තැපෑලේ ඉඩම් දංගෙඩියට…! එහෙම එකක් නෑ – තැපැල්පති

301

තැපැල් දෙපාර්තමේන්තුව සතු දිවයින පුරා පිහිටි වාණිජ අතින් ඉහළ වටිනාකමක් ඇති සියලූ ඉඩම් වෙනත් ආයතන යටතට පවරා ගැනීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව ආණ්ඩුව ඉල්ලා අස්කර නොගන්නේනම් අඛණ්ඩව තැපැල් වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.

ජයවර්ධනපුර තැපැල් කාර්යාලය පිහිටි ඉඩම මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන පුද්ගලික සමාගමකට තට්ටු 15 ක නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සියලූ සැලසුම් සකස් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව හැරුණු විට වාණිජ අතින් ඉහළ වටිනාකමක් ඇති ඉඩම් ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුව සතුව බවත් ලංකාවේ සෑම නගරයකම තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි පවතින බවත් රජයේ අරමුණ මේ සියල්ල ව්‍යාපාරිකයන්ට විකුණා දැමීම බවත් බණ්ඩාර මහතා කීවේය.

ආණ්ඩුව කළ යුත්තේ තැපෑලට අවශ්‍ය නවීන තාක්‍ෂණය ලබාදී තැපෑල දියුණු කිරීම බවත් නමුත් දැන් ආණ්ඩුව සූදානම් වන්නේ තැපෑල පොළවට සමතලා කර තැපෑල සතු වටිනා ඉඩම් ටික විකිණීමට බවත් එයට ඉඩ නොදෙන බවත් චින්තක බණ්ඩාර මහතා පැවසීය.

මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ තැපෑල සතු ගොඩනැගිලි සහ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට මුදල් නොමැති නිසා නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික නිවාස සංවර්ධන අධිකාරිය හා ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන තැපෑල දියුණු කිරීම සඳහා මෙම බහුවිධ කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර ඇති බවය. ජයවර්ධනපුර ඉදිකරන නිවාස ව්‍යාපෘතයෙන් තැපෑලට වෙනමම තට්ටු කීපයක් ලැබෙන බවද ඒ අනුව එය විකිණීමක් නොවන බවත් හෙතෙම පැවසීය.

පි‍්‍රයදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment