තිළිණි මගේ දුව නෙමෙයි කියනවා නම් අභියෝග භාරගන්න සූදානම්… තිළිණිගේ පියා දිවයින ඉරිදා සංග්‍රහයට කතා කරයි

7502

සුදුහාමිනේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වන බව සුප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදියෙක් කිව්වා…
එකම දුව ගැන මට තියෙන්නෙ ලොකු ආඩම්බරයක්, එයා දිරිය දියණියක්…
සුදුහාමිනේ නඩුවෙන් නිදහස් වන බව සීයට පන්සීයක් විශ්වාසයි…

තිළිණි ප්‍රියමාලිගේ පියා සෝමවංශ සොයාගෙන අතුරුගිරියට ගිය අපට ඇයගේ ඥාතී, අසල්වැසි බොහෝ දෙනෙක් මුණගැසිණි. ඔවුහු තිළිණි ගැන බොහෝ දේ අපට පැවසූහ. ඒ අතර තිළිණිගේ නැන්දා අම්මා ජානකි මුතුකුමාරි කියූ කතාව විශේෂය.

තිළිණි ඔය ගමන යන විත්තිය අපි දැනගෙන හිටියා…” තිළිණි ප්‍රියමාලි සමග කාලයක් දිළිඳු පැල්පතක ජීවත් වූ ඇයගේ නැන්දා අම්මා පැවසූ ඒ දීර්ඝ කතාව සවිස්තරාත්මකව පසුගිය සතියක දිවයින ඉරිදා සංග්‍රයෙහි අපි පළ කළෙමු. එමෙන්ම තිළිණි ප්‍රියමාලි ගැන ගෝවින්න ගමේ මිනිස්සු ද අතිශය උනන්දුවෙන් කතා කළහ. ඒ බොහෝ අය තිළිණිගේ චරිතයේ හොඳ දකිනවාට වඩා නරක කතා කිරීමට කැමැත්තක් දක්වන බව ද අපට වැටහිණි.

“තිළිණිගේ අම්මා, තාත්තා ගමෙන් ගිය දා ඉඳලා ජීවත් වෙන්නෙ කුලී ගෙවල්වල. කෝටි ප්‍රකෝටි ගණන් තිළිණිට සල්ලි තිබුණට දෙමවුපියන්ට සැලකුවේ නෑ. සහෝදරයන්ට උදව් කරලත් නෑ. එහෙම වුණා නම් මල්ලි හාඩ්වේයාර්වල වැඩ කරන්නෙ නෑ. තිළිණිගේ ගනුදෙනු හුටපටත් එක්ක ප්‍රේමසිරි බාසුන්නැහැ ජීවත් වෙච්ච කුලී ගෙදරනුත් යන්න කියලා තිබුණා. අපි දන්න විදිහට දැන් බාසුන්නැහැ ජීවත් වෙන්නෙ කිට්ටුව ගමක කාමරයක් කුලියට අරගෙන. වඩු වැඩ කරන්න ශක්තියක් නැති ඒ මනුස්සයා දැන් ලොතරැයි විකුණනවා.

අතුරුගිරිය නගරය පහුකරගෙන පෝරේ පැත්තට යනකොට ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් ඇහුවා නම් ප්‍රේමසිරි බාසුන්නැහැගේ ලොතරැයි කූඩුව තියෙන තැන කියයි…” තිළිණිගේ ගමේ අසල්වාසීහු මඟ පෙන්වන ආකාරයට ප්‍රේමසිරි බාසුන්නැහැ සොයාගෙන අපි ගියෙමු. ගෝවින්න ගමේ කඳු ගැටය බැස අතුරුගිරිය නගරය මැදින් ඉදිරියට ගිය අපි පෝරේ හන්දියට මෙපිටින් පුංචි තේ කඩයක් අසල නතර වීමු.

දොඩම් එකක් බොමුද? පොඩි කඩේ නැඟණියට මම කීවෙමි.

‘සීනි අඩුවෙන්… ලුණු, සැර ටිකක් වැඩියෙන් දාන්න…’ අපගේ රියැදුරු මල්ලි කියූ ඒ කතාවට නැඟණියගේ සුදු මුහුණ පිපිණි.

ලොතුරැයි විකුණන ප්‍රේමසිරි බාසුන්නැහැ දැක්කෙ නැද්ද? දොඩම් වීදුරුවේ රස වර්ණනා කරන අතරේ අපගේ අවශ්‍යතාවය ඇයට මම ඉදිරිපත් කළෙමි.

“අන්න අර පෙන් ලොතරැයි කූඩුව. අද ඇරල ද කියලා නම් පේන්නෙ නෑ… අයියලා කොහේද? පැනයට පිළිතුරු ලබාදෙන අතරේ ඇය අපට පැනයක් යොමු කළාය.

“මේ ළඟපාත… බාසුන්නැහැ එක්ක කතා කරලා අඹ කන්න කඩේට එන්නම්…” ලෑලි තට්ටුවේ අඹ ගොඩ පිරිමදිමින් මම එහෙම කියනවිට ඇයගේ සිනා මුව වැණිනි. එහෙත් අප කෙරෙහි කුතුහලය ඒ මුව මඬල පුරා විසිරි තිබෙන අයුරු පෙණිනි.

තිළිණි මගේ දුව නෙමෙයි කියනවා නම් අභියෝග භාරගන්න සූදානම්…  තිළිණිගේ පියා දිවයින ඉරිදා සංග්‍රහයට කතා කරයි

අප රැගත් මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළ රියැදුරු මල්ලි ලොතරැයි කූඩුවට මදක් එපිටින් නතර කළේය. මෝටර් රථයෙන් බිමට බට, මම ලොතුයි කූඩුව අසලට ගියෙමි. උසත් නැති, මහතත් නැති වියපත් මිනිසෙක් කූඩුව ඉදිරිපිට ලෑල්ල මත ලොතරැයි අමුණමින් සිටී. තට්ටයේ අතරින් පතර ඉතිරි වී තිබෙන කෙස්ගස් කිහිපයත් සුදුය. රැලි වැටුණු මුහුණේ අරියාදුවට වැවුණු රැවුල් කොට ද සුදුය. පරණ පැහැති කමිසයක් සහ සරොමක් ඇඟලාගෙන සිටි ඔහු දෙස මම බලා සිටිමි.

“මහත්තයා මේ සේරම අද දිනුම් අඳින ලොතරැයි. මේකෙ කෝටි විසි ගාණක් තියෙනවා. ඒත් මහත්තයෝ ඇදෙන තැනක් නම් නෑ… ඇත්ත කතා කරන්න ඕන නේ…” හේ ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් බව ඒ වචනවලින් හැගේ.

ප්‍රේමසිරි බාසුන්නැහැ නේද? සිත තුළ කෑකෙරෙන පළමු පැනය මම ඔහුට යොමු කළෙමි.

‘ඔව්… මහත්තයා මාව අඳුරනව ද? පෙරළා ඔහු මාව ප්‍රශ්න කළේය.

‘ඔව්… මම දන්නවා. ගෝවින්න ගමේ නේද?

“ඉස්සර හිටියේ ගෝවින්නෙ. දැන් එහෙන් ඇවිත් ගොඩක් කල්. දරුවො වෙන, වෙනම ජීවත් වෙනවා. මම කාමරයක් කුලියට අරගෙන, උයා පිහාගෙන කාලා බීලා පාඩුවේ ජීවත් වෙනවා. වඩු වැඩ කරන්න සවි ශක්තිය නැති නිසා ලොතරැයි බිස්නස් කරන්න පටන් ගත්තා. මේ බිස්නස් එක පටන්ගෙන තවම වැඩි දවසක් නෑ. ළමයින්ට බරක් වෙන්න මම කැමැති නෑ. ඒ අයගේ ළමයි ළපටිත් එක්ක අපිවත් බලන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ…” හේ කතාවට කැමැතිය. එමෙන් ඔහුගේ වචන ව්‍යාජයක් නොවේ. හදවතේ ගැඹුරුම තැනින් උපදින සිතුවිලි වචන සේ පිට කෙරේ.

තනියෙන් ජීවත් වෙනකොට අඩියක් ගහලා පාඩුවේ ඉන්න පුළුවන් නේද? මම ඔහුට අතුරු පැනයක් යොමු කළෙමි.

“ඉස්සර නම් බෙල්ල සාක්කුවට වැටෙන්න අඩිය ගැහුවා. දැන් බොන්නෙ සතියකට දවසයි. ඒ බොන්නෙත් හිතුණොත් විතරයි. මහ බොරු වැඩක්. නාස්තිය විතරයි. බීමෙන් ඈත් වුණේ වඩු වැඩ කරන්නෙ නැතිව දරුවන්ගේ වියදමෙන් ජීවත් වෙන දවස්වල. දරුවො මට දෙන සල්ලිවලින් අරක්කු බොන්න තියා බීඩියක්වත් බොන්න හිත දුන්නෙ නෑ. ලොතරැයි කූඩුව පටන් ගත්තට පස්සෙ තමයි ඉඳලා හිටලා හරි දවසක් බොන්නෙ…”

තිළිණි ප්‍රියමාලි දුව නේද? නොසිතූ මොහොතක මම ඇසූ පැනයට ඔහු ගැස්සිණි. ඔහුගේ මුව ගොළු විය. අප අතර නිහඬතාවය රජයන්නට විය. මම ලොතරැයි තේරුවෙමි.

“අපි දවසකට ලොතරැයි විස්සක්, තිහක් ගන්නවා. සමහර දවසට රුපියල් විස්සක දිනුමක් නෑ…” අහඹු ලෙස ලොතරැයි ගොන්නක් එකතු කරගත් කෙනෙක් එසේ කියමින් මුදල් ගෙව්වේය.

“අපි හැමෝම සිහිනවල ජීවත් වෙන්නෙ…” මම නැවත කතා කළෙමි.

“ඒක ඇත්ත…” ප්‍රේමසිරි බාසුන්නැහැගේ වියපත් මුහුණ වෙලාගෙන තිබූ අඳුරු වලාපටලය පාවෙන අයුරු පෙණිනි. තිළිණි නම් කෙටි කාලයකින් සිහින සැබෑ කර ගත්තා නේද? පිට පැන තිබූ කතාව මම නැවත හරි මඟට ගත්තෙමි.

“ඔව්… සුදුහාමිනේ දක්‍ෂයි… තරුණ කාලේ ඉඳලා දියුණු වෙන්න පුදුම උත්සාහයක් තිබුණේ. එයා දුක දිනා ජීවිතය ජයගත් දිරිය දියණියක්. සුදුහාමිනේ ගැන මට තියෙන්නෙ ලොකු ආඩම්බරයක්…” ප්‍රේමසිරි බාසුන්නැහැගේ වචනවල ආඩම්බර ලීලාව මුහුණෙන් ද අපට පෙණිනි. එමෙන්ම ගෝවින්න ගමේ මිනිසුන්ට මෙරට බහුතරයකට තිළිණි කළු චරිතයක් වුව ද ප්‍රේමසිරි බාසුන්නැහැට දිරිය දියණියකි.

“දැන් අවුරුදු කිහිපයකට ඉස්සර චුටි පුතා වැඩ කරන හාඩ්වේයාර් එකෙ මහත්තෙලාගේ ගෙදර පිරිත් පින්කමක් තිබිලා සුපිරි වාහන කිහිපයකින් පුද්ගලික ආරක්‍ෂකයෝ පිරිවරාගෙන සුදුහාමිනේ ඇවිත් තිබුණා. ඒක දැකපු ගමේ කෙනෙක් මට ඇවිත් කියනවා ‘බලනවා… තමුසෙගෙ දුව දානෙ ගෙදරට ඇවිත් හිටියේ බොඩි ගාඩ්ලා වට කරගෙන. ඒ අය දුවට කතා කළේ මැඩම් කියලා. තමුසෙ නිකං රස්තියාදු වෙනවා.

දුවගෙන් කීයක් හරි ඉල්ලගෙන බිස්නස් එකක් කරලා ටිකක් දියුණු වෙනවා…’

‘දරුවන්ගේ සල්ලි ඒ අයට. මේ ඉන්න විදිහ මට හොඳයි. මගේ අතපය හයිය තියෙනකම් හම්බ කරගෙන ජීවත් වෙනවා. බැරි දවසකට දරුවො මාව බලයි’ උපදෙස් දෙන්න ආපු කෙනාට රිදෙන්න මම එහෙම කිව්වා. අදටත් මට පුතාලා කියනවා ඒ අය ළඟට ඇවිත් ඉන්න කියලා. පොඩි පුතා අම්මවත් හොඳට බලා ගන්නවා. සුදුහාමිනේ ඉස්සර මාසයකට සැරයක් රුපියල් දහ, පහළොස්දාහක් මටත් දුන්නා. අම්මටත් දීලා තිබුණා. එක අවස්ථාවක මට හොඳ ෆෝන් එකක් අරගෙනත් දුන්නා. අයියලා, මල්ලිටත් උදව් කරන්න ඇති. මම කිසිම දෙයක් හොයන්න යන්නෙ නෑ. දුන්නොත් දෙයක් ගන්නවා. ඉල්ලන්න යන්නෙත් නෑ. ඒ මගේ ප්‍රතිපත්තියක්. දරුවො හතරදෙනෙක් උස් මහත් කළේ කාගෙන්වත් රුපියලක්වත් ඉල්ලගෙන නෙමෙයි. වඩු මඩුවේ වැඩ කරලා. අදටත් සුදු හාමිනේ හිතාගෙන ඉන්නෙ මම තවම වඩු වැඩ කරනවා කියලා…”

‘ආ… මහත්තයා අද ඉක්මනට ඇවිත්…’ ප්‍රේමසිරි බාසුන්නැහැ සිනා මුව පළල් කර ලොතරැයි මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙක්ව පිළිගත්තේය. ඔහු ද ලොතරැයි විසිපහක් එකතු කරගෙන රුපියල් පන්සියක් ප්‍රේමසිරි අතට දුන්නේය.

“මට හොඳ ගනුදෙනුකරුවො ටිකක් ඉන්නවා. දවස ගානෙ ස්විප් හතළිහ, පනහා ගන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ නිසා හවස 1ක, 2ක වෙනකොට ස්විප් ටික ඉවරයි. ස්විප් කූඩුව ඇරිය දවසෙ ඉඳලා බිස්නස් හොඳයි. වඩු වැඩ කරන කාලයෙත් මට වැඩ නැති වුණේ නෑ. ඒත් දරුවො පුංචි කාලේ සැපට හදන්න තරම් ලොකු වත්කමක් තිබුණේ නෑ. සුදුහාමිනේ ඉස්කෝලෙ යන කාලේ පාසල ඇරිලා ඇවිත් වඩු මඩුවට වෙලා ඉඳලා හවසට මාත් එක්ක ගෙදර ගියේ. ඒ කාලේ ඇති වෙන්න දුක්වින්දා. ඒ සන්දිය ගැන මතක් වෙනකොටත් හිතට දුකයි…” ප්‍රේමසිරි තාත්තාගේ මුව ගොළු විය. දෑස් ලොතරැයි කූඩුවෙන් එපිටට ඉඟිළිණි.

සුදුහාමිනේ අපේ පවුලට එකතු වෙච්ච දවසෙ ඉඳලා මටත් හොඳයි. සිරියාවන්ත දරුවා. දුව කසාද බඳින්න ඉස්සර වෙලා ලංකාවේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියෙක් ළඟට ගිහින් කේන්දරය බැලුවා. මමයි, සුදුහාමිනෙයි තමයි ගියේ…”

‘මේ කේන්දරයේ හැටියට මේ ළමයා ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා…’ ඒ ජ්‍යොතිෂවේදියා බොහොම විශ්වාසයෙන් කිව්වා. ඒ වෙනකොට අපි ජීවත් වුණෙත් බොහොම අමාරුවෙන්. ඒත් ඒ ජ්‍යොතිෂවේදියා කියපු කතාව සුදුහාමිනේගේ හිතේ නිතර වැඩ කරන බව මට තේරුණා. ඊට ටික කාලයකට පස්සෙ තමයි අල්ලපු ගෙදර සමන් පුතාව කසාද බැන්දේ. රටත් ගියා. ඒ රටෙත් ළමයි ආරක්‍ෂා කරදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිහින් තිබුණා. ඒකත් ජයට කරගෙන ගිය විත්තිය අපිට ආරංචි වුණා. ඒත් ඉතිං නොගැළපීම් නිසා දුව ඒ කසාදයෙන් අයින් වෙලා මුණුපුරාව හදාගෙන පාඩුවේ ජීවත් වුණා. සමන් පුතත් වෙන කසාදයක් කරගෙන කියලා ආරංචියි. සුදුහාමිනේ ඒ දේවල් හිතන්නෙ නැතිව ව්‍යාපාර පැත්තට යොමු වුණා. පටන් ගන්න සෑම ව්‍යාපාරයක්ම හොඳට ම දියුණු වුණා. සුදුහාමිනේ ජාඇළ හිටිය කාලේ ඉඳලා හිටලා මමත් ගෙදරට ගියා. එතකොටත් මුණුපුරා උස, මහතයි. දැන් ලොකු ඉලන්දාරියෙක් වෙන්න ඇති. කාලෙකින් දැක්කෙ නම් නෑ. දවසක් මම සුදුහාමිනේලාගේ ගෙදර ගිහින් ඉන්නකොට මුණුපුරා පත්තරයක් ගෙනත් ‘සීයේ… අපේ අම්මා පත්තරේ ඉන්නවා’ කියලා පිටු පෙරළා දුවගේ පින්තූරය පෙන්නුවා. සුදුහාමිනේ ගැන ලියලා තිබුණු ඒ ලිපිය මම කියවලා බැලුවා…”

‘අපේ තාත්තා වඩු වැඩ කරන්නෙ. මම පුංචි කාලෙ ඉස්කෝලෙ ගිහින් ඇවිත් හවස් වෙනකම් හිටියේ තාත්තා වැඩ කරපු වඩු මඩුවේ. අපේ තාත්තා හොඳ ධෛර්වන්ත කෙනෙක්. මට තියෙන්නෙ තාත්තාගේ ආභාසය. ඒ ලිපියේ එක තැනක සුදුහාමිනේ කියලා තිබුණු ඒ කතාව දැකලා මට පුදුම සතුටක් ඇති වුණා. ඒ පත්තර කෑල්ල පරිස්සම් කරගෙන කාලයක් තියාගෙන හිටියා. ගෙවල්වලින් මාරු වෙනකොට පත්තර කෑල්ල නැති වෙලා තියෙනවා. ඒ සිද්ධිය වෙලත් දැන් අවුරුදු හතකට වැඩියි. දුවලා ජාඇළින් වත්තල ගෙදර පදිංචියට ගියාට පස්සෙ කතා කරන්න ලැබුණෙත් එක අවස්ථාවයි. ඒකත් චූටි පුතාගේ ෆෝන් එකට කෝල් එකක් ගත්ත අවස්ථාවේ අහම්බෙන් සුදුහාමිනේ සම්බන්ධ වුණා…”

“මල්ලි නෙමෙයි කතා කරන්නෙ සුදුහාමිනේ…” ඒ වචන ඇහෙනකොටත් මට ලොකු සතුටක් දැනුණා…

“තාත්තා බලන්න එන්න හිතාගෙන හිටියේ. ඒත් වැඩ නිසා මඟහැරුණා. හෙට අනිද්දා දවසක එන්නම්…” ඒත් දුවට එන්න නම් බැරි වුණා. අහම්බෙන් හරි එදා කතා කරන්න ලැබුණේ චූටි පුතා සුදු හාමිනෙලාගේ ගෙදර ගිහින් හිටපු නිසා. අවුරුදු හතරකින් විතර මට දුව මුණගැහිලා කතා කරන්න බැරි වුණා. දුව ගැන විස්තරයක් දැනගන්නෙත් චූටි පුතාගෙන්. නඩුවටත් චූටි පුතා හැම වාරයකදීම යනවා. කිසිම සාක්‍ෂියක් ඉදිරිපත් වෙන්නෙ නෑ කියන්නෙ… ඔය නඩුවෙන් සුදුහාමිනේ නිදහස් වන බව සියයට සීයක් නෙමෙයි, සියයට පන්සියයක් මට විශ්වාසයි. ඒ වගේම සුදුහාමිනේගේ තාත්තා විදිහට වෙනත් නම් සමාජගත වෙනවා කියලා ආරංචියි. ජීවතුන් අතර ඉන්න කෙනකුගේ නමක් කිය වුණා නම් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් හරි කරන්න තිබුණා. සෝමවංශ අමරසිංහ මැරිලා නිසා ඒක කරන්නත් බෑ. සුදුහාමිනේ මගේ දුව නෙමෙයි කියලා කවුරුහරි අභියෝග කළොත් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් කරලා මම ඔප්පු කරලා පෙන්වනවා. මම තාත්තා බව සුදුහාමිනෙත් ඕන තැනක කට පුරා කියනවා. මටත් අවංකව කියන්න පුළුවන් සුදුහාමිනේ මගේ එකම දුව කියලා. කටකතා පුතුරුවා හරින මිනිස්සු පව්…”

“ඒ වගේම මිනිස්සු අසරණ වෙච්ච වෙලාවට කතා පතුරවලා සතුටුවීම මනුෂ්‍ය ගතියක් නෙමෙයි. ඔය කතා පැතිරෙව්වට සුදුහාමිනේව වට්ටන්න බෑ. එයා හරි ශක්තිමත්. පුදුමාකාර හයිය හිතක් තියෙන්නෙ. දුවගේ ජීවිතේ වැටුණු අවස්ථා එමටයි. ඒ හැම අවස්ථාවකම හිටියාට වඩා ශක්තිමත්ව නැඟිට්ටා. ඒ වගේම මම දන්න විදිහට සුදුහාමිනේගේ ජීවිත කාලය තුළ හොරකම් කරලා නෑ. දැන් මට වයස අවුරුදු හැත්තෑ හතරයි. මගේ ජීවිත කාලයට දරුවො හොරකම් කරලා කියා ආරංචි වෙලත් නෑ. සුදුහාමිනේ කරලා තියෙන්නෙ ව්‍යාපාරයක්. එම ව්‍යාපාරයට යම්, යම් පුද්ගලයන් මුදල් ආයෝජනය කරලා තියෙනවා. ඒවා ගනුදෙනු. අපේ සුදුහාමිනේ හරියට ඉගෙනගත්තෙ නැති වුණාට උපාධි දෙක, තුනක් ගත්ත කෙනකුගේ බුද්ධියක් තියෙනවා. ප්‍රියමනාප කතා ශෛලියක් තියෙනවා. එහෙම දක්‍ෂ වෙච්ච නිසා තමයි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තට්ටුවක්ම බද්දට අරගෙන විශාල සේවක පිරිසක් නඩත්තු කරගෙන දැවැන්ත ව්‍යාපාරයක් කරගෙන ගියේ. ඒ නිසා සුදුහාමිනේ හිරේ විලංගුවේ වැටෙන විදිහයේ ගනුදෙනු කරයි කියා මම නම් හිතන්නේ නෑ…” ප්‍රේමසිරි බාසුන්නැහැ කියන කතාවේ සත්‍යයක් තිබේ. ව්‍යාපාරයක් තුළ විවිධාකාර ගනුදෙනු සිදු වේ. තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරයෙහි සිදු වී ඇති ගනුදෙනු නීත්‍යානුකූල ද? නීතිවිරෝධී ද? යන්න අපි නොදනිමු. පෙළගැසෙන කතාව තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් පැන නැඟුණු චෝදනා ගැන නොවේ. තිළිණිගේ සැබෑ පියා ප්‍රේමසිරි කියන කතාවය.

එමෙන්ම අසරණ වූ සතෙකුටවත් හිංසා කිරීම කිසිදු ආගමක අනුමත නොකරන්නකි. එහෙත් අප ජීවත්වන විෂ ඝෝර සමාජයේ දේශපාලන ගෝත්‍රිකයන් රටේ දැවෙන ගැටලු වසා දැමීමට හොඳින් හෝ නරකින් ජනප්‍රිය වන ගැටලුකාරී පුද්ගලයන් තලා පෙලා කට කතා පතුරුවා හැරීම, විවිධාකාර බොරු බේගාල් සමාජ මාධ්‍ය තුළ පතුරුවාහරිමින් ජනතාව නොමඟහැරීම සාමාන්‍යයක් බවට පත් කරගෙන සිටිති. තිළිණිගේ තාත්තා සෝමවංශ කියා ගෙතීම ද රටේ ගැටලු වසා දැමීමට කුණු කතා රසට ගොතන දේශපාළුවන්ගේ කුණු වැඩකි.

තරංග රත්නවීර
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment