තැන තැන තෙල් පෝලිම්වලින් හද  ගිනි  ඇවිළෙයි – ගැටුම්වලින් පොලිසියට හමුදාවට තුවාල

354

මුලතිව් – මාරවිල-හිඟුරක්ගොඩ – මාවනැල්ල – අතුරුගිරිය – හැටන් නොසන්සුන්කාරී සිදුවීම්

දිනෙන් දින ඉන්ධන අර්බුදය උග්‍රවන විට ප්‍රදේශ රැසක ඉන්ධන හල් ආශ්‍රිතකර ගෙන ගැටුම්කාරී හා උණුසුම්කාරී තත්ත්වයන් රැසක් ඊයේ (19 දා) වන විට වාර්තා වී තිබිණි.

මුලතිව්, මාරවිල, හිඟුරක්ගොඩ, මාවනැල්ල, අතුරුගිරිය, හැටන් ඇතුළු ප්‍රදේශ රැසකින් මෙම සිද්ධීන් වාර්තා වූ අතර ඇතැම් සිද්ධිවලදී මහජනතාව මෙන්ම පොලිස් සහ හමුදා නිලධාරීන් ද තුවාල ලබා ඇත. ඇතැම් කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් ද වාර්තා විය.

ඉන්ධන හල් ආසන්නයේ කලහකාරී සිද්ධීන් වාර්තාවීම නිසා අවම බලය පාවිච්චි කරන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොලිසියට උපදෙස් දී ඇත. පිරවුම් හල් ආශ්‍රිත සිදුවීම් හමුවේ නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන අතර අවශ්‍ය වුවහොත් පොලිසියට අමතරව යුද හමුදා සහාය ද ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සාමකාමී විරෝධතාවලට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසට ද අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ආශ්‍රිතව පෙරේදා (18 දා) රාත්‍රී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය ගැටුමක් දක්වා වර්ධනය වී යුද හමුදා සෙබළුන් තිදෙනකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය පාලනය කිරීම සඳහා හමුදාව අහසට වෙඩි තබා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය. මෙහිදී සැකකරුවන් දෙදෙනකු සමඟ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදි 10 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

හිඟුරක්ගොඩ සහ හැටන් ප්‍රදේශවල ඉන්ධන හල් දෙකකින් ඉන්ධන ලබාගැනීමට ගිය රාජ්‍ය සේවකයන් පිරිසක් හා මහජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇතත් එය ගැටුමක් දක්වා වර්ධනය වීමට නොදී පොලිසිය මැදිහත්වී පිරිස් විසුරුවාහැර තිබේ.

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකට 17 වැනිදා රාත්‍රියේ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 06 දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 07 දෙනකු අද (20 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඇපමත මුදාහැර ඇත්තේ කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකි.

මේ අතර වවුනියාව නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ඉල්ලා ජනතාව ඊයේ (19 දා) යාපනය – මහනුවර ඒ 09 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබූ අතර එය පැය කිහිපයක් පුරා පැවතීම නිසා මාර්ගයේ ගමන් කිරීමට පැමිණි වාහන හිමියෝ අපහසුතාවට පත්වූහ.

මේ අතර ඉන්ධන හල් අසල රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා මහජනතාවගෙන් ඉල්ලයි.

ඒ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී කියා සිටියේ විiුත් නාලිකා සහ විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වන දේවල් දැනගන්නට ලැබෙන බවත්, පොලිස් නිලධාරියකු කාන්තාවක ගෙන් මුදල් ලබාගෙන ඉන්ධන ලබාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවත්ය. එවැනි ආකාරයෙන් හිතවතුන්ට ඉන්ධන ලබානොදෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ඊයේද ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම් හල් අසල කිලෝමීටර් ගණන් දිග පෝලිම් තිබෙනු දක්නට ලැබිණි.

චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන, පියදාස රණසිංහ, රංගචතු – මිහින්තලය

advertistmentadvertistment
advertistmentadvertistment