තැඹිලි ව්‍යාපාරික එක්දරු පියා ලොරිය තුළම වෙඩිකා මරුට

411

අලුත්ගම, මොරගල්ල, මරදාන පාරේ ඊයේ (03 දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක්දරු පියෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, බේරුවල පරණ කඩේ, රේගුව පාරේ පදිංචිව සිටි මෝදර පේඩිගේ ගයාන් සම්පත් නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.

දෛනිකව තැඹිලි වෙළෙඳාමේ නියුතු ඔහු ඊයේ උදෑසන අලුත්ගම, මොරගල්ල, මරදාන පාරේ තැඹිලි කැපීමේ නිරතව සිට තිබේ. එහිදී උදෑසන 8.30 ට පමණ නිවසක් ඉදිරිපිට කුඩා ලොරි රථය නවතා තැඹිලි ලබාගෙන නැවත ලොරියට පැමිණි අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තැඹිලි ව්‍යාපාරික එක්දරු පියා ලොරිය තුළම  වෙඩිකා මරුට

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කරන ලද අතර ලොරි රථය ඉදිරිපිට මිලි මීටර් 9 වර්ගයේ හිස් කොපුවක් වැටී තිබී හමුවූ බව පොලිසිය කියයි.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි, අපරාධ කොට්ඨාසය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති.

සිද්ධිය වූ ස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා ආරක්ෂාව ද යොදා තිබූ අතර සිදුවීම දැක බලාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment