ති‍්‍රමලේ තෙල් ටැංකි සංකීර්ණය මේ ආණ්ඩුව සදාකාලිකවම ඉන්දියාවට පවරා දුන්නා: ඉන්දීය හමුදාවටත් අප රටට ගොඩබහින්න අවසර දීලා

296

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුම නිසා එම සංකීර්ණය සහිත අක්කර 667 ම ඉන්දියාවට අයිතිවන්නා සේම ඉන්දීය හමුදාවට ද මෙරටට ගොඩබැසීමට අවසර ලබාදී ඇතැයි, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ආනන්ද පාලිත මහතා කීය.

ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා මෙසේ ද කියා සිටියේය.

ඊයේ රාති‍්‍ර වසර 19ක් ඉන්දියාවට කරගත නොහැකි වූ දෙයක් වර්තමාන ආණ්ඩුව විසින් ඇමැතිවරයාගේ පූර්ණ දායකත්වය ඇතිව එකඟතාවයෙන් ගිවිසුම් ගතවුණා. මේ ගිවිසුමෙන් අක්කර 667 ක් වන ති‍්‍රකුණාමල ටැංකි සංකීර්ණය සහිත භූමිය සදාකාලිකවම ඉන්දියාවට නතුවුණා. මෙය දේශද්‍රෝහියි, ජනතා ද්‍රෝහියි. වත්මන් ජනාධිපතිවරයා තමාගේ මැතිවරණ ප‍්‍රකාශයේදී කිව්වා ඊට පෙර විකුණපු සියලූ දේවල් පවරගන්නවා කියලා. අගමැතිතුමාත් ඒ බව කිව්වා. නමුත් මේ රටේ ජාතික ආරක්‍ෂාව පූර්ණ ලෙස විනාශ කරමින් එම තෙල් ටැංකි සංකීර්ණය පවරා දෙනු ලැබුවා.

මේ අත්සන් කරපු ගිවිසුමෙන් ඒ තෙල් ටැංකි 61 න් සියයට 49ක් ඉන්දියන් සමාගමටත් ඉතිරි සියයට 51ක මෙරට තෙල්

සංස්ථාවටත් ලැබෙනවා. මේ ගිවිසුමට අනුව තෙල් ටැංකි 85ක් අපට ලැබුණා කියලා ඇමැතිවරයා පැවසුවා. එය පට්ටපල් බොරුවක්, නීතියටත් එය පටහැනියි. ජනවරමට අනුව එය දේශද්‍රෝහියි, මේ පිහිටුවූ සමාගම නිසා මේ තෙල් ටැංකි 85ම යන්නේ ඉන්දියාවට.

මීට පෙර මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දු ලංකා ගිවිසුම මගින් මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් පමණයි තිබුණේ. නමුත් සුද්දට අපේ රට දුන්නාට පසුව ඊයේ රෑ ජාතික මර්මස්ථානයක් ගෙඩිය පිටින් විදේශයකට ලබා දුන්නා. ඊයේ රෑ ගිවිසුමට ඉඩම් කොමසාරිස්, මුදල් අමාත්‍යාංශ ලේකම්, තෙල් සංස්ථාව සහ අයි ඕසී සමාගම අත්සන් කළා. ගිවිසුමකින් පාවාදුන්නු රැයක් තමයි ඊයේ ගතවුණේ.

මේ ගිවිසුම මගින් චීන වරායේත් අක්කර එකසිය ගණනක් ඉන්දියාවට යනවා. එය ඩොලර් උල්පතක්. තෙල් ටැංකි සහිත ඉහළ අංගනයේ ඇති ටැංකි සමග සමස්ත භූමියම ඊයේ රෑ පවරා දෙනු ලැබුවා. පහල අංගනයේ සමස්ත ටැංකිත් ඉන්දියාවට ලබා දුන්නා. අපට ලැබුණු දෙයක් නෑ. මේ ටැංකි සියල්ල සංවර්ධනය කරන්න යන්නේ ඩොලර් මිලියන 50 යි. නමුත් අපි ඒවා සංවර්ධනය කරන්නේ නැතුව ඉන්දියාවට පැවරුවා.

මේ ටැංකි ලබාදීම තුළින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500 ක ණයක් පමණයි. අපට ඊට පොලියකුත් ගෙවන්න වෙනවා. අපේ භූමියත් දුන්නා, මුහුදත් දුන්නා, තෙල් ටැංකි ටිකත් දුන්නා. එහි පහළ අංගනයත් එක ඩොලරයක්වත් නැතුව ඉන්දියාවට ලබාදී තිබෙනවා. තෙල් සංස්ථාවට ඊයෙන් පසුව එම සංකීර්ණයට ඇතුල් වෙන්නත් බෑ. මෙය භයංකාර තත්්ත්වයක්. මෙය නීති විරෝධී ගිවිසුමක්.

අධිකරණ කි‍්‍රයාමාර්ගයක් තිබියදීත් ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කළා. අපි මීට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ති‍්‍රකුණාමලයේදී ආරම්භ කරනවා. එය දැවැන්ත විරෝධතාවක්. මේ ගිවිසුම නිසා ඉන්දීය හමුදාවට චීන වරායෙන් ගොඩබහින්නත් මේ ආණ්ඩුව අවසරය ලබා දීලා තිබෙනවා. මෙය රටට විපතක්, එදා ඉන්දීය හමුදාව ඇවිත් කරපු විනාශය නැවත ඇතිවේවි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment