තානාපති නාඩගම – 2 (තොග පිටින් නිදහස් කරගැනීමට සිරකරුවන් ඔබටත් සිටීද? එසේ නම් විමසන්න ඔබාමා සහ බිල් ක්ලින්ටන්)

347

 බන්ධනාගාරයේ සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව මගින් නිදහස් කිරීම ජාතික ප‍්‍රශ්නයක්ව තිබෙන ආකාරයත් ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය එම ප‍්‍රශ්නයට මැදිහත් වී රාජ්‍ය තාන්ත‍්‍රික ජරාව තොගයක් ඇෙඟ් ගාගෙන සිටින ආකාරයත් අපි ඊයේ මේ කතු වැකියේ පළමුවන කොටසින් හෙළිදරව් කළෙමු. ශ‍්‍රී ලංකාව කොවිඞ් නිසා මාර මුඛයට පිවිස ඇත. කොවිඞ් වෛරස් වර්ග පහක් ද කළු පුස් රෝගයද ඩෙල්ටා සහ ඩෙල්ටා ප්ලස් නමැති කොවිඞ් විකෘතීන් දෙකද අපට පස්ස දික් කරගෙන සිනාවෙන මේ මොහොතේදී, ඇමරිකානු තානාපතිනිය කීවේ ජනාධිපති සමාව යටතේ දුමින්ද නිදහස් කිරීම වැරදි බවත් එම සමාව යටතේම කොටි ත‍්‍රස්තවාදී සැකකරුවන් තොගයක් නිදහස් කිරීම හොඳ බවත් ය. ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය රාජ්‍ය තාන්ත‍්‍රික වරප‍්‍රසාදවලට මුවාවී ත‍්‍රස්තවාදයට හුලං ගහන බව පෙනේ. මේ වර්ගයේ තානාපතිවරියන් හෝ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් විශ‍්‍රාම ගිය සැණින් ත‍්‍රස්තවාදයට සහ බෙදුම්වාදයට උදව් කරන එන් ජී ඕ මැස්සවල් අටවා ගනිති. මෙයට ඇති ආසන්නතම උදාහරණය යස්මින් සූකා ය. ශ‍්‍රී ලංකාවේ සිදුවූයේ යැයි කියන යුද අපරාධ වලට වගකිව යුත්තන් පිළිබඳව සෙවීම සඳහා පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ විද්වත් මණ්ඩලයේ ප‍්‍රමුඛ සාමාජිකාවක සහ ශ‍්‍රී ලංකාවේ පරම සැතිරියක වූ යස්මින් සූකා විශ‍්‍රාම ගිය ගමන්ම එන්. ජී. ඕ එකක් අටවා ගත්තාය. මෙසේ අටවන එන් ජී ඕ වලට අරමුදල් සැපයීමට කැමති ඩයස්පෝරා කට්ටිය විනාඩියට හැට දෙනා බැගින් නොව තත්පරයට හැට දෙනා බැගින් බිහි වෙති. කෙසේ හෝ වේවා මේ දිනවල වැලේ වැල් නැතිව සිටින අපගේ දුප්පත් පාඨකයිනි, අද අප ඔබට කියන්නට යන්නේ ඇමරිකානු ජනාධිපතිවරුන් විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් ගැනය.
 
 සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරුන්ට කුසලාන ප‍්‍රදානය කෙරේ නම් එය ඇමරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමා ට හිමිවිය යුතුමය. එහෙත් අප මොනිකා ලූවින්ස්කි ගේ ශෘංගාරාත්මක පේ‍්‍රමවන්තයා වූ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සිරිමතාණන් ද අමතක නොකරමු.
 
 ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය නොදන්නවාට එතුමා ද සිරකරුවන් විශාල ප‍්‍රමාණයකට සමාව දී ඇත. බරක් ඔබාමා දෙවරක් ජනාධිපති විය. පළමුවන ජනාධිපති ධුර කාලයේදී ඔහු කිසිදු සිරකරුවෙක් නිදහස් කළේ නැත. එහෙත් 2017 දී සිය දෙවන ධුර කාලය අවසන් වීමට යෑමේදී ඔබාමා අඩුම ගණනේ සිරකරුවන් තුන් දහසකට ජනාධිපති සමාව ප‍්‍රදානය කළේය. මරණ දඬුවම නියම වූ පන්සිය හතරකගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට පරිවර්තනය කළේය. ඔබාමා විසින් සිරෙන් එළියට යැවූ වැඩිදෙනා කුඩුකාරයෝය. මේ අතර කුඩු ගසන්නන් මෙන්ම කුඩු බෙදන්නන් ද වූහ. 2017 ජනවාරි 19 දිනය තුළ පමණක් ඔබාමා විසින් සිරකරුවන් තුන්සිය තිහකට ජනාධිපති සමාව දුන්නේය. මෙය ලෝක වාර්තාවකි. පහුවදා ඔහු ධුරයෙන් විශ‍්‍රාම ගෙන ගෙදර ගියේය. හිටපු ජනාධිපති ඔබාමා කොතරම් වැඞ්ඩෙක්ද යත් ඔහුට කලින් සිටි ඇමරිකන් ජනාධිපතිවරුන් 13 න් දෙනෙක් විසින් සිරකරුවන්ට දෙන ලද ජනාධිපති සමා සියල්ලෙහිම මුළු එකතුවට වැඩි ජනාධිපති සමා ප‍්‍රමාණයක් සිය දෙවැනි ධුර කාලයේ අන්තිම දවස්වල ඔහු දුන්නේය. ඔබාමා විසින් එළියට දමන ලද සිරකරුවන් ගැන අදටත් කවුරුත් කතා නොකරති. ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය ඉතිහාසය නොදන්නා අහිංසක ලලනාවකි.
 
 පුවටෝරිකෝ යනුවෙන් හැඳින්වෙන ලතින් ඇමරිකානු රටක් තිබේ. මේ රටේ Suerzas Arnabas De Liveracion Nacional (SALN) නමැති ඉතා දරුණු ත‍්‍රස්තවාදී සංවිධානයක් ඇත. ඔවුහු ඇමරිකාව සමග බද්ධ වෛරයෙන් පසුවෙති. 1999 අගෝස්තු 11 දා මේ ත‍්‍රස්තවාදීහු නිව්යෝර්ක් නගරය තුළ බෝම්බ 120 ක් පිපිරවූහ. මෙයින් බෝම්බකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන නඩු අසා සිරගෙට නියම කරන ලදී. ඔවුන්ගෙන්
 
 කෙනෙක් අවුරුදු 35 කට ද තවත් අය අවුරුදු 55, අවුරුදු 60, අවුරුදු 70, අවුරුදු 90 යනාදී වශයෙන් සිර දඬුවම් ද තවත් අයෙක් අවුරුදු 105 ක සිර දඬුවමක් ද ලද්දේය. බිල් ක්ලින්ටන් මේ 16 දෙනාගෙන් 14 දෙනකුටම ජනාධිපති සමාව ලබා දුන්නේය. සිය ධුර කාලය තුළ ඔහු සිරකරුවන් 140 කට ජනාධිපති සමාව ලබාදී තිබේ. ඇතැම් සිද්ධීන් වලදී ඔහුගේ ජනාධිපති සමාව දීම් මහත් සේ විවාදයට තුඩු දී ඇත. එහෙත් අදටත් කිසිවෙක් ඒ ගැන කතා නොකරති. ජනාධිපති සමාව යනු විධායක බලයකි. ඡුන්ද දායකයෝ විධායක ජනාධිපතිවරණයකදී ඡුන්දය පාවිච්චි කරන විට ජනාධිපතිවරයා සතු ජනාධිපති සමාව දීමේ විධායක බලය ද ඉබේටම අනුමත කරති. ඒ නිසා ඒ ගැන අර්ථකථන ඉදිරිපත් කිරීමට ඒ රටේ ජනතාවට මිස වෙනත් රටවල තානාපතිවරුන්ට අයිතියක් නැත. බිල් ක්ලින්ටන් හෝ ඔබාමා සිරකරුවන් නිදහස් කරන විට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ඒ ගැන නිවේදන පළ කර නැත. එසේ නිවේදන පළ කරන්නට ගියොත් ඒ සඳහා වෙනම අංශයක් තානාපති කාර්යාල තුළ පිහිටුවීමට සිදුවේ. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ සිටින ඇමරිකන් තානාපතිතුමියනි ඔබේ ප‍්‍රකාශය මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සේ සලකා වහාම ඉල්ලා අස්කර ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment