තැපෑලෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල එළියට

268

ව්‍යාපාරිකයෙක් තැපැල් සේවක 2ක් දැලේ

තැපැල් මාර්ගයෙන් කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළි කරගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයකු සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් දෙදෙනකු ඊයේ (24දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුවී නැත.

සිවිල් ඇඳුමින් සැරසුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සැකකරුවන් රැගෙන යෑමට උත්සාහ කරද්දී මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති අතර සිද්ධියෙන් එහි සිටි පිරිස භීතියට පත්වී ඇත.

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවේදී නාඳුනන පිරිසක් පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන වෙඩි තබමින් පලායන බවට ඊයේ දහවල් කතාවක් පැතිර ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ එවැනි කිසිම පැහැර ගැනීමක් සිදු නොවූ බවත් සැකකරුවන් නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන රැගෙන යෑමක් සිදු වූ බවත්ය.

ඉකුත් 21 වැනිදා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි ව්‍යාපාරිකයකු කිලෝ පහක බරින් යුත් පාර්සලයක් රැගෙන යෑමට උත්සාහ කරද්දී එහි කුෂ් නමැති මත්ද්‍රව්‍ය ඇති බව රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා පාර්සලය භාර නොගෙන රේගු සහ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබිණි.

පසුව මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් උපාය දූතයකු යොදවා ඊයේ දහවල් මෙම ව්‍යාපාරිකයා නැවත මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගෙන්වාගෙන ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම ජාවාරමට සම්බන්ධ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් දෙදෙනා ද එම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment