තිළිණි නිසා කරළියට පැමිණි අලුත්ම කට්ටිය

990

කලක් මෙරට ප්‍රසිද්ධව තිබුණේ රංජන් රාමනායකගේ හඬපටයි. කලක් එම හඬපට ජනතාව අතර කතාබහට ලක්විය. එහෙත් දැන් ඒ හඬපට පරදවා අලුත් හඬපට එළියට පැමිණ තිබේ. තවමත් පැමිණෙමින් තිබේ. ඒ අන් කිසිවකුගෙත් නොවේ පසුගිය මාසයක් පුරා රට පුරා කතා කළ කෝටි ගණනින් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවගේ හඬ පටයි.

තිළිණි ප්‍රියමාලි මෙරට ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ දැනට සති කිහිපයකට ඉහතදීය. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා සූක්ෂම ලෙස තම සැමියා යැයි කියා ගන්නා ඉසුරු බණ්ඩාර, ජානකී සිරිවර්ධන සහ බොරැල්ලේ සිරිසුමන යන චීවරධාරියා සමග එකතුවී මෙරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් සහ ප්‍රභූ පැලැන්තියේ යැයි කියාගන්නා පුද්ගලයන්ගෙන් කෝටි ගණන් මුදල් වංචා කිරීම නිසාවෙනි. එහෙත් දැන් ඒ මුදල් වංචා පසෙකලා ජනතාව කතාබහ කිරීමට ලක්ව ඇත්තේ ඇයගේ දුරකථන සංවාදයි. ඒ ඉහත සඳහන් කළ මෙරට ප්‍රභූ පැළැන්තියේ යැයි කියාගත් පිරිස අතර සහ ඇය අතර සිදුවූ දුරකථන සංවාදයි.

ඇයගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ එම දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවටත් වඩා ජනතාව උනන්දුවෙන් කතාබහ කිරීමට පටන් ගෙන තිබේ. ඒ මන්ද යත් එම දුරකථන ඇමතුම් හරහා ඉහත සඳහන් කළ ප්‍රභූ පැලැන්තිය යැයි කියාගන්නා අයගේ කළු චරිත ද එළියට පැමිණීමට ඇති ඉඩ කඩ නිසාය. එම දුරකථන සංවාද පමණක් නොව ජනතාව නොසිතූ පුද්ගලයන් ද ඇය සමඟ සම්බන්ධ වී කෝටි ගණන්වලින් මුදල් ගනුදෙනු කර තිබේ. ඒ සියල්ල එකින් එක කරළියට පැමිණෙන්නේ මේ මොහොතේදීය. පහතින් පෙළගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඇයගේ සැමියා යැයි කියා ගන්නා ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට ගත් පසු අත්අඩංගුවට පත්වන්නේ බොරැල්ලෙ සිරිසුමන හිමි සහ ජානකී සිරිවර්ධනයි. කිරිබත්ගොඩ සිරිසුමන නැමැති චීවරධාරියා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ හඬපට කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන්නට පටන් ගත්තේය.

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව කඩවත විහාරස්ථානයක වෙසෙන බොරැල්ලේ සිරි සුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය පළවෙනිදා අත්අඩංගුවට ගත්හ.

එලෙස අත්අඩංගුවට ගත් හිමිනම දැනට රිමාන්ඩ් භාරයේ සිටින ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සමග සමීප හිතවත්කමක් පවත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකාර හිමිනම විවිධ තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිතා කර තිබෙන බවත්, විශේෂයෙන්ම දුරකථන යෙදවුමක් ද භාවිතා කර ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. සැකකාර හිමිනම භාවිතා කරන ලද එම ජංගම දුරකථන යෙදවුම් (APP) මගින් එම හිමිනමගේ ජංගම දුරකථනයට ලද ඇමතුම් පැය 24ක් ඇතුළත මැකී යන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ. තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස මෙම හිමිනම සමග සමීප ඇසුරක් පවත්වා තිබේ.

තිලිණි ප්‍රියමාලිගේ ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ බිලියන ගණනින් මුදල් තැන්පත් කළ ප්‍රකෝටිපතියන් යළි මුදල් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී “ඔය මුදල් ඉක්මනින් ලැබෙනවා. කලබල වෙන්න එපා. ඒ පිළිබඳ සියලුම වගකීම් මම ගන්නම්” ආදිය පවසමින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස සනසා ඇත්තේද සැකකාර මෙම බොරැල්ලේ සිරිසුමන නැමැති චීවරධාරියා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකාර හිමිනම කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බවත් එම විහාරස්ථානයේ කිලෝ ග්‍රෑම් 2500ක් බර විශාල රන් පොල්ලක් තිබෙන බව පවසමින් විශාල පිරිසක් මුළාකර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ. එම රන් පොල්ලේ ඡායාරූප ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව ද විමර්ශනයක් එම නිලධාරීහු පවත්වාගෙන යති. එයට අමතරව සැකකාර චීවරධාරියාගේ දුරකථන සංවාද කිහිපයක් පිළිබඳව ද පරීක්ෂණ සිදුකරමින් පවතී.

රහත් යැයි කියාගන්නා සැකකාර හිමිනම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකාර එම චීවරධාරියා අත්අඩංගුවට ගත් පසු ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ ජානකී සිරිවර්ධන ද පසුගිය හතරවෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්හ.

තිළිණි නිසා කරළියට පැමිණි අලුත්ම කට්ටිය

ඒ තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ ව්‍යාපාරිකයන්ගේ ප්‍රකාශවලින්ද ජානකී සිර්වර්ධන මෙම වංචාවට සම්බන්ධ බව හෙළි වීමත් සමගයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමුව පැමිණිල්ල කළ අබ්දුල් සක්කාර්ගේ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ නිවසට මැයි 3 වැනිදා ගිය මොහොතේ හමු වූ ජානකී සිරිවර්ධන, තිළිණි ප්‍රියමාලිගේ ‘ත්‍රිකෝ’ සමූහ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන ලෙස දැන්වූ බවයි.

අනතුරුව ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගෙන ඇත.

තිළිණි ප්‍රියමාලිගේ මුදල් ‘ද වන්’ ව්‍යාපෘතියේ ආයෝජනය කර ඇති බවට නැඟෙන චෝදනාව ජානකී සිරිවර්ධන ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් ආයෝජන උපදෙස් පමණක් ඇයට ලබාදුන් බව හෙළිකර ඇත.

තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසුව ව්‍යාපාරිකයන් හෙළිකරන තොරතුරු හා දිනපතා ලැබෙන පැමිණිලි අනුව ජානකී සිරිවර්ධන යළිත් කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගෙන පසුගිය 4 වැනිදා එම නිලධාරීහු ඇයවද අත්අඩංගුවට ගත්ත. ඇය අත්අඩංගුවට පත්වූ පසු තිළිණි ප්‍රියමාලි සහ ඇය අතර ඇතිවූ දුරකථන සංවාද ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන්නට පටන් ගත්තේය.

එහිදී තිළිණි ප්‍රියමාලි ඇයගේ වංචාසහගත ලෙස උපයාගත් මුදල්වලින් කොටසක් ඇයටත් ලබාදුන් බව පැවසුවාය. එයට අමතරව ඇය අධ්‍යක්ෂිකාවක් වන ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගේ පඩිනඩි ගෙවීම සඳහා ඇය මුදල් ලබාදුන් බවට ද පවසා තිබුණි. ඒ සමගම ජානකී සිරිවර්ධන ද තිළිණි ප්‍රියමාලිගේ ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කළ අය සමඟ සංවාදයේ යෙදෙන ඇමතුම් පට කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය විය.

පසුව ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇයවද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එහිදී ඇයව තිළිණි ප්‍රියමාලි සිටින බන්ධනාගාරය වෙත නොයවන ලෙස ඉල්ලා සිටියත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එලෙස ඉල්ලීමට ප්‍රධානම හේතුව වූයේ සැකකාරියන් දෙදෙනා අතර පවතින ආරවුල සහ ඔවුන් දෙදෙනා එකතු වී පැමිණිලිකරුවන්ගේ සාක්ෂි කිසියම් ක්‍රමයකින් විනාශ කිරීමට ඉඩ ඇති නිසාවෙනි.

තත්ත්වය එසේ තිබියදී තිළිණි ප්‍රියමාලිගේ සහ ජානකී සිරිවර්ධනගේ දුරකථන සංවාදවල තිබී කපුවකු පිළිබඳ තොරතුරු ද අනාවරණය වී තිබේ. එම කපුවා අන් කිසිවකු නොව හිටපු දේශපාලනඥයකු සහ ප්‍රසිද්ධ කපුවකු වන නිශාන්ත කුමාර නොහොත් රත්තරන් නැමැත්තාය. ජානකී සිරිවර්ධනගේ දරුවාගේ අපල නැති කිරීම සඳහා රුපියල් කෝටි 6 කට අධික මුදලක් ඔහු ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විමර්ෂණ පවත්වති. මෙම සියල්ල අනාවරණය වූයේ ඉහත සඳහන් සැකකාරියන් දෙදෙනාගේ දුරකථන සංවාදයකිනි.

එම සංවාදයේදී ක්‍රිෂාන්ත නැමැති පුද්ගලයෙක් ගැන සඳහන් වේ. එයට අමතරව ඔහු කෝටි ගණන් මුදල් ලබාගත් බවත් ඔහු කළ කිසි දෙයකින් සාර්ථකත්වයක් අත් නොවූ අතර විනාශයක්ම ඇතිවූ බවත් සඳහන් වේ. ඒ ක්‍රිෂාන්ත අන් කිසිවකු නොවේ ඉහත සඳහන් කළ පුද්ගලයාය.

තවද තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 7 වැනිදා පැය 5ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. තිළිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. මෙහිදී එම නිලධාරීන් තිළිණි සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලින් මතු කර ගත් වීඩියෝ දර්ශනයක් සංගීතා වීරරත්න මහත්මියට ඉදිරිපත් කරමින් ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මද වේලාවක් නිරුත්තර වී සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ සේමිණී

ඉද්දමල්ගොඩ මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව තවත් නවක නිළියක්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති අතර, ඇය මෙම ලිපිය ලියන මොහොත වන විටත් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැත. තිළිණි ප්‍රියමාලි ජනප්‍රිය නිවේදක යුවලකට නිවසක් මිලදී ගැනීමට දී ඇතැයි කියන කෝටි එකහමාරක මුදලක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. එම නිවේදක යුවලද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය. මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි. ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිප දෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය. ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනී මාෂි සිරිවර්ධනගෙන් රහස් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ. ආරංචිමාර්ග සඳහන් කරන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලය දී පවත්වන ලද මායා චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා ප්‍රියමාලි විසින් මුදල් යෙදවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට යන කියමන අපි සමාජයෙන් අසා ඇත්තෙමු. ඒ අනුව තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධතා පැවැත්වූ තවත් අය පිළිබඳව දුරකථන සංවාද සමගින් ඉදිරියේදී අපට දැනගන්නට සහ අසන්නට ලැබෙනු ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment