තිලංගට කෝටි දෙකහමාරක් ගෙවන්නැයි අර්ජුනට නියෝග

439

පසුගිය 2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය, තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට ඊයේ (17දා) නියෝග කළේය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයකු නොවන බව සඳහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අයකර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාල මහතාට විශාල අගතියක් සහ අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම නඩු තීන්දුව අභියාචනා මහාධිකරණය විනිසුරුවන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

පැමිණිලිකාර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් ජනාධිපතීි නීතිඥවරුන් වන නවීන් මාරපනද, කනිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස තනුජ මීගහවත්ත ද පෙනී සිටියහ. අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල හේරත් මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ ගල්කිස්ස ඩි. රුවන්දි

advertistmentadvertistment
advertistmentadvertistment