ඉන්ධන අර්බුදයත් විදුලි අර්බුදයත් අද මේ රටේ ප්‍රධාන මාතෘකා ය. ඉන්ධන ගැන කතා කරති. තවත් විටෙක විදුලිය ගැන කතා කරති. මේ දෙක රටටත් රටේ ආර්ථිකයටත් විශේෂයෙන්ම ජන ජීවිතයටත් අතිශය වැදගත්ය.
තෙල් සංස්ථාව මෙන්ම විදුලිබල මණ්ඩලය මේ රටේ තිබෙන විශාලතම රාජ්‍ය ආයතන දෙකකි. මේ දෙකම වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක් වීම අනෙක් වැදගත්ම කාරණයකි.
පාරිභෝගික ජනතාව ඉන්ධන මිලදී ගන්නේ අත්පිට මුදලටය. ඒ කියන්නෙ කිසිම ඉන්ධන හලකින් පොතට ඉන්ධන ලබා දෙන්නේ නැති බවය. විදුලිබලයත් එහෙමය. මාසයකට වරක්වත් විදුලි බිල්පත නොගෙවා සිටියහොත් දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කරන බව විදුලි බිල්පතේම සඳහන්ය. ඒ ආකාරයට විදුලිය විසන්ධි කළහොත් යළි විදුලි සම්බන්ධතාව ලබාදීමට අමතර මුදලක්ද ගෙවිය යුතුය. නිවසේ සවිකර තිබෙන විදුලි මීටරයට හා පළමු වරට විදුලිය ලබා ගැනීමේදී ඒ සඳහා මූලික ගෙවීමක් කළත් විදුලි මීටරය අපට අයිති නැත. විදුලි මීටරයත් අයිති මණ්ඩලයටය. පාරේ යන සොර සතුරෙක් විදුලි මීටරයට ගලකින් ගසා ඊට හානි කළහොත් අලූතින් මීටරයක් ලබා ගැනීමට ලොකු මුදලක් ගෙවීමට පාරිභෝගිකයා බැඳී සිටී.
පාරේ සිට නිවසට එන වයරයේ හෝ මීටරය අසල පියුස් පෙට්ටියේ දෝෂයක් මත නිවසකට විදුලිය අහිමි වූ විට ඒ බව අදාළ විදුලිබල මණ්ඩල ශාඛා කාර්යාලයකට දැනුම් දිය යුතුය. වැහි වෙලාවක නම් මණ්ඩලය එය අලූත්වැඩියා කිරීමට එන්නේ නැත. ? බෝ වී නම් ඒම පරක්කුය. ඇත්ත තත්ත්වය ඒක වුවත් විදුලි බිල්පත නොවරදවා ගෙවිය යුතුය. නැත්නම් ඔවුන් පැමිණ ගමම බලා සිටියදී ලයිට් විසන්ධි කර යන්නේ නීතිය ඒ බව කියමිනි.
එහෙව් විදුලිබල මණ්ඩලයකට හිටි හැටියේ නොදන්වා විදුලි කපා හැරීමට නෛතික බලයක් හිමිද? කලට වේලාවට විදුලි බිල්පත ගෙවන විදුලි පාරිභෝගිකයකුට අඛණ්ඩව විදුලිබලය ලබාදීමට මණ්ඩලය බැඳී සිිටින්නේද නැද්ද? ඒ අයිතිය දිනා ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට අධිකරණයට යෑමට හැකිද? ඒවා පිළිබඳවද විදුලි පාරිභෝගිකයන් කල්පනා කරන්නට පටන්ගෙන ඇත. නමුත් ඉකුත් සති කිහිපයේදී කොළඹ හැර සෙසු ප්‍රදේශවල නොදන්වා විදුලිය කපාහැරීමට මණ්ඩලයට සිදුවිය. ඊට හේතුවී ඇත්තේ ඉල්ලූමට සරිලන තරම් විදුලිබල ධාරිතාවක් මේ වනවිට ජාතික විදුලි පද්ධතිය සතුව නැති නිසාය.
ඉකුත් බ්‍රහස්පතින්දා (03 දා) දහවල් කාලයේත්, රාත්‍රි කාලයෙත් රටේ ප්‍රදේශ රැසක විදුලිය කපා දැම්මේ මහජන උපයෝගිතා කොමිසම ලයිට් කපන්නේ නැතැයි කියා සිටියදීය. යම්කිසි කාලයකට විදුලිය කපාහැරීමට පෙර විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ගත යුතුය. මහජන උපයෝගිතා කොමිසම ස්ථාපිත කළේත් 2002 වසරේදීය. 2009 විදුලිබල පනත හා 2002 මහජන උපයෝගිතා පනත හරහා මෙම කොමිසම ස්ථාපිත කළේ බොහෝ අරමුණු ඇතිවය. විදුලිබල මණ්ඩලය මේ වනවිට රුපියල් කෝටි 36,000 ක පාඩුවක් සහිත රාජ්‍ය ආයතනයකි. මේසා විශාල පාඩුවක් සිදුවන්නේ වැඩිමිලට විදුලිය නිපදවන නිසාය. එලෙස වැඩි මිලට විදුලිය නිපදවන ප්‍රධානම බලාගාර වන්නේ ඞීසල් මගින් විදුලි ජනනය කරන
බලාගාර නිසාය.2011 වසරේ දී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මෙගාවොට් 900 ඉදි නොකළේ නම් මේ රටේ විදුලි අර්බුදය ගැන කියන්නට දෙයක් ඉතුරු නොවන තරම්ය. ඊට අමතරව ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය (මෙගාවොට් 150) ඉදිකිරීමද ඉතා වැදගත් ව්‍යාපෘතියකි. මේ බලාගාර දෙකම ඉදිකිරීම් විවිධ හේතු විරෝධතා නිසා වසර ගණනක් පමා වූ බලාගාරය. 2015 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්භීත නායකත්වය යටතේ එම බලාගාර දෙක ඉදිකළ බව සඳහන් කළ යුතුමය.
ඉකුත් දෙසැම්බර් 03 වැනිදා විදුලි ඉංජිනේරු සංගමය වර්ජනයක නිරත විය. ඔවුනගේ වෘත්තීය අයිතීන් සුරක්ෂිත කර ගැනීම මූලික අරමුණ වුවත් ඔවුන් එළියට පෙන්වූ සටන් පාඨය ‘යුගදනවි’ ගිවිසුම අහෝසි කිරීමය. කෙසේ හෝ එදින රටපුරා විදුලි විසන්ධි වී ගියේ නොරොච්චෝල බලාගාරයෙන් ඒ වන විට ලබා ගනිමින් තිබූ විදුලි බලයද පද්ධතියෙන් ඉවත්කර දමමිනි. එදා අක්‍රිය වූ මෙගාවොට් 300 ක එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් තාම හරිහැටි පද්ධතියට එකතු කර ගැනීමට නොහැකි වී ඇත.
මේ අල්ලපනල්ලේ ඩොලර් හිඟය නිසා ඉන්ධන ගෙන ඒම අභියෝගයකට ලක්ව ඇත. මෙරටට ඇණවුම් කරන ඉන්ධන නෞකා වරායට පැමිණියත් ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් මුදාහැරීම පමාවීම නිසා ඉකුත් 2022.01.08 වැනිදා සිට 2022.01.23 කාලය තුළ ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් හාරලක්ෂ තිස්පන්දහස් හැටපහක (435,065) මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇත. මෙලෙස ගෙවන්නේ ඉන්ධනවලට අමතර මුදලකි. එය ප්‍රමාදවිම් මත කරන ගෙවීම්ය. මීට අමතරව වරාය නෞකා රඳවා ගැනීමේදී රක්ෂණ ගාස්තු, වරාය ගාස්තු, සේවා ගාස්තු ආදියද ගෙවිය යුතුය. බලශක්ති අමාත්‍යාංශය, මීට කලින් ඛනිජ තෙල් අමත්‍යාංශය සාමාන්‍යයෙන් ඉන්ධන මිලදි ගැනීම් කිරීමේදී එය සිදුකරන්නේ ටෙන්ඩර් පටිපාටිවලට අනුවය. නමුත් මේ දිනවල ඩොලර් ප්‍රශ්නයත්, ගෝලීය වසංගතයත් නිසා ඉන්ධන මිලදී ගැනීම් හා ඇණවුම් කිරීම් වලදී එය සිදුවන ආකාරය වෙනස්වී තිබිය හැකිය. ඉන්ධන මිලදී ගැනීමේදි යමෙකුට කොමිස් මුදලක් ගතහැකි නම් එය පරම්පරා ගණනාවකට පමාණවත් තරම්ය. සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා තෙල් ඇමැතිව සිටි කාලයේදි නිසි ටෙන්ඩර් පටිපාටිවලට ලියාපදිංචි පිළිගත් සමාගම්වලින් ගත් පෙට්‍රල් පවා බාල පෙට්‍රල් බවට පත්වූ හැටි මතකය. එහෙව් දෙයක් ඒ කාලයේ වුණා නම් මේ මොහොතේ මොනවා විය හැකිදැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණකි.
සිකුරාදා (04 දා) වනවිට කැලණිතිස්ස පරිශ්‍රයේ පිහිටි බලාගාර දෙක (මෙගාවොට් 280) වරායේ බාච් බලාගාරය (මෙගාවොට් 60) සපුගස්කන්ද බලාගාරය (මෙගාවොට් 160) ඉන්ධන නොමැතිව නතරවී තිබිණි. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කීවේ සිකුරාදා (04 දා) පෙරවරුවේ මෙටි්රක් ටොන් 37500 ක් අඩංගු ඞීසල් නෞකාවක් කොළඹ වරායට පැමිණි බවයි. ඒ නැව සඳුදා (07 දා) සිට ඞීසල් ගොඩබෑම ආරම්භ කරනු ඇතැයි ද සඳහන් කළේය. ඉන්ධන හිඟය උග්රය. එදා වේලට ඉන්ධන ගෙනඒමට සිදුවී ඇත. සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් මෙටි්රක් ටොන් 90,000 දැන් ගෙනැවිත් ඇත. නමුත් දිනකට පිරිපහදු කරන්නේ මෙටි්රක් ටොන් 3200 ක ඉන්ධන ය. හේතුව ඊළඟ බොරතෙල් නැවක් එනතුරු පිරිපහදුව වසා නොදමා සිටීමට ය. දින 20 ක් ඇතුළත නව බොරතෙල් නෞකාවක් නොගෙනාවොත් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවනු ඇත.
මේ අතර විදුලි අර්බුදය දියේ ඔබන රබර් බෝලයක් බවට පත්ව ඇත. ලයිට් කපනවා. නෑ ලයිට් කපන්නේ නෑ. මේ කතා අහල අහලම ඇතිවෙලා ය. මේ අතර ඉකුත් මාස දෙකේදී ඞීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීම නිසා විදුලි බල මණ්ඩලයට වැඩිපුර ගෙවීමට සිදුවන මුදල රුපියල් කෝටි 734 ක් බවට ගණන් බලා ඇත. මේ රටේ ක්‍රියාත්මක ඞීසල් බලාගාර දැන් ටිකක් පරණය. එක් ඞීසල් ලීටරයක් පුච්චා නිපදවා ගත හැක්කේ විදුලි ඒකක දෙකක් පමණකි. ඞීසල් ලීටරයක මිල රුපියල් 122 කි. මේ අතර පුද්ගලික ඩිසල් බලාගාර හිමි මුදලාලිලා කැහැපොට ගසා බලා සිටින්නේ හදිසි මිලදී ගැනීම් පටන් ගන්නා තුරුය. ඉකුත් 2015 – 2020 යහපාලන කාලයේදී හදිසි විදුලි මිලදී ගැනීමට දහසය වතාවක් උත්සාහ ගත් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය. එලෙස අවසර දුන්නේ නම් පුද්ගලික ඞීසල් බලාගාර හිමියන්ගේ ඔඩොක්කුවට යන මුදල රුපියල් කෝටි 57,100 කි.
1881 වසරේදී එංගලන්තයේ බි්රස්ටල් නගරයට විදුලි බලය ලැබිණි. 1882 දී ඒ කියන්නේ බි්රස්ටල් නගරයට විදුලිය ලැබී වසරකට පසු ශ්‍රී ලංකාවේ හේලියෝස් නෞකාව මෙරටට පැමිණ විදුලි ආලෝකය මෙරට ජනතාවට පෙන්නුවේය. පසුව 1895 දී කොළඹ බවුන්ස්ටඞ් සමාගම කොළඹ ට්‍රෑම්ප් කාර් සඳහා විදුලිය භාවිතා කළේය. එතැන් පටන් මෙරට ජනතාවට විදුලි ආලෝකය දැකගන්නට ලැබිණි. ඉන්දියාවේ ජනතාව බල්බය දැක නැති කාලෙක බල්බයත් විදුලි ආලෝකයත් දුටු ශ්‍රී ලාංකිකයෝ ඉංග්‍රීසීන් ගෙන් නිදහස ලබා වසර 74 කට පසු තාමත් විදුලි අර්බුදයකය. කොතැනක හෝ බරපතළ වරදක් සිදුව ඇත. ඒ වරද නිවැරදි කර නොගතහොත් තව දශකයක් දෙකක් යන විට රට අඳුරටම ගොස් මේ රට මහා නරකාදියක් බවට පත්වනු ඇත.
ශිරාන් රණසිංහ