තැපැල් වර්ජනය සාර්ථකයි

374

24දා සිට අඛණ්ඩ සටනක්

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු

සේවක හිඟය ඇතුළු තම ඉල්ලීම් කිහිපයකට ලබන 24 වැනිදා වනවිට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ඊයේ (13දා) පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා විසි හය දහසක සේවක සංඛ්‍යාවක් සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ දහනව දහසක පමණ සේවක පිරිසක් බවද ඔහු කීය. මීට අමතරව අවුරුදු 20කට එහා තැපැල් ස්ථානාධිපතිවරයකුට ගෙවනු ලැබූ ගෙවල් කුලී දීමනාව වූ 1750ක මුදල මේ වනවිටත් ගෙවන බවත් එවැනි මුදලකින් කොළඹ නිවසක් ලබාගැනීමට නොහැකි නිසා සේවක වැටුප්වලින් ගෙවල් කුලී ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු කීය. මේ ආකාරයෙන් සියලුම සේවකයන් ලැබිය යුතු විවිධ දීමනා වැඩි නොවීම නිසා සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔහු කීය.

ඊයේ (13දා) ලෙඩ නිවාඩු වාර්තා කර ආරම්භ කළ එක් දින වර්ජනය සියයට 80ක පමණ සාර්ථකත්වයක් පවතින බවත් ලබන 24 වැනිදා වනවිට තැපැල් පරිපාලනය පිළිගත හැකි විසඳුමකට එළැඹීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී තම ඉල්ලීම් දිනා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ඔහු තවදුරටත් කීය. ඊයේ (13දා) පැවැති වර්ජනය හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවටවාර්තා විය.

කෙසේ වෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අනුමත කළ නොහැකි බවද කී ඒ මහතා තැපැල් සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට උපරිමාකාරයෙන් කටයුතු කරන බවද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment