තැඹිලි වල්ල කපද්දී මන්න පහර කකුලට වැදිලා: ගස උඩ සිහි නැතිවූ තරුණයා බිමට ගැනීමට මෙහෙයුමක්!

858

දොඩංගොඩ විහාරස්ථානයක අඩි 30 ක් පමණ උසැති ගසක තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහි පහරක් වැදී ගස උඩ සිහිමූර්ජා වී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය කළ මෙහෙයුමකදී බේරාගෙන තිබේ.

පොලිසිය, ප‍්‍රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගිනි නිවන නිලධාරීන් සිව්දෙනකු මෙහෙයුමට දායක වූ බව දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප‍්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (10 දා) දහවල් දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කළ මන්නා පහරක් වම් පාදයට වැදී ඇතිවූ අධික රුධිර වහනය සමගින් ඔහු සිහිමුර්ඡුා වී ගස උඩ සිරවී ඇත.

කළුතර නගර සභාවට සිද්ධිය සැලවීමත් සමගින් නගරාධිපති අමීර් නසීර් මහතාගේ උපදෙස් පරිදි, ස්ථාන භාර ගිනි නිලධාරී ටී. ඒ. යූ. එස්. කුරේ ඇතුළු සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි නිවන රථයක් සමග ස්ථානයට පිටත් කර යවා ඇත.

එහිදී ටී. ඒ. යූ. එස්. කුරේ සහ ගිනි භට දනිත් ලක්මාල් යන නිලධාරීන් දිගහැරිය හැකි මීටර් 18 ක ඉනිමගක් සහ ආධාරක කඹ උපයෝගී කරගනිමින් ගස උඩ සිහිමුර්ඡුා වී සිටි තරුණයා පහතට ගෙන ඒමට කටයුතු කර ඇතැයි පොලිසිය කීය.

ස්ථානයට ඒ වනවිටත් 1990 ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කර තිබූ අතර, ඉක්මනින් තුවාලකරු නාගොඩ මහ රෝහලට රැගෙන යන ලදී. තුවාලකරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ශල්‍යකර්මයන් සිදුකිරීමට නියමිත බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment