තායිවානය ගැන ඇමෙරිකාව සහ චීනය උණුසුම් කතාබහක

331

තායිවානය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහත්වරු අතර පැය දෙකකට වැඩි කාලයක් පැවති දුරකථන ඇමතුමකදී එක්සත් ජනපද සහ චීන නායකයන් එකිනෙකාට අනතුරු අඟවා ඇත.

 ජනාධිපති ජෝ බයිඩන් සිය චීන සගයා වන ෂී ජින්පිංට පැවසුවේ තායිවානයේ තත්ත්වය වෙනස් කිරීමට එක්සත් ජනපදය ඒකපාර්ශ්වික පියවරයන්ට දැඩි ලෙස විරුද්ධ බවයි.

 තායිවානය සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 ‘ගින්දර සමඟ සෙල්ලම් කරන ඕනෑම අයකු පිළිස්සෙනු ඇත’ යනුවෙන් අනතුරු අඟවමින් එක් චීනයක් යන මූලධර්මය පිළිපදින ලෙස ෂී මහතා බයිඩන් මහතාට පැවසූ බව බීජිං පැවසීය.

 එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරත වීමට නියමිත බවට පැතිර යන කටකතා මෙම ගැටලුව උත්සන්න කිරීමට හේතිවී ඇති බව මාධ්‍ය පවසයි.

 රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ පෙලෝසි මහත්මිය එවැනි කිසිදු සංචාරයක් ප්‍රකාශ කර නොමැති බවය. නමුත් ඇය එවැනි සංචාරයක් ඉදිරියට ගියහොත් “බරපතළ ප්‍රතිවිපාක” ගැන චීනය අනතුරු අඟවා තිබේ.

 පෙලෝසි මහත්මිය තායිවානයේ සංචාරයක නිරත වුවහොත් උප ජනාධිපතිවරයාට පසුව ජනාධිපති ධුරයට ඊළඟට සිටින ඇය 1997 පසු තායිවානයට ගිය ඉහළම එක්සත් ජනපද දේශපාලනඥයා වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment