තායි සමාගමක් සමග ගිවිසුමක් : ලබන මාසයෙන් පසු ගෑස් ප්‍රශ්නය ඉවරයි – ලිට්‍රෝ සභාපති

527

දැනට රට තුළ පවතින ගෑස් හිඟය මෙම මාසය පුරා පවතින අතර තායිලන්තයේ සියම් සමාගම සමග අත්සන් කරන ගිවිසුමට අනුව ලබන මාසයෙන් පසු ගෑස් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා “දිවයින”ට පැවසීය.

තායිලන්ත සමාගමෙන් වසරක කාලයකට ගෑස් මිලදී ගැනීමට අදාළ තීරණයට කැබිනට් අනුමැතිය ලැබුණ බවද ඒ මහතා කීය. මෙතෙක් කලක් මෙරටට ගෑස් සැපයූ ඕමාන සමාගම සමග ඇති කරගෙන තිබූ ගිවිසුම පසුගිය මාර්තු මාසයේදී අවසන් විය.

සියම් සමාගම සමග අත්සන් කරන ගිවිසුම වසරක කාලයකට වලංගු වන බවත් ඒ අනුව මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තුනක ගෑස් ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය. එම සමාගමෙන් මිලදී ගන්නා ගෑස් ප්‍රමාණය මෙරට අවශ්‍යතාවයෙන් සියයට 70ක් සපුරාගත හැකි බවද ඒ මහතා කීය.

ඉතිරි සියයට 30ක ප්‍රමාණය විවෘත වෙළෙඳ පොළෙන් ටෙන්ඩර් කැඳවා මිලදී ගන්නා බවද විජිත හේරත් මහතා සඳහන් කළේය. තායිලන්තයෙන් මිලදී ගන්නා ගෑස් මෙටි්‍රක්ටොන් එකකින් ඩොලර් 9ක් ඉතිරි වන බවට ගණන් බලා තිබේ. ගෑස් මිලදී ගැනීමේදී මතුවන ඩොලර් ප්‍රශ්නය ඉදිරියේදී විසඳාගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට මිලදී ගන්නා ගෑස් සඳහා මහාභාණ්ඩාගාරය ඩොලර් ලබාදෙන මුත් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය හා ඉන්දීය ණය සහන ලැබුණු පසු මෙම ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ද ලිට්‍රෝ සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment