තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඝාතකයා සිය දිවි නසා ගනී

320

හිටපු පොලිස් නිලධාරියෙකු විසින් ඊසාන දිග තායිලන්තයේ පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට කඩා වැදී පෙරේදා (06දා) දහවල් එල්ල කළ වෙඩි හා පිහි ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව ඊයේ (07දා) දහවල් වන විට 37ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙම ප්‍රහාරයන්ගෙන් මිය ගිය අයගෙන් 23 දෙනකු කුඩා ළමුන් වන අතර එම පිරිස අතර වයස අවුරුදු දෙක තරම් කුඩා ළමුන්ද සිටින බව වාර්තා වී තිබේ. මිය ගිය ළමුන්ගෙන් බොහොමයක් ප්‍රහාරයන් එල්ල වන අවස්ථාවේදී මධ්‍යස්ථානයේ නිදාගෙන සිට ඇති බව හෙළි වී තිබේ.

මෙම වෙඩි හා පිහි ඇණුම් ප්‍රහාරයන් එල්ල කළ හිටපු පොලිස් නිලධාරියෙකු වන 34 හැවිරිදි පන්ය කම්රැබ් සිද්ධියෙන් අනතුරුව පලා ගොස් සිය නිවසේ සාමාජිකයන්ටද වෙඩි තබා ඝාතනය කර ඔහුද වෙඩි තබා ගෙන මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම ප්‍රහාරයට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රහාරය සිදු කළ පොලිස් නිලධාරියා ඉකුත් ජුනි මාසයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවිය සම්බන්ධයෙන් වරදකරු වී සේවයෙන් පහ කෙරුණු අයෙකු බව තායිලන්ත පොලිසිය පවසයි. ඔහුගේ කුඩා දරුවාද බොහෝ කලක් මෙම ප්‍රහාරය එල්ල වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිට ඇති බව වාර්තා වී ඇති අතර මසක කාලයක් තිස්සේ එම දරුවා මධ්‍යස්ථානයට නොපැමිණ ඇති බව වාර්තා වේ. කුඩා ළමුන් කිසිදු හේතුවක් නොමැතිව අමු අමුවේ ඝාතනය කරමින් සිදු වුණු මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් මේ වන විට මුළු මහත් තායිලන්තයම දැඩි සේ කනගාටුවට පත්ව ඇති අතර රට පුරා ඔසවා ඇති ජාතික ධජ මෙම ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අඩකුණු කොට තැබීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. පෙරේදා දිනයේ දහවල් දිවා ආහාරයෙන් පසුව නොන්ග් බුවා ලම්පු ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පිහිටා ඇති අදාළ පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට කඩා වැදී ඇති හිටපු පොලිස් නිලධාරියා මුලින් එම මධ්‍යස්ථානයට පිටතින් සිටි මවකට හා මධ්‍යස්ථානය තුළ සිටි ගැබිනි ගුරුවරියකට වෙඩි තබා ඇති අතර පසුව සෙසු ගුරුවරුන්ට වෙඩි තබමින් බලහත්කාරයෙන් ළමුන් විවේකීව නිදා ගෙන සිටි කාමරය වෙත ගොස් ඔවුන්ට වෙඩි ප්‍රහාර හා පිහි ඇණුම් එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. බොහෝ ළමුන් මිය ගොස් ඇත්තේ වෙඩික්කරු විසින් එල්ල කරන ලද පිහි ඇණුම් ප්‍රහාරය නිසා බව පොලිසිය පවසයි. මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ එකවර ළමුන් 92ක් රැක බලා ගැනීමේ පහසුකම් තිබුණද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සිට ඇත්තේ ළමුන් 24 දෙනකු පමණකි.

සිද්ධියෙන් බලවත් ශෝකයට පත් ප්‍රහාරවලින් මිය ගිය දරුවන්ගේ දෙමවුපියන් ඊයේ දිනයේද අදාළ පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් මිය ගිය සිය දරුවන් වෙනුවෙන් හඬා වැටෙමින් ඔවුන් සෙල්ලම් කිරීමට යොදා ගත් සෙල්ලම් භාණ්ඩ අතපත ගාමින් කනගාටු වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරය සිදු වූ ස්ථානයට ඊයේ (07දා) දිනයේ තායිලන්ත අගමැති ප්‍රයුත් චෑන් ඕචා හා තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු හා රැජින යෑමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment