තිස් වසරකට පසුව උදාවූ එංගලන්ත පකිස්තාන අවසන් සටන

137

දවස් 28 ක් පුරා පැවති ලෝක ක්‍රිකට් සැණකෙළියක නිමාව අද සිදුවේ. එසේ නිමාව දකින්නේ 2022 පන්දු වාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. ක්‍රිකට් ලෝකයම දෑස් දල්වා බලා සිටින එම නිමාවේ තරගකරුවන් වන්නේ එංගලන්තය සහ පකිස්තානයයි. එම රටවල් දෙක ප්‍රතිවාදීන් ලෙස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක මුණගැසෙන්නේ වසර තිහකට පසුවය. එනම් 1992 වසරෙන් පසුවය.

එම අවසන් මහා තරගය පැවැත්වුණේ ද ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීමය. එයද දිවා රාත්‍රී තරගයකි. එම තරගය ජය ගත්තේ පසුව පාකිස්තානයේ අගමැති ධූරයට පත් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි. එංගලන්තය ලකුණු 22කින් පරාජයට පත්විය. තරගයේ වීරයා වූයේ වේග පන්දුවෙන් ක්‍රිකට් ලොව කිරුළ පැළඳී වසීම් අක්‍රම් ය. එම තරගය පැවැත්වී දැනට වසර 20ක් සහ මාස 8ක් පමණ ගත වී ඇත.

අද පාකිස්ථාන නායකයා වන්නේ බාබර් අසාම් ය. එංගලන්ත නායකත්වය ජොස් බට්ලර් දරයි. බාබර් අසාම් මෙන් ම ජොස් බට්ලර් ද එම අතීතයට හොඳට එබිකම් කර බලන්නට ඇත.

ඒ වනවිට ජොස් බට්ලර් වයස අවුරුදු දෙකක දරුවෙකි. එහෙත් බාබර් අසාම් නම් මෙලොව එළිය දකින්නේ පකිස්ථානය ලෝක ශූරතාවය ජයග්‍රහණය කර තවත් වසර දෙකකට පසුවය. වසර 30 කට පසුව උදාවූ මේ අවස්ථාව අත්හරින්නට කණ්ඩායම් දෙකම ලේසියෙන් ඉඩක් නොදෙනු නැත. එංගලන්තය එදා සිදු වූ වාඩුව අද ගන්න බලනවා ඇත. එසේම පාකිස්තානය එදා ලද එම ජයග්‍රහණය දශක තුනකට පසුව අද යළි සමරන්නට වෙහෙසෙනු ඇත.

පාකිස්තානය 2009 වසරේද, එංගලන්තය 2010 වසරේද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානවල ශූරයන් බවට පත්ව ඇත.

එසේම 2016 වසරට පසුව එංගලන්තය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර පකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 2009 වසරට පසුවය.

එංගලන්තය සුපිරි 12 වටයේදී පළමු කාණ්ඩයෙන් තරග වැදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර පාකිස්තානය දෙවැනි කාණ්ඩයෙන් තරග වැදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

මෙම කණ්ඩායම් දෙකම ඒ ඒ කාණ්ඩවලින් දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව තරගවලට ප්‍රවේශ වූ අතර එම කාණ්ඩවල පළමුවැනියා වූ නවසීලන්තය සහ ඉන්දියාවට අවසන් මහා තරග වරම් අහිමි වී ගියේය.

පාකිස්තානය සහ එංගලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස තරග 28 ක් පවත්වා ඇති අතර තරග 18ක් එංගලන්තය ජය ගෙන තිබේ. පාකිස්තානය තරග තුනක් ජයග්‍රහණය කරගෙන ඇති අතර තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේ මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක් දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත.

අවසන් පූර්ව තරග දෙකේදීම දෙරටේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳින් ලකුණු අතරට පිවිසීම දෙරටේ පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් වනු ඇත. පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන් ආරම්භක පිතිකරු යුගලය ලකුණු 104 ක සම්බන්ධතාවක් පළමු කඩුල්ල වෙනුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැත්වූ අතර එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය ඉන්දියාවට එරෙහිව පැවැත්වූ ලකුණු 170 නොබිඳුණු සම්බන්ධතාව ලෝක කුසලාන තරගාවලියක වාර්තාවක් බවට ද පත්විය.

කසුන් රණවීර ඔස්ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment