තැපැල් ගාස්තු අද සිට ඉහළට – රු. 15 සාමාන්‍ය ගාස්තුව 50 ට නගී – ලියාපදිංචි ලිපි ගාස්තුව 60 ක් වෙයි

1340

අද (15දා) සිට දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි තැපැල් සේවාවට අදාළ ගාස්තු අද සිට වැඩිවේ.

නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 15.00ක් ව පැවති සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50.00 ක් ලෙස සංශෝධනය කර ඇත.

පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සංවිධාන සඳහා ලිපි තැපැල් කිරීමට ලබාදෙන පහසුකම යටතේ උපරිමය 20ක් දක්වා වූ ලිපි සඳහා එක් ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12.00 සිට රුපියල් 30.00 දක්වා සංශෝධනය කර තිබේ.

කොළඹ නගර බල සීමාව ඇතුළත ලිපි බෙදීමේ සේවාව යටතේ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතින් භාරගෙන එම බෙදීම් කලාපය තුළම බෙදන ලිපි සඳහා ගාස්තුව රුපියල් 12.00 සිට රුපියල් 30.00 දක්වා සංශෝධනය කර ඇත.

විවෘත මුද්‍රිත ද්‍රව්‍ය පැකට්ටු ලිපි සේවාව සඳහා ගාස්තුව රුපියල් 12.00 සිට රුපියල් 30.00 දක්වා ලෙස සංශෝධනය කර ඇත. ලියාපදිංචි ලිපි තැපැල් ගාස්තුව රුපියල් 30.00 සිට රුපියල් 60.00 දක්වා ලෙස ද සංශෝධනය කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ පුවත්පත් ප්‍රකාශන හා සඟරා සඳහා වූ ආරම්භක ගාස්තුව රුපියල් 10.00 සිට රුපියල් 20.00 තෙක් සංශෝධනය කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment