තාත්තෙකුටයි දුවෙකුටයි ගිනිතැබූ පුද්ගලයා වසර 16 ක් හිරේ

117

කතරගම, දෙටගමුවේදී බහින්බස්වීමක් දුරදිග ගොස් පියෙකුගේ සහ දියණියකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා පියා ඝාතනය කිරීම සහ දියණියට තුවාල සිදු කිරීමේ වරදට, වරදකරු වූ චූදිතයකුට වසර 16කුත් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රු. 10,000ක දඩයක් සහ අගතියට පත් දැරියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. මෙලෙස සිර දඬුවම් නියම වූයේ කතරගම,

ගෝතමීගම පදිංචි 59 හැවිරිදි දයානන්ද අබේගුණවර්ධන නමැති තිදරු පියෙකුටය.

චූදිත පුද්ගලයා 2011.09.17 වැනි දින කතරගම, දෙටගමුව පදිංචි විතාන ආරච්චිලාගේ සමරනායක යන අයගේ සිරුරට හා ඔහුගේ 19 හැවිරිදි දියණියගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා තිබේ. එහිදී බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ පියා සහ දියණිය කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මියගොස් තිබේ. දියණිය වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා ඇත. චූදිත පුද්ගලයාගේ බිරිඳ මරණකරුගේ මිතුරකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත්, ඒ සඳහා මරණකරු උදව් කරන බවටත් චූදිතට කලක සිට සැකයක් මතුව තිබේ. ඒ අනුව චූදිත පුද්ගලයා අවස්ථා කිහිපයකදීම බිරිඳගේ අනියම් ඇසුරු පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇත්තේ මිය ගිය පුද්ගලයා ඔවුන්ට උදව් කරන නිසාවෙන් බවට චූදිත විශ්වාස කර තිබේ. මේ හේතුව නිසා දෙදෙනා අතර අවස්ථා කිහිපයකදීම සුළු බහින්බස්වීම් ද ඇතිව තිබේ.

2011.09.17 වැනි දින මරුණකරු සිය 19 හැවිරිදි දියණියද සමග දෙටගමුව වැව අසලින් ගමන් කරමින් සිටියදී චූදිත පුද්ගලයා පෙට්‍රල් බෝතලයක්ද අතැතිව පා පැදියෙන් ඉදිරියට පැමිණ තිබේ. එහිදි දෙදෙනාම මුහුණට මුහුණ හමු වී ඇති අතර එහිදී දෙදෙනා බහින්බස්වීමක්ද සිදුව තිබේ. පසුව බහින් බස්වීම දුරදිග ගොස් දෙදෙනා පහරදී ගෙන ඇත. එහිදී චූදිත අත තිබුණු පෙට්‍රල් බෝතලය ඉහිරී ගොස් මරණකරුගේ සිරුරට සහ දියණියගේ සිරුරට ද පෙට්‍රල් වැටී තිබේ. එම අවස්ථාවේ චූදිත පුද්ගලයා ඔහු සන්තකයේ තිබූ ලයිටරයකින් මරණකරුට ගිනි දල්වා පලා

ගොස් තිබේ. එහිදි සිය පියාට ගිනි ඇවිළීම නිසා දියණිය එය නිවා දැමීමට උත්සාහ කිරීමේදී දියණියගේ සිරුරට ද ගිනි ඇවිළී තිබේ. එම අවස්ථාවේ මාර්ගයේ කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් විසින් දෙටගමුව වැව මාර්ගයේ ගිනි ගනිමින් දඟලමින් සිටි දියණිය සහ ඇයගේ පියා වැවට තල්ලු කර දමා ගින්න නිවා දෙදෙනාම කතරගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දියණියගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී ඇති අතර පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විසින් චූදිත අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට අධි චෝදනා දෙකක් යටතේ 2015.04.01 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

එහිදි පැවැති නඩු විභාගයේදී චූදිත පුද්ගලයා අදාළ අධි චෝදනා දෙක සඳහා වරදකරු බවට ඔප්පු විය. ඒ අනුව චූදිතට පහත පරිදි දඬුවම් නියම කෙරුණි.

චූදිතට එක හා දෙක චෝදනා සඳහා වසර 16කුත් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර අදාළ චෝදනා දෙක සඳහා රු.5000ක, රු. 10,000ක දඩයක්ද නියම කෙරුණි. චූදිත දඩ නොගෙවන්නේ නම් මාස හය බැගින් මාස 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.

මීට අමතරව පිළිස්සීමෙන් තුවාල ලැබූ මරණකරුගේ දියණියට රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද චූදිතට නියම කෙරුණි. චූදිත අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් අමතරව තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment