තිරප්පනේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වත්තක සිටි සිව්දරු මව යටවී මරුට

308

ඒ නවය මාර්ගයේ තිරප්පනේ අලිස්ථාන 112 වෙනි කිලෝ මීටර් කණුව ආසන්නයේ දී කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, වත්තක සිටි කාන්තාවක යටකර යෑමෙන් සිදු වූ අනතුරකින් සිව්දරු මවක් මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය පැවසීය.

ඉකුත් 03 වැනිදා සවස සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනේ අලිස්ථාන ප්‍රදේශයේ පදිංචි ධනුෂ්කා සංජීවනී කරුණාරත්න නැමැති 41 හැවිරිදි සිව්දරු මවකි.

කුරුණෑගල ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දියණියන් හතර දෙනා දීර්ඝ සති අන්තයේ නිවසට රැගෙන ඒම පිණිස ගිය කුඩා වෑන් රථයක් ආපසු මන්නාරමට එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු මෙම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 40ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇළ මාර්ගයකට පෙරළී තිබේ. සිද්ධියෙන් වෑන් රථයේ ඉදිරිපසට බරපතළ හානි සිදු වී තිබූ අතර වෑන් රථයේ සිටි අයට සුළු තුවාල සිදු වී තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඔහු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණ.

මියගිය කාන්තාව තමන් පදිංචි නිවසට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි හිස් ඉඩමක තණකොළ උලාකෑම සඳහා බැඳ සිටි කිරි දෙනුන් රැගෙන ඒමට එහි ගොස් සිටිය දී එකවර මාර්ගයෙන් ඉවතට පැන පැමිණි කුඩා වෑන් රථයක් ඇය යටකර ගෙන ගොස් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කර තිබූ අතර ඒ වනවිටත් ඇය මියගිය ගොස් සිට බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මියගිය කාන්තාව හට දරුවන් තිදෙනකු හා එක් දියණියක සිටින අතර ඉන් වැඩිමල් දරුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ය. බාල පුතු මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ද නියමිතව තිබූ අතර පවුලේ බාලම දියණිය වයස අවුරුදු දෙකහමාරක් පමණ වන තවම කිරිබොන දරුවෙකි.

ඇගේ ස්වාමියා ද කුඩා පළතුරු වෙළෙඳසලක් පවත්වාගෙන යන්නෙකි. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment