තැන තැන කතා නොකර රටේ ප්‍රශ්න විසඳගන්න ජාත්‍යන්තරයට ගොස් සාකච්ඡා කරන්න – එජාප නායක – රනිල් වික්‍රමසිංහ

211

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා මෙරට සිට නොව ජාත්‍යන්තරයට ගොස් සාකච්ඡා කළහොත් අපේ ආර්ථිකය ගොඩනඟා ගත හැකි යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජාතික සේවක සංගමය විසින් කොළඹ නව නගර ශාලාවේ ඊයේ (01 දා) සංවිධානය කර තිබූ විශේෂ මැයි දින සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

මෙම අවස්ථාවට පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සේවක සංගමයේ සභාපති හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරීහු කිහිප දෙනකු සහභාගි වී සිටියහ.

එහිදී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

අද අපි මැයි දිනය තියන්නේ සංකේතවත්වයි. අපේ පක්‍ෂ වගේම පක්‍ෂ ගණනාවක් අද තියෙන ඉන්ධන අර්බුදය ඇතුළු අර්බුද රැසක් නිසා මැයි දිනය පවත්වන එකෙන් ඈත් වුණා. ඒ වෙනුවට විශේෂයෙන් වෘත්තීය සමිති රැස්වීම් කිහිපයක් පවත්වන්න කටයුතු කළා. අපි විශේෂයෙන්ම වාහන යොදවලා බස් යොදවලා සාමාජිකයන් ගෙන්වා

ගන්නේ නැති වැඩපිළිවෙළක් සකස් කළා. අපි වගේ තවත් පක්‍ෂ මේ වගේ වැටකටයුතු කරලා තියෙනවා.

කෙසේ හෝ මේ රැස්වීමේ ප්‍රයෝජන ගන්න ඕන රටේ තත්ත්වය ගැන තේරුම් ගැනීමට. අද අපේ රට මීට පෙර නොතිබුණු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙනවා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ව්‍යාපාර බංකොලොත් වෙලා. කෘෂිකර්මාන්තයට පොහොර නැහැ. ධීවරයන්ට ඩීසල් නැහැ. අපේ රැකියා ගණනාවක් නැතිවෙලා. තවත් රැකියා ලක්‍ෂ ගණන් නැතිවෙන්න පුළුවන්. කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. මැද පන්තියේ ව්‍යාපාරත් කඩා වැටිලා.

අද අපේ බැංකුවල තැන්පත් ගිණුම් තියෙනවා නම් විශ්‍රාම ගියාම ආදායම් මුදලක් ලබාගන්න ඒකේ වටිනාකම සියයට 50 යි. අපට ඊපීඑෆ්, ඊටීඑෆ් තියෙනවා නම් එකේ වටිනාකමත් සියයට 50 යි. අද මේ රටේ තරුණයන්ට පමණක් නොවෙයි සියලු දෙනාටම මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. අද ශ්‍රී ලංකාව පරාජිතයි. හැම තැනම උද්ඝෝෂණ තියෙනවා. සටන් පාඨ දෙකයි තියෙන්නේ. ගෝඨා ගෙදර යන්න, රාජපක්‍ෂවරු ගෙදර යන්න කියලයි. පිට විතරක් නොවෙයි ආණ්ඩුව ඇතුළෙත් කඩා වැටිලා. ඒ ඒ කණ්ඩායම් අතරත් ඒ ඒ සහෝදරයෝ අතරත් ඝට්ටන තියෙනවා.

2019 ජනාධිපතිවරණයෙන් ලැබුණු වරමත්, 2020 ලැබුණු පාර්ලිමේන්තු වරමත් දැන් අහෝසි වෙලා තියෙනවා. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් වරම් කැන්සල් වෙලා තියෙන්නේ. අද විශාල දේශපාලන භූමිකාවක් ඇතිවෙලා තියෙන්නේ. අපේ සාම්ප්‍රදායික ව්‍යවස්ථානුකූල ආයතන පිරිහිලා තියෙන්නේ. මොකක්ද මේ අපේ අනාගතය ගැන සිතෙන්නේ. බොහෝ විට දේශපාලන විසඳුමකට යායුතු බව සිතනවා. විපක්‍ෂයේ සහ ජනතාවගේ ස්ථාවරය ජනාධිපති සහ අගමැති දෙදෙනාම යා යුතුයි කියන එකයි.

ආණ්ඩුවේ ස්ථාවර දෙකක් තියෙනවා. සමහරු කියනවා දෙන්නම ඉන්න ඕන කියලා.

අනෙක් අය කියනවා ජනාධිපති ඉන්න ඕන අගමැති යන්න ඕන කියලා. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනුවට 21 වැනි සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. කෙටුම්පතක් නැහැ. 20 වැනි සංශෝධනයට මම විරුද්ධයි. නමුත් 21 වැනි සංශෝධනය ගෙනාවයි කියලා රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නැහැ. එහෙනම් අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන ආර්ථික ප්‍රශ්න විසඳන්න. 21 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල නැති කරලා 19 යට එනවා නම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගනිමු. මොකද අපිට ඕන අලුත් ව්‍යවස්ථාවක්. ඒ අපේ අදහස් අනුව නෙවෙයි. මේ රටේ සමාජයේ තරුණයන්ගේ අදහස් තියෙනවා ඒවත් සැලකිල්ලට ගත යුතුයි. දැන් අපි බලන්න ඕන සියලු පක්‍ෂවල එකඟතාවයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නෙ කොහොමද කියලයි.

දැන් තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ 113 කින් විසඳන්න බැහැ. පටු දේශපාලන චින්තනයෙන් මෙය විසඳන්න බැහැ. මේ අර්බුදයට විසඳුම් අවශ්‍යයි. ඒක විසඳන්න පුළුවන්කම තියෙනවා. අපි ණය ගෙවිය යුතු රාමුවක් හදන්න ඕන. ඒ සඳහා ආදායම් බදු වැඩිකරන්න ඕන. ඉන්ධන මිල වැඩිකරන්න වේවි. විදුලි බිල වැඩිකරන්න වේවි. රුපියල් 185 ට තිබූ ඩොලරය 400 ආසන්නයට එනවා. එහෙමනම් ආණ්ඩුවේ වියදම් සීමා කරන්න වෙනවා. ඒ වගේම රජයේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට දෙන්න ඕන. එය අධීක්‍ෂණය කරන්න කමිටු 20 ක්වත් අවශ්‍ය බව මම ප්‍රකාශ කරලා තියෙනවා.

බඩු මිල කළමනාකරණය කළ යුතුයි. 2022/2023 ජනතාවට සහන දෙන අයවැයක් සකස් කරන්න ඕන. මිල වැඩි කරනවාට විතරක් ජනතාව විරුද්ධයි. බැංකු ආරක්‍ෂා කරගන්න ඕන. ඒක ආරක්‍ෂා කර ගන්න දැලක් දාන්න ඕන. ග්‍රීසියේ බැංකු කඩා වැටුණා. 1998 ඉන්දුනීසියාවේ බැංකු කඩා වැටුණා. ඒ ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා තොරතුරු අපිට අධ්‍යයනයක් කරලා අපේ බැංකු ආරක්‍ෂා කරගන්න ඕන පියවරක් සකස් කර ගන්න පුළුවන්.

අලාභ ලබන සංස්ථා තියෙනවා. ඒවාට පියවර ගැනීමේදී සේවක පිරිස් ආරක්‍ෂා කරගෙන අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි. ඒ සඳහා කටයුතු කළ රටවල් කිහිපයක් උදාහරණයට අරගෙන කටයුතු කරන්න පුළුවන්. අපට ලෝකය සමග තරග කරලා ජයගන්න පුළුවන්. මෙවැනි ආර්ථිකයක් තිබූ චෙක්, වියට්නාමය වැනි රටවල් අනුගමනය කළ පියවරයන් උදාහරණ අපිට ගන්න පුළුවන්.

පවතින ආර්ථික අර්බුදය නිසා ආහාර හිඟය ලබන ජුලි, අගෝස්තු වන විට තවත් උග්‍රවෙනවා. එය 2024 වෙනකම් යන්න පුළුවන්. රුසියාව සහ යුක්‍රේනය යුද්ධය නිසා ඉන්ධන මිල තවත් වැඩිවෙනවා. මෙයට පිළියමක් ලෙස විදෙස් මිතුරන්ගෙන් අපිට සහන ලබාගත හැකියි. ඉන්දියාව, චීනය, ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් බලධාරීන් සමග අපි ගොස් සාකච්ඡා කර සහන ලබාගත යුතුයි. මුදල් ඇමැති අලි සබි්‍ර මහතා ගෙනයන වැඩපිළිවෙළ හොඳයි. මෙහේ ඉඳන් ඒ සම්බන්ධතා

ගොඩනඟා ගන්න බැහැ. විදෙස් උපදෙස් අපිට අවශ්‍යයි.

මහාචාර්ය ලක්‍ෂ්මන්, පී. බී. ජයසුන්දර, කබ්රාල් වැනි අය සමග සාකච්ඡා කරලා ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. ජාත්‍යන්තරයට ගොස් කතා කරන ප්‍රමාණයට තමයි අපිට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. රටේ ආර්ථිකය හදන්න පෙර ගෙදර ආර්ථිකය හදන්න ඕන. අපි හරියට කටයුතු කළහොත් අවුරුදු 25 න් රටේ සංවර්ධනය ඇතිකර ගන්න පුළුවන්. ඒ නිසා රට ගොඩනඟන්න පරණ, පටු, මඩ ගහන දේශපාලනයෙන් ඉවත් වෙලා කටයුතු කරන්න ඕන.

චමින්ද සිල්වා

ඡායාරූපය – නිමල් දයාරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment