තිබෙන මිලටත් වැඩි මිලකට ගහපු හාල් පාලන මිල ගැසට්ටුව

360

හාල් කිලෝව රුපියල් 500ට යයිද?

අප රටේ ජනතාව මිලදීගන්නා එදිනෙදා පරිභෝජනයට ගනු ලබන ආහාර ද්‍රව්‍ය අතුරින් වැඩිම මිලක් ගෙවීමට සිදුව ඇත්තේ සහල්වලට යැයි කිවහොත් නිවැරදිය. වෙළඳපොළේ එහි මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනුයේ ඉතාමත් සීග්‍රයෙනි. එසේ වුවද රජය සහල් සඳහා පසුගියදා පනවනු ලැබූ පාලන මිල පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට නොව මෝල් හිමියන් සහ වෙළෙඳුන් ආරක්‍ෂා කිරීමට යැයි මහජනතාව පෙන්වා දෙති. ඒ අනුව මෙරට මහාපරිමාණ සහල් මෝල් හිමියන්ද අභිබවා යමින් රජය සහල් මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගික ජනතාව චෝදනා නඟමින් කියා සිටිති.

මේ වනතෙක් වෙළෙඳපොළේ දේශීය සහල් වර්ග බොහොමයක මිල පැවැතියේ රජය නියමකර ඇති එම පාලන මිලට වඩා අඩුවෙන් බවද ඔවුහු කියා සිටිති. නාඩු සහල් කිලෝවක රජයේ පාලන මිල ලෙස රුපියල් 220ක් ලෙස සඳහන් කර ඇතත් වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක් මේ දක්වා අළෙවිකළේ රුපියල් 200ක් හෝ ඊටත් වඩා අඩු මිලකට බවයි මහජනතාව පෙන්වා දෙන්නේ. එමෙන්ම සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 215ක් හෝ220කි. එහෙත් රජයේ පාලන මිලට අනුව එහි උපරිම සිල්ලර මිල වනුයේ රුපියල් 230කි. දැන් වෙළෙඳපොළේ සහල් අළෙවි වන්නේ ඒ නව මිලටය. කීරි සම්බා මිලද එපරිද්දෙනි. දැනට පනවා ඇති රජයේ පාලන මිලට වඩා පහළින් වෙළෙඳපොඝේ කීරි සම්බා තිබූ බව පාරිභෝගික ජනයා කියා සිටිති. එහෙයින් මේ පාලන මිල එක්තරා අකාරයකින් සහල් මෝල් හිමියන්ට සහ වෙළෙඳුන්ට සහල් මිල වැඩිකිරීම සඳහා අවස්ථාව ලබාදීමේ උප්පරවැට්ටියක් වියහැකි බවද ඔවුහු කියා සිටිති. එහෙයින් රජය පැනැවූ සහල් සිල්ලර මිල පාරිභෝගිකයා රකින්නට නොවන බවට නැඟෙන චෝදනාව නොසලකාහැරිය නොහැක. වෙළෙඳපොළේ සහල් සිල්ලර මිල ගණන් පිළිබඳව විමසා බැලීමේදී ද ඒ බැව් මනාව තහවුරු වෙයි. ඒ අන්දමට වෙළෙඳපොළේ දැනට පවතින මිලට වඩා සහල් කිලෝවේ සිල්ලර මිල ගැසට් පත්‍රයක් මගින් ඉහළ දැමීම අහම්බෙන් සිදුවූවක් නොව හිතාමතා සැලසුම් සහගතව කරන ලද්දක් බවද පෙනීයයි. කෙසේ නමුත් ඒ හේතුවෙන් පාරිභෝගිකයා මහත් අසීරුවකට පත්වන බව ඉතා පැහැදිලිය. රජය සහල් සම්බන්ධයෙන් පාලන මිලක් පනවන්නට ගත් තීරණය හිටිඅඩියේ ගනු ලැබූවක් නොව සහල් මෝල් හිමියන්ද සමඟ එකට හිට ගනිමින් ඔවුන්ගේ වාසියට පමණක්ම ගෙනයැයි මහජනතාව නඟක චෝදනාව බොහෝවිට අසාධාරණ නොවිය හැක.

පසුගිය වසරේ (2021) සැප්තැම්බර් මාසය පමණ වනතෙක් මේ රටේ සහල් සඳහා පාලන මිලක් පැවැතුණු බව අපි දනිමු. එක්වරම ඒ පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ සහල් මිල තීරණය කිරීමේ ඒකාධිකාරී බලයක් සහල් මෝල් හිමියන්ට පැවැරිණි. එකෙණෙහිම එහි වාසිය සියතට ගනිමින් මහාපරිමාණ සහල් මෝල් හිමියෝ සහල් සඳහා උපරිම තොග සහ සිල්ලර මිලක් එදා නියම කරනු ලැබීය. ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක් සහ එහි සිල්ලර මිල රුපියල් 115ක් විය. සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 135ක්වූ අතර සිල්ලර මිල රුපියල් 140ක් වශයෙන් නියම කෙරිණි. කීරි සම්බා සහල් කිලෝවක තොග මිල ප්‍රකාශ වූයේ රුපියල් 160ක් ලෙසටය. එහි සිල්ලර මිල රුපියල් 165කි. සහල් මිල මේ අන්දමට තීරණය කරමින් එදා මහා පරිමාණ මෝල් හිමියන් පැවැසුවේ ප්‍රධාන සහල් නිෂ්පාදකයන් හැටියට අපි එකට එකතුවෙලා සාකච්ඡාකර පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් අසාධාරණයක් නොවන විදියට වී මිලත් සහල් මිලත් පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ බව කියමිනි. මේ සහල් වර්ගවල මිල කිසිසේත්ම මීට වඩා වැඩිවෙන්නේ නැතැයිද ඔවුහු එදා කීහ. මේ රටේ වගකියුතු ව්‍යාපාරිකයන් සහ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් හැටියට අපි ඒ බව ඉතාමත් වගකීමකින් කියන බව හමුවක් කැඳවමින් ඔවුහු අවධාරණය කළ අයුරු සිහියට නැඟේ. එසේ වුවද ප්‍රකාශ කළ පරිදි සහල් ඒ මිලට පැවතියේ කොපමණ දවසක්ද යන්න මේ රටේ සහල් මිලදී ගන්නා ජනතාව හොඳින්ම දනිති. ඉන්පසු වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑම දිගින් දිගටම සිදුවූ අතර දැනට පවතිනුයේද ඒ මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සිය හිතුමතේට ඉහළ දමනු ලැබූ සහල් මිලය. මෙවර රජය මගින් පාලන මිලක් පනවන බව පවසමින් මිල නියමකර ඇත්තේ සහල් මෝල් හිමියන්ද අභිබවා ගොසිනි. එය පාරිභෝගිකයා සූරාකන මිල නියම කිරීමක් යැයි මහජනතාව පෙන්වා දෙන්නේ එම නිසා විය හැක.

මේ අතර හිතුමතේ සහල් මිල ඉහළ දැමීමට මහාපරිමාණ සහල් මෝල් හිමියන්ට හැකියාව ලැබුණු හේතු ගණනාවක් වන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ පෙන්වා දෙති. එයට ප්‍රධානම හේතුවක් වූයේ සහල් නිෂ්පාදනයේ ඒකාධිකාරියක් නිර්මාණයවීම යැයි කීහ. දේශීය සහල් අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණ මෙතෙක් සපයන ලද්දේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් බවයි ඔවුන් කියා සිටියේ. එසේ වුවද මේ වනවිට එම සහල් මෝල්වලින් බොහෝ සංඛ්‍යාවක් වැසීයෑම නිසා මෙතෙක් වෙළෙඳපොළට සපයන ලද සහල් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බවද කියා සිටී. එම නිසා වෙළෙඳපොළේ දේශීය සහල්වල හිඟයක්ද ඇතිවී තිබෙන බව කියති. වෙළෙඳපොළ තොරතුරු විමසීමේදීද මේ බව තහවුරු කරගැනීමට අපට හැකිවිය. සහල් නිපදවීම සඳහා අවශ්‍ය වී තොග නොමැතිකමින් දිවයිනේ ප්‍රදේශ රැසක සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් රාශියක් වැසී ගොස් තිබෙන බවද කියති. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට එසේ වැසීගොස් තිබෙන සහල් මෝල් සංඛ්‍යාව 450කට වැඩි බවද අපට දැනගන්නට ලැබිණි. එය මේ දිස්ත්‍රික්කයේ පමණක් නොව සහල් නිෂ්පාදනය කළ බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන තත්ත්වයක් බවද සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියෝ සඳහන් කළහ.

අප මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී බදුල්ල දිස්ත්‍රික්කයේ වී සහ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුසිල් ජයතිස්ස මහතා කියා සිටියේ තම සංගමයට අයත් සහල් මෝල් 36ක් අතුරින් සහල් මෝල් 34ක්ම මේ වන විට වැසීගොස් තිබෙන බවය. දැනට ක්‍රියාත්මක වන්නේ සහල් මෝල් දෙකක් පමණක් බවද ඒ මහතා කීය.

සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා සහල් මිල සම්බන්‍ධයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීමක් අවශ්‍ය බව තමන් මුලසිටම පෙන්වා දුන් බව කියා සිටියේය. සහල් පාලන මිලෙන් තොරව පවත්වාගන යෑමට ඉඩදීම සම්බන්‍ධයෙන් සංගමයේ සභාපතිවරයා ලෙස විරුද්ධවූ බවද හෙතෙම කීය. එම නිසා ප්‍රමාදවී හෝ නැවත රජය සහල් පාලන මිල පැනවීම අගය කරන බවද කීවේය. වෙළෙඳපොළේ මේ අන්දමට සහල් මිල ඉහළ යෑමට බොහෝ සෙයින් බලපා ඇත්තේ එයම බවද රංජිත් මහතා කීය.

“අපි මුල ඉඳලම දරපු ස්ථාවරය තමයි රජය සහල් පාලන මිල ඉවත් කිරීම වැරදියි කියන එක. අද මේ ඇතිවෙලා තිබෙන සහල් මිල ඉහල යෑමට ප්‍රධාන හේතුව එයයි. අද මේ නිසා පාරිභෝගික ජනතාව විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. දවසින් දවස හාල් මිල වැඩිවෙනවා. මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. මේ සහල් මිල වැඩිවීමට හේතුව රටේ වී නිෂ්පාදනය පහළ බැසීම සහ වී මිල ඉහළ යෑම. පසුගිය කන්නයේ මේ රටේ වී අස්වැන්න සියයට පණහකට වැඩි ප්‍රමාණයක් අඩුවුණා. ගොවීන්ට රසායනික පොහොර නොලැබීමයි එයට හේතුව වුණේ. ලබන කන්නයේ අස්වැන්න ගැන පසුගිය කන්නයේ තරම්වත් බලාපොරොත්තු තියන්න අමාරුයි කියලා ගොවීන් කියනවා. එහෙම වුණොත් වී මිල තවත් ඉහළයෑම වළක්වන්න බැරි වෙනවා. ඒ තත්ත්වය තුළ සහල් මිල ඉහළ යෑමත් අනිවාර්යයි. ඒක වළක්වන්න බෑ. ඒ වගේම දැනට රටේ විශාල වී හිඟයක් තිබෙනවා. ඒ නිසා වී මෝල් විශාල ප්‍රමාණයක් මේ වනවිට වැහිලා. මේ රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට පණහක් පමණ වෙළෙඳපොළට සැපයීම කළේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්. නමුත් මේ අර්බුදයට මුහුණ දෙන්න බැරිව රට පුරාම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වැහිලා. එයට හේතුව වී තොග නොමැතිකම. විශාල වී සංචිත තිබෙන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ළඟයි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට විශාල වී තොග ඇත්තේ නෑ. ඒ අය සහල් නිෂ්පාදනය කරන්නේ එදිනෙදා පවතින මිලට වී අරගෙනයි. අද වී තිලෝ එකක මිල රුපියල් 120කට ආසන්න වෙනවා. මේ මිලට වී අරගෙන සහල් නිෂ්පාදනය කරන්න කුඩා මොල් හිමියන්ට බෑ. අනෙක් කාරණය තමයි රටේ වී නිෂ්පාදනය සාමාන්‍ය විදියට කෙරෙනකම් වී මිල සහ සහල් ඉහළ යෑම වළක්වන්න බැරිවේවි. ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලැබිලා, අනෙකුත් යෙදවුම් පහසු මිලට ලැබිලා ගොවිතැන් කරලා අස්වැන්න වැඩිවුණොත් සහල් මිල අඩුවෙයි කියලා අපි හිතනවා. එහෙම නොවුණොත් සහල් නිෂ්පාදන කර්මාන්තයත් අනතුරේ සහල් මිලත් ඉහළ යාවි. කොහොම නමුත් 2023 මාස් කන්නයේ වී අස්වැන්න වෙළෙඳපොළට එනතෙක් මේ තත්ත්වය පවතීවි කියලා අපි විශ්වාස කරනවා.”

මේ වනවිට රටේ වී නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවී තිබෙන බව ප්‍රකට කාරණයෙකි. එය ඉබේ ඇති වූවක් නොව ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත් නිසා ඇතිවූ බවද නොදන්නා කෙනකු නොමැත. කාබනික පොහොර භාවිතය එක රැයකින් ක්‍රියාත්මක කිරීමට වෑයම් කිරීමේ අසාර්ථක උත්සාහයේ අහිතකර ප්‍රතිඵලය මේ රටේ ගොවි ජනතාවට ඉතාමත් අහිතකර අන්දමින් බලපෑවේය. එපමණක් නොව එම ඔලමොට්ටල ක්‍රියාව නිසා සමස්ත මහජනතාවටද පීඩා විඳින්නට සිදුව තිබේ. රටක් වශයෙන් බත් පතට පිටරටට අතපාන්නට සිදුවූයේ පාලකයන් ගොවියාත් ගොවිතැනත් වළපල්ලට ඇදදැමූ නිසාවෙන් බවට කිසිදු විවාදයෙක් නැත. එමෙන්ම දේශීය සහල් මිල මෙපමණට ඉහළ යෑමටද මේ තත්ත්වය සෘජුවම බලපෑ බව නොරහසකි. පසුගිය මාස් කන්නය ආරම්භයේ ආණ්ඩුව රසායනික පොහොර තහනම ප්‍රකාශයට පත්කරද්දී එයින් ඇතිවන භයානක ප්‍රතිඵලය පිළිබඳව මේ රටේ ගොවිජනතාව කල්වේලා ඇතිවම අනතුරු ඇඟවූහ. එහෙත් ඊට කන්දෙන්නට රටේ ජනාධිපතිවරයා, කෘෂිකර්ම ඇමැතිවරයා පටන් ආණ්ඩුවේ කිසිම වගකිවයුත්තෙක් අකමැතිවීම මේ විනාශකාරී තත්ත්වයට බලපෑ බව පෙන්වාදිය යුතුය. එපමණක් නොව ඊට නොදෙවෙනි නිලධාරීන් පිරිසක්ද ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙතට ගොංපස් අල්ලමින් උඩගෙඩි දුන් බව අප අමතක කළයුතු නැත. දේශීය කෘෂිකර්මාන්තය කඩාවැටී රට වැටෙන මරඋගුල පෙන්වා දෙන්නට කිසිවෙකුත් උනන්දු නොවීමේ වාසිය වඩාත් සැලසුණේ අපට සහල් අලෙවිකරන විදෙස් රටවලටය. ඊට අමතරව රටේ නිපදවන සුළු වී අස්වනු ප්‍රමාණය මිලදීගෙන යටිමඩි ගහගැනීමට හැකියාව තිබෙන මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතළොස්සටය.

රටේ වී නිෂ්පාදනය කඩාවැටීම එක් රැයකින් සමනයකර ගත හැකි කාරණයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ හේතුවෙන් දැනට පැනනැඟී තිබෙන අර්බුදය වන රටට අවැසි සහල් ප්‍රමාණය මේ රටේ නිපදවීමේ නොහැකියාව තවදුරටත් අඛණ්ඩව පැවැතීම තවදුරටත් ස්ථිර වනු ඇත. අනෙක් පැත්තෙන් වී නිෂ්පාදනය සඳහා ගොවියාට දැරීමට සිදුවී තිබෙන අසීමිත වියදම් ප්‍රමාණය දෙස බලනවිට වී කිලෝවෙක මිල දැනට පවතින මිලට වඩා බෙහෙවින් ඉහළ යනු ඇතැයි දැනටමත් අනාවැකි පලවී තිබේ. ඒ අනුව දේශීය සහල් මිලද ඊට සාපේක්ෂව ඉහළ යෑම අනිවාර්යෙන්ම සිදුවන්නකි. වී කිලෝවක දැනට පවතින මිල රුපියල් 120ක් පමණ වන අතර එය රුපියල් 150ක් දක්වා ඉහළ ගියහොත් දේශීය සහල් කිලෝවක මිල රුපියල් 300ක් පමණවනු ඇතැයි ගම්මට්ටමේ සහල් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

ඒ අනුව බලන කල රජය දැනට පනවා තිබෙන සහල් පාලන මිල වෙළෙඳපොළේ පැවැති මිලටත් වඩා ඉහළින් සඳහන් කර ඇත්තේ කිසියම් ප්‍රමාණයකට අනාගතයට පෙරහුරුවක් ලබාගනු පිණිස වන්නට ඇතැයි යන සාධාරණ සිතුවිල්ලක් අප තුළ පහළවිය යුතුය. ඒ හැර කළයුතු අන් කිසිවක් අපට නොමැත. එසේ වුවද සහල් කිලෝවේ මේ පාලන මිල පවතිනුයේ කොපමණ කාලයක් සඳහාද, කවදාතෙක්ද යන්න තීරණය වනු ඇත්තේ රටේ පවතින වී මිල සහ මහා පරිමාණ මෝල් හිමියන්ගේ තීරණය මත බවට ඉඳුරාම කිව හැක. ඇතැම්විට නුදුරු අනාගතයේදීම සහල් කිලෝවක මිල රුපියල් 450ක් 500ක් දක්වා ඉහළ ගියද අප එතරම් පුදුම වියයුතු නැත. මන්දයත් පාලකයන්ට දෙවියන්ගේ හාල් කැවී උන්මත්තකයන් බවට පත්ව රටේ වී ගොවිතැන කාබාසිනියාකර දැමූවිට ලැබෙන උත්තරය ඒ හැර අන්දෙයක් නොවන නිසාවෙනි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment