේදියකු ලෙස ජීවිතය ආරම්භ කළත් ඔහු පසු කාලයේදී ප‍්‍රසිද්ධියට පත් වන්නේ ගීත රචකයකු ලෙසය. ගීත දහසක් පමණ ලියූ ඔහු කිසි කලෙකත් පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් දුන් කෙනකු නොවේ. කොටු සහිත අත් දිග කමිසයට ප‍්‍රිය කරන පටි සෙරෙප්පු පැළඳි සිහින් උස කැමිලස් ගේ රුව මීට දශක එකහමාරකට පෙර අවසන් වූ සිනමා පත්තර ලෝකයේදී නිතර දැක ගත හැකි විය. පසුගිය අපේ‍්‍රල් මාසයේදී පුවත්පත් සාකච්ඡුාවක් සඳහා කැමිලස් පෙරේරාට අප දුරකථනයෙන් කතා කළ අවස්ථාවේදී ඔහු සිටියේ කතා කර ගැනීමට බැරි තරම් රෝගීවය. එබැවින් ඔහු වෙනුවෙන් ඔහුගේ හඬ අවදි කළේ ඔහුගේ පුතු වූ ලසිත මධුරංග ය. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී මේ සම්මුඛ සාකච්ඡුාව ලබාගත් නමුදු රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පුවත්පත් මුද්‍රණය අඩාල වූ බැවින් එය පළ කිරීමට අපට නොහැකි විය. අද පළවන්නේ එම සාකච්ඡුාවයි.
 
 
old1

තාත්තා ගීත දහසකට වඩා ලියලා තියෙනවා. මාලිනි බුලත්සිංහල ගයන හිමි නැති පෙමකට, සනත් නන්දසිරි ගයන වාසනා වේවා සහ විකසිත වත කමලේ, රෝහණ සිරිවර්ධන ගයන දේව මන්දීරේ, ක්ලැරන්ස් විජේවර්ධනගේ හද විලේ ඔබ පිපුනා, ටී. එම්. ජයරත්න ගයන හදිස්සියේ හනි හනිකට පය තබනා, ෆීලික්ස් ඇන්ටන් ගයන ආදර ප‍්‍රිය ළඳුනේ, වික්ටර් රත්නායකගේ ආයුබෝ වේවා, පුන්සිරි සොයිසාගේ මා තනිවෙලා, එඞ්වඞ් ජයකොඩි ගයන පෙර ඔබ මා හමුවී, නන්දා මාලිනි ගයන දුර ඈත, සහරාවේ සිහිනය චිත‍්‍රපටයේ විජය කුමාරතුංග ගයන රන් දහදිය විකුණාලා, කමල් අද්දරආරච්චි සමග දමයන්ති ජයසූරිය ගයන උන්මාද වූ පේ‍්‍රමාදරේ වගේ ගීත ගණනාවක් හුඟක් ජනප‍්‍රිය වුණා.
 
 * හිමි නැති පෙමකට ගීතය ඔහු රචනා කළේ කාටද කියලා ඔබ දන්නවද?
 
old3

හිමි නැති පෙමකට ගීතය ලියලා තියෙන්නේ ඒ කාලේ ඔහු පෙම්කරපු තරුණියක් නිසා කියලා තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි ඒ ආදරෙන් ඔහු පරාදවෙලා. ඔය සිද්ධිය තමයි මේ ගීතය ලියන්න බලපාලා තියෙනවා කියලා අපි දන්නේ. පහුකාලේ අපිත් වැඩිහිටියෝ වුණාට පස්සේ අපි තාත්තාගෙන් ඔය දේවල් ගැන විස්තර අහනවා ඉඳලා හිටලා.
 
 * එහෙම විස්තර අහද්දී කවදාහරි ඔබ අහලා තියෙනවාද ඔහුගෙන් මේ ගීතයේ එන ”අන් සතු හදකට පෙම් කළ වරදට’’ කියන කොටස පිළිබඳව?
 
 අපි තාත්තාගෙන් මේ දේවල් අහන්න පටන් ගන්න කාලේ වෙනකොට තාත්තා ලෙඩින් ගෙදර ඉන්න කාලේ. ඉතිං අපිත් විහිළුවෙන් විහිළුවෙන් හෙමින් විස්තර අහනවා. ඒත් ඔහුට මතකයක් තිබුණේ නෑ පැහැදිලිව විස්තර කියන්න. හැබැයි බොහොම ඉස්සර ඔහු පෙම්කළ තරුණියක් නිසා මේ ගීතය ලියූ බව නම් අපිත් එක්ක කියලා තියෙනවා.
 
 * දේව මන්දීරේ ගීතයත් ඔහු රචනා කළ ජනප‍්‍රියතම ගීතයක්. ලියපු හේතුව එහෙම දන්නවද?
 
 ඒ ගීතයත් ලියලා තියෙන්නේ අර වගේම සිද්ධියකදී. තරුණ කාලේ ඔහු ආදරය කළ තරුණියක් ඔහුගේ පේ‍්‍රමය අතහැරලා ඔහුටත් නොකියාම සිස්ටර් කෙනෙක් වෙලා. දවසක් තාත්තට එන්න කියලා පණිවිඩයක් එවලා. නමුත් තාත්තා   ඇගේ පණිවිඩයට ඇය මුණගැහෙන්න යද්දිත් ඇය ඉඳලා තියෙන්නේ පල්ලියේ සිස්ටර් කෙනෙක් වෙලා. ඔහු ආදරය කළ තරුණිය ඔහුටත් නොකියාම කන්‍යා සොයුරියක් වෙලා තියෙනවා. ඉතිං ඔය අත්දැකීමත් එක්ක තමයි තාත්තා දේව මන්දීරේ ගීතය ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර රෝහණ සිරිවර්ධන ගුවන් විදුලියට සරල ගී කියනකොට තාත්තාගෙනුත් සිංදු ඉල්ලාගෙන තියෙනවා. ඉතිං එහෙම එතුමාගේ එක සරල ගී වැඩසටහනකට ගීත ඉල්ලූවම තාත්තා මේ අත්දැකීමත් ගීතයක් විදිහට ලියලා දීලා තියෙනවා. පල්ලිය පසුබිම් කරගෙන තමයි ඔහු මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. දේව මන්දීරේ ගීතය සෑහෙන්න ජනප‍්‍රිය වුණා. ඉන් පස්සේ කැසට් යුගය උදාවුණාම තාත්තා
 
 තරංගා සහ සිංග් ලංකා වැනි කැසට් ආයතන වලටත් ගීත ගණනාවක් රචනා කරලා තියෙනවා. ඒ ගීත බොහොමයක් මිනිසුන් අතරට ගියා. චිත‍්‍රපට ගීත නම් ඉතිං ඔහුට අදහස දුන්නාම ඔහු ලියනවා.
 
 * අත්දැකීම් ඇසුරින් ඔබේ තාත්තා සමහර ගීත රචනා කරලා තියෙනවනේ. ඔබේ මව වෙනුවෙන් ඔහු ගීත ලියා තිබෙනවාද?
 
 නැහැනේ. අම්මාට තමයි ගීත ලියලම නැත්තේ. හැබැයි අම්මා ඔහු ලියූ ගීත, ඒ ගීත පිළිබඳ සිද්ධි මේ හැමදේම දැනගෙන හිටියා. සමහර දේවල් අම්මා තමයි මතක් කළේ ඒ කාලේ අපි විස්තර අහනකොට. තාත්තා අම්මා සමග විවාහවෙලා තියෙන්නේ යෝජනාවකින්.
 
 * වාසනා වේවා ගීතයට ඔහුට සම්මානයක් හිමිවුණා නේද?
 
 ඒ කාලේ එච්. ඞී. පේ‍්‍රමරත්න ඉඳලා තියෙන්නෙත් මේ ගෙවල් කිට්ටුවම තමයි. ඒ නිසාම මේ දෙන්නා අතර හොඳ හිතවත්කමක් තිබිලා තියෙනවා. ඉතිං එතුමා මංගල තෑග්ග චිත‍්‍රපටය හදනකොට තාත්තටත් කියලා තියෙනවා ගීතයක් ලියලා දෙන්න කියලා. ඒ ලියූ ගීතය තමයි සනත් නන්දසිරි ගයන වාසනා වේවා ගීතය. එදායින් පසුව එච්. ඞී. පේ‍්‍රමරත්නගේ සෑම චිත‍්‍රපටයකම වාගේ තාත්තාටත් ගීත ලියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතිං මේ ගීතයට සරසවිය සම්මානය ලැබිලා තියෙනවා. නමුත් ඒ වෙද්දී තාත්තා සරසවිය කර්තෘ මණ්ඩලයේ කටයුතු කරපු නිසා ඔහුට ඒ සම්මානය ගන්න බැරිවෙලා.
 
 * කැමිලස් පෙරේරා කිසිදිනකවත් මුදල් බලාපොරොත්තුවෙන් ගීත ලියූ පද රචකයෙක් නෙවෙයි?
 
 ඔහු කවදාවත් ගීත ලියලා හම්බ කළේ නෑ. තාත්තට සිංදු ලියන්න මහා වෙලාවක් ගියෙත් නෑ. කවුරුහරි ගීතයක් ලියලා ඉල්ලූවම ඔහු ඒක ලියලා දීලා හිනාවෙලා නිකං ඉන්නවා. සල්ලි ලැබුණත් ඒ සල්ලි දුන්න අය එක්කම භුක්ති විඳිනවා මිසක් සල්ලි පස්සේ දිව්වේ නෑ. අනික පිටපතක්වත් තියාගෙන නෙමෙයි තාත්තා හුඟක් වෙලාවට ගීත ලිව්වේ. මොකද වෙන පරමාර්ථ ඇතුව සල්ලි බලාගෙන වැඩකළේ නැති නිසා.
 
 * ඒ හින්දම ඔහුගේ ගීත මේ වෙද්දී බොහෝ අය පරිහරනය කරනවා නේද?
 
 ඔව් එහෙම ප‍්‍රශ්නත් තියෙනවා. නමුත් අපි පහුගිය කාලේ ගිවිසුමකට ඇවිල්ලා ආයතනයකට සිංදු ටික භාර දීලා තියෙන්නේ. එයාලා තමයි දැන් සිංදු ටික බලාගන්නේ. නැත්නම් කට්ටිය යූ ටියුබ් දානවා, අවසර ගන්නෙත් නෑ කියනවා; අපිට බල බල ඉන්නත් බෑනේ හැමතිස්සෙම.
 
 * ඔහු ගීත රචකයෙක් වගේම ප‍්‍රමුඛ ලෙස කටයුතු කළේ පුවත්පත් කලාවේදියෙක් විදිහට?
 
 ඇත්තටම ඒක තමයි ඔහු කැමතිම දේ. පත්තර රස්සාව. දෙසතිය, ලංකාදීප, ලක්බිම, දිනමිණ, මව්බිම, ගීතා, සරසවිය වැනි පුවත්පත් ගණනාවක ඔහු කටයුතු කළා. එහෙම වැඩ කරමින් ඉන්න අතරතුරේ තමයි ඔහු අසනීප වුණේ. ඊට පස්සේ ඉතිං ගෙදරම තමයි හිටියේ. අම්මත් නැතිවෙලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා. මං ඉස්සර වරායේ වැඩ කළේ. අම්මගෙයි තාත්තගෙයි අසනීප තත්ත්වය නිසා තමයි රැුකියාවෙන් ඉවත්වුණේ. මොකද එයාලව බලාගන්න ඕන නිසා. ඉස්සර ගේ ඇතුළේ ඇවිදිනවා. අපි මේ ඉන්නේ වත්තල තාත්තාගේ මහගෙදර. තාත්තාගේ අම්ම
 
 පහුගිය ජුනි 17 දා නැති වුණේ. ආච්චිට අනූ ගානක් ඒ වෙනකොට. ඉස්සර තාත්තා අසනීප ගානේ ඉද්දිත් එයාගේ අම්මා බලන්න යනවා ගෙවල් ළඟ නිසා. ගිහිං තේ එහෙම බීලා එනවා එයාගේ අම්මගෙන්. පස්සෙන් පහු තාත්තට එහෙට යන්නත් බැරිවුණා; ආච්චිට මෙහෙට එන්නත් බැරිවුණා. හරියටම ආච්චි නැතිවෙලා මාසයක් පිරෙන දවසේ තමයි තාත්තා නැතිවුණේ. අන්තිම කාලේ වෙනකොට කොහෙවත් ගෙනියන්න හැදුවත් දෙන්නේ නැහැ. එපා කියනවා. පාඩුවේ ඉන්න දෙන්න කියනවා. ඇඳක් හම්බුණා. ඉන්පස්සේ
 
 නිදාගන්න පුරුදු වුණා ටිකෙන් ටික. කාලයක් යද්දී දවසම නිදි ඉතිං. අන්තිමට ඇඳටම වැටුණා. ඉස්සර මං වැඩට ගියා ඔක්කොම ලෑස්ති කරල තියලා. පස්සේ තනියෙන් කෑම කන්න බැරුව ගියානේ. ඒකෙන් යන්න විදිහක් නෑ වැඩට. අම්මා අංශභාගෙන් අවුරුදු දෙකක් විතර හිටියා. තාත්තා වගේමයි. අපි නැතිවෙලේ ගේ ඇතුළේ වැටිලා ඇය අසනීප වුණේ. තාත්තා අවුරුදු අටකට වැඩියි ලෙඩ වෙලා. දෙන්නටම මොළේ ලේ කැටි වෙලා තමයි මේ අසනීප තත්ත්වයට ඇවිත් තියෙන්නේ.
 
 * ඔහු කලා කටයුතුවල නිරත වුණු කාලයේ මේ දේවල් ගෙදර ඇවිත් කතා කරනවද?
 
 අම්මා එක්ක වුණත් එළියේ දේවල් වැඩිය කතා කරන්නේ නෑ. හැබැයි අම්මා දන්නවා සිංදු ටික. තාත්තා කාටවත් කියන්නේ නෑ මේක මගෙයි මගෙයි කියලා. සිංදු ලියලා තියෙනවා දාහක් විතර. හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පනහක් සීයක් විතර තමයි. චිත‍්‍රපට ගොඩකට ලියලා තියෙනවා. ඔහු කවදාවත් අපට කියලා නෑ මේ මේ දේවල් කරන්න කියලා. අපිට ඕන දේවල් කරන්න දීලා තමයි ඔහු හිටියේ. අසිපත මමයි, වැඩ බැරිනම් වැඩක් නෑ, දෙව්නි සත්‍ය සුරකින්න,
 
 බොඩිගාඞ්, වනමෝහිනී, ? රූ, සීත සමීරේ, දඬුවම, විෂ්ම රාත‍්‍රිය, එක ?නක කුරුල්ලෝ, මංගල තෑග්ග, දෙවැනි ගමන, සප්ත කන්‍යා වගේ චිත‍්‍රපට ගණනාවකට ඔහු ගීත රචනා කළා. කොච්චර දේවල් කළත් ගෙදර ඇවිත් ඒ දේවල් කතා කරන්නේ නෑ. අපිට ඔහු ගේ කලා කටයුතු ගැන අවබෝධයක් ආවෙත් ටිකක් ලොකුවෙලා. ටී වී එකේ යනවා දැක්කොත් මිසක් අපි දන්නෙත් නෑ ඒ සිංදුව එයාගේද කියලා. අදටත් එහෙමයි. ඔහුට ගීත ලියන්න බැරිවෙලා තියෙන්නේ අමරදේව මහතාට සහ ජෝතිපාල මහතාට විතරයිලූ. අනිත් හැම කෙනකුටම තාත්තා ගීත ලියලා තියෙනවා.
 
 (ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී, ජ්‍යෙෂ්ඨ ගී පද රචක කැමිලස් පෙරේරා මහතාගේ අභාවයෙන් සත් දිනක් ගෙවෙන අද දින ඔහුට උපහාරයක් වශයෙන් දිවයින ඉරිදා සංග‍්‍රහයේ මීවිත මෙම ලිපිය පළ කරමු. ඔහුට අමා මහා නිවන් සුව !)
 
–  යුගන්ති යශෝධරා 

advertistmentadvertistment
advertistmentadvertistment