තාත්තේ මේ ඔබ වෙනුවෙන් !

733

ගාල්ලේදී ලද ටෙස්ට් ජය කලකට අමතක නොවනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේදී අසරණ කරලූ ශී‍්‍ර ලංකා කණ්ඩායම 2-0 ක පූර්ණ තරගාවලි ජයක් ලැබුවේය. පළමු තරගය මතු නොව දෙවැනි තරගය ද විශිෂ්ට ලෙස ජය ගත්තේය.

මේ ජයග‍්‍රහණවල ප‍්‍රධාන නිර්මාතෘවරු වූහ. පළමුවැන්නේ දිමුත්ය. ඔහුගෙන් ලැබුණු අගනි ශතකයෙන් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයේ මාවත සොයා ගත්තේය. ඒ මාවත දිගේ කොදෙව් කඩුලූ බිඳ දැමූ ප‍්‍රවීන්, රමේෂ්, ඇඹුල්දෙනිය ශී‍්‍ර ලංකාවට ලකුණු 187 ක ජයක් උරුම කර දුන්හ.

ශී‍්‍ර ලංකාව දෙවැනි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එලෙස ජය ගත්තේය. දෙවැනි තරගය ජය ගැනීමේ අභියෝගය ද ශී‍්‍ර ලංකාවට එල්ල විය. ඒ පළමු තරගයේ ලද කීර්තිය තබා ගැනීම පිණිසය. පළමු තරගයේ ලද තැන රැක ගැනීම පිණිසය. පළමු තරගයේ ලද තැන වූයේ ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තැනට ශී‍්‍ර ලංකාව පත් වීමයි. සියයට සියයක ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් ලබා ගැනීමයි.

එය රැකගැනීම අසීරුය. ඇතැම් දේ ලබා ගන්නවාට වඩා පවත්වා ගෙන යෑම, රඳවා ගැනීම අසීරුය. කි‍්‍රකට්වල ද එසේය. එකට ඇවිත් එකේම සිටීම දෙවැනි තරගයේ අභියෝගය විය. කොදෙව්වන්ට එරෙහිව ශී‍්‍ර ලංකාව එම දස්කම ද කළේය. එකේ ස්ථානය රඳවා ගත්තා පමණක් නොව සෝබර්ස් – තිසේරා කුසලානය ද ජය ගත්තේය. එමතු නොව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම තමන් සමග වසර දෙකකට ආසන්න කාලයක් රැඳී සිටි පුහුණුකරු මිකී ආතර්ට ද ජයග‍්‍රාහී සමුගැනීමක් ලබා දුන්නේය. එංගලන්තයේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමක් සමග ගිවිසුම්ගතව ඇති ආතර් මහතා තවදුරටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු නොවේ. ඒ නිසා මිකී ආතර් මහතාට ලබාදිය හැකි හොඳම සමුගැනීම ශී‍්‍ර ලංකාව ගාල්ලේදී ලබා දුන්නේය.

එම ජයග‍්‍රාහණයේ නිර්මාතෘවරයා වූයේ ධනංජය ද සිල්වායි. දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 155 ක් ලබා ගත් ධනංජය ශී‍්‍ර ලංකාවට ජය මාවත පෙන්වා දුන්නේය. පෙර පරිදිම රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙනිය ඒ මාවතේ ගොස් කොදෙව්වන් පරදා ශී‍්‍ර ලංකාවට
තරගාවලි ජයක් ගෙන දුන්හ.

දෙවැනි තරගයේ ජයග‍්‍රහණයේ නිර්මාතෘවරයා මෙන්ම වීරයා වූයේ ධනංජය ද සිල්වායි. ධනංජය නොවන්නට ශී‍්‍ර ලංකාවට තවදුරටත් ටෙස්ට් ලෝක ශූරතා සටහනේ එකට ඉන්නට නොලැබෙන්නට ඉඩ තිබිණි. පළමු ඉනිමේ කණ්ඩායම ලකුණු 203 කට සීමා වීමේ අවාසිය ශී‍්‍ර ලංකාවට එන්නේ එතනදීය. එහෙත් ධනංජය ඒ පාඩුව දෙවැනි ඉනිමේදී මැකීය. අඩුපාඩුව පිරවූවේය. සෝබර්ස් තිසේරා කුසලානයේ සම ශූරයන් නොව ශුරයන් වන්නට ශී‍්‍ර ලංකාවට හැකි විණි.

මෙම තරගාවලි ජය මිකී ආතර් මහතාගේ ගුරුහරුකම්වලට සිය ගෝලයන්ගෙන් ලද අනගිභවනීය තිළිණයකි. මීට වඩා ජයක් මිකී ආතර් ද බලාපොරොත්තු නොවන්නට ඇත. මීට වඩා ජයක් ලබා දීමට ද නොහැක. එහෙත් මේ ජයග‍්‍රහණයේ නියමුවාට ජයග‍්‍රහණයේ නියමු සාධකය වූ ලකුණු 155 ලබා ගත් කී‍්‍රඩකයාට එම තිළිණයට එහා ගිය දෙයක් ඔහුගේ ශතකය තුළ ගැබ්ව තිබී ඇත. තරගයේ 4 වැනි දින අවසානයේ ලකුණු 153 ක් ලබා, ලසිත් ඇඹුල්දෙනිය සමග එක්ව 9 වැනි කඩුල්ලට වාර්තාගත සබඳතාවක් සටහන් කළ ධනංජය එදින අවසානයේ සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබිණි.

“This one is for you Dad” (මෙය ඔබ වෙනුවෙන් තාත්තේ)

එම වැකියට පිටුපසින් දෑත් එක් කර ආචාර කරන සලකුණක්ද එක් කර තිබිණි. ධනංජයගේ හිසද, පිත්තද, හිස්වැසුමද ඉහළ අහසට යොමු වී තිබිණි.

සිය පියාගේ හදිසි අභාවයෙන් පසු ධනංජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අවශ්‍යම මොහොතේදී ලබාදුන් විශිෂ්ටම ශතකයක් ලෙස ද එය සටහන් වේ. ඒ ශතකය තම පියා වෙනුවෙන් බව ධනංජය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර පියා වෙනුවෙන් කෘතුගුණ දක්වා සිටියේය.

රන්ජන් ද සිල්වා නම් ධනංජය ද සිල්වාගේ පියා මීට වසර තුනකට පෙර එනම් 2018 මැයි මස 25 වැනිදා කුරිරු ඝාතකයකුගේ වෙඩි පහරකට ලක්ව අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් අකාලයේ සමු ගත්තේය. එය ධනංජයටත් ඔහුගේ පවුලේ අයටත් දරාගත නොහැකි වේදනාවක් විය. සිය පියා ඝාතනය වන අවස්ථාව වනවිට ද ශී‍්‍ර ලංකාව ඉදිරියේ තිබුණේ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගාවලියකි. එම තරගාවලියට අදාළ සංචාරයට සති කිහිපයකට උඩදී සිදු වූ පියාගේ මේ අකල් මරණය හමුවේ ධනංජය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියෙන් ද ඉවත් විය. (පසුව ඔහු සංචාරයට එක් විණි.) එය ඔහුට එතරම් වේදනකාරී විය. මව සහ සිය ඥාතීන් සමඟ ඒ මොහොතේ රැඳී සිටීමට අවැසි බව කියමින් ධනංජය කි‍්‍රකට් ආයතනයට ලිපියකින් දැනුම් දුන්නේ පියාගේ මරණයේ කම්පනය නිසාය.

එතැන් පටන් පසුගිය තරගාවලිය වන තෙක් ධනංජය ටෙස්ට් ශතක 3 ක් ලබා තිබිණි. ඒවා නවසීලන්තයට, බංග්ලාදේශයට සහ පකිස්ථානයට එරෙහිව විය. එහෙත් එක් ශතයක්වත් ධනංජයට පියා වෙනුවෙන් පුද කරන්නට තරම් එකක් නොවන්නට ඇත.

එහෙත් ගාල්ලේදී ලද ශතකය සිය පියා වෙනුවෙන් තිළිණ කරන්නට සුදුසුම වටිනාම ශතකය යැයි රන්ජන් ද සිල්වාගේ කනිටු පුත් ධනංජය ද සිල්වා සිතන්නට ඇත. කොදෙව් තරගාවලියක් අභිමුව තිබියදී මියගිය පියා වෙනුවෙන් කොදෙව්වන්ට එරෙහිව තරගාවලියකදීම ශතකයක් ලැබ එය පියා වෙනුවෙන් ධනංජය තිළිණ කළේය. ඒ තිළිණයේ අග‍්‍රඵලය හිමි වූයේ ශී‍්‍ර ලංකාවටය. ධනංජය පියා වෙනුවෙන් තිළිණ කළ ශතකයෙන් ශී‍්‍ර ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය ද ජයගෙන ටෙස්ට් ලෝක ශුරතා සටනේ පෙරමුණ ද රැක ගත්තේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment