තායිලන්තයේ ක්‍රා ඇළ මාර්ගය සහ ඉන්දියන් සාගරයේ මුහුදු වෙළඳාම

518

සාරාංශය

පැරණි ලෝකයේ මුහුදු වෙළඳ කටයුතු තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ ප්‍රදේශයක් ලෙස ඉන්දියානු සාගර කලාපය හා එයට මුහුණලා පිහිටා තිබෙන භූමි ස්කන්ධයන් හඳුන්වාදිය හැකිය. එයට හේතුව වන්නේ පෙරදිග හා අපරදිග යා කළ මුහුදු වෙළඳ මාර්ගය මෙම කලාපය පුරා පැතිර පැවතීමයි. ඒ අනුව අනාදිමත් කාලයක් තිස්සේ පෙරදිග හා අපරදිග අතර භාණ්ඩ හුවමාරුව තුළ අතරමැදියෙකු ලෙස ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ඉන්දියාව, ශ්‍රී ලංකාව හා තදාසන්න රාජ්‍යයන් කටයුතු කරන ලදී. එහිදී චීනය වැනි නැගෙනහිර ආසියානු රටවල් ඉන්දියානු සාගරය වෙත පිවිසීමට මලක්කා සමුද්‍ර සන්ධිය වෙනුවට භාවිත කළ ප්‍රධාන වෙළඳ මාර්ගයක් ලෙස දකුණු තායිලන්තයේ පිහිටි ක්‍රා ඇළ මාර්ගය පෙන්වාදිය හැකිය. මෙම ඇළ මාර්ගය හරහා ඉන්දියානු සාගරය වෙත සිදුකරනු ලැබූ වෙළඳ කටයුතුවල ස්වරූපය ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර භාවිතා කරමින් විමර්ශනය කිරීම මෙම පර්යේෂණ ලිපිය තුළින් සිදු කර තිබේ.

හැඳින්වීම

පැසිෆික් සාගරයේ සිට ඉන්දියන් සාගරය වෙත මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමේදී අතීතයේ පටන්ම මලක්කා සමුද්‍ර සන්ධිය වෙනුවට භාවිතයට ගත් මාර්ගයක් වශයෙන් මෙම ක්‍රා දේශ සන්ධිය හරහා පිහිටි දකුණු තායිලන්තයේ ක්‍රා ඇළ මාර්ගය (KraCanal) පෙන්වාදිය හැකිය. ක්‍රා ඇළ මාර්ගය පිහිටා ඇත්තේ ක්‍රා දේශ සන්ධිය හෙවත් මැලේ අර්ධද්වීපයේ වඩාත් උතුරු දිශාවට වන්නට අන්දමන් මුහුද හා තායිලන්ත මුහුදු බොක්ක වෙන් කරනු ලබන වඩාත් පටුම ස්ථානයේ වේ. මෙම ඇළ මාර්ගයේ පළල කි. මී. 44 ක් වන අතර එහි දිග කි. මී. 102 ක් වේ. (International Institute of Marine Surveying 2019). ක්‍රි. ව. හතරවන සහ පස්වන සියවස්හි පටන් මෙම ක්‍රා ඇළ මාර්ගය ආශ්‍රිතව වූ ටකුපා (Takuapa), ටැවොයි (Tavoy), රැන්ගන් (Ranong) හා සින්ගෝරා (Singgora) ඇතුළු වරායන් සම්බන්ධ කරමින් වෙළඳ මාර්ග 12 ක් පැවති බව දැනට හඳුනාගෙන ඇත (Hall 1981:22) ඒ අතර බටහිර දිශාවට වන්නට පිහිටි ටකුපා (Takuapa) සිට නැගෙනහිර දිශාවට වන්නට පිහිටි චායියා (Ch’ayiya) තෙක් පැවති වෙළඳ මාර්ගය, කේඩා (Kedah) සිට සින්ගෝරා (Singora) තෙක් පැවති වෙළඳ මාර්ගය සහ කන්බුරි නදිය හරහා මෙනාම් ප්‍රදේශය සම්බන්ධ කරමින් විහිදී පැවති වෙළඳ මාර්ගය ප්‍රධාන වේ. (Hall 1981:28)

ආචාර්ය ඩී. ඒ. හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment