තිරප්පනේගම වැවේ ශ්‍රමදානයට ගිය පාසල් ශිෂ්‍යයා වන අලි ප්‍රහාරයෙන් මරුට

350

අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරප්පනේගම ප්‍රදේශයේ දී පෙරේදා (25 දා) පස්වරුවේ වන අලියෙකුගේ පහරකෑමකට ලක් වූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තිරප්පනයගම, තලාව ලිපිනයේ පදිංචිව සිටි විශ්මිත සත්සර විරාජ් වන්නිආරච්චි නමැති 15 වැනි වියේ පසුවන තලාව මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බව පොලිසිය කියයි. පෙරේදා (25 දා) සවස තලාව, තිරප්පනයගම වැවේ, ජලජ පැළෑටි ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පැවති අතර එම ශ්‍රමදානය අතරතුරදී එම වැවට ආසන්නයේ ඇති දේවාලය අසලදී මෙම පාසල් සිසුවා වන අලි ප්‍රහාරයට ලක්ව තිබූ බව පොලිසිය සඳහන් කළේය. එම සිසුවාගේ මව ඇතුළු ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ප්‍රදේශයේ ඇති ලඳු කැලෑවක දින තුනක සිට වන අලියෙකු සැරි සරමින් සිටි බවත්, මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළද වන අලියා පළවා හැරීමට එම නිලධාරීන් නොපැමිණි බවය. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතූ සහ අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment