තුටින් පිරීගිය එක් මොහොතක්: පරිවර්තිත කාව්‍ය කෘතිය පිළිබඳ විමසුමක්

323

ප්‍රකට සමාජ හා මානව විද්‍යාඥයෙකු මෙන්ම ප්‍රබන්ධ රචකයෙකු හා පරිවර්තකයෙකු වන මහාචාර්ය සසංක පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දු ගමගේ විසින් පරිවර්තනය කරනු ලැබූ ජලාල් අද්-දින් මුහම්මද් රූමිගේ කවි 150 ක් රැගත් ‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කාව්‍ය කෘතිය අරබයා මෙම විචාරය රචනා කෙරේ. මෙම විවරණය සාකල්‍ය හා පරිපූර්ණ රචනාවක් නොවන අතර, සිංහල බසින් කියවන පොදු පාඨකයාට රූමි නමැති දාර්ශනික කවියාගේ මාහැඟිත්වය පිළිබඳ ලාලසාවක් ඇති කිරීමේ සීමිත අරමුණ ඇති ව ඉහත කී කෘතියෙන් තෝරාගත් කවි කිහිපයක් පමණක් ඇසුරු කර ගනිමින් රචනා වූවකි.

මෙම පරිවර්තන එකතුවට අයත් ‘නික්ම ගොස් ඇත අදිසි දෙවිඳුන් වෙත’ නමැති ‘Gone to the Unseen’ ලෙසින් ඉංග්‍රීසියෙන් පළවී ඇති රූමිගේ කවියේ පරිවර්තනයකි. මෙවැනි කවි තේරුම් ගැනීමේ දී රූමි යොදාගත් සංකේත (symbols), දෘෂ්ටාන්ත (allegory) සහ මාතිකා (motifs) පිළිබඳ නිවැරදි ගවේෂණයක් කළ යුතු වේ.

තුටින් පිරීගිය එක් මොහොතක්: පරිවර්තිත කාව්‍ය කෘතිය පිළිබඳ විමසුමක්

මෙම කවියේ තැනෙක යෙදෙන ‘වීය ඔබ අගනා උකුස්සෙක්’ යන්නෙන් රූමි අදහස් කරන්නේ ලෞකික සම්පත් විඳිමින් පැවති ලෝකායත ජීවිතයයි. උකුස්සා සඳහා අරාබි බසින් යෙදෙන බස් (‘2) නමැති සංඥාකරණය ඔස්සේ දැක්වෙන්නේ ඉලක්ක ගත හඹා යෑමයි. වියපත් ස්ත්‍රිය (Old Woman) පිළිබඳ රූපකය රූමි ලබා ගන්නේ අරාබි පුරාණෝක්ති ඔස්සේයි. මෙම කවියේ තැනක කියැවෙන පරිදි කාලයෙන් හා අවකාශයෙන් ඔබ්බට පියඹා ගියා යන්නෙන් අදහස් වන්නේ, පරම සත්තාව වෙත එළැඹීමයි. මෙහි සඳහන් බෙරවායාගේ හඬ යනු අනෙකක් නොව දෙවියන්ගේ කැඳවීමයි. මේ සෑම සංකේතයක් තුළ ම රූපකාර්ථ සමුද්‍රයක් ගැබ් වී ඇත.

මෙහි එන ‘කලබල නොවන්න’ නමැති කවියේ දී විශද වන්නේ ද රූමිගේ ජීවන දර්ශනයයි:

අරඹන්නේ කියැවීම ඔබ පොත්පත්
පසු කාලයේය දිවියේ
කලබල නොවන්න දුටුවොත් ඔබ ගැටවරයන්
ඉදිරියෙන් ඔබට. ඉක්මන් නොවන්න.
විඩාපත් ව සූදානම් ද ඔබ
දැන් අතාරින්න සියලු දේ?
ඉඩාරින්න දෑතට ඔබගේ වයන්න සංගීතය.

රූමිගේ දර්ශනය තුළින් ප්‍රතීයමාන වන ලක්ෂණයක් නම්, ආපාතික ලෝකයෙන් විතැන් වූ වෙනත් ලෝකයක් (other-worldly) සම්බන්ධයෙන් ඇති විශ්වාසයයි. මෙම කවියේ මුල් වැකියෙන් කියවෙන පරිදි ඔබ පොත් කියවීම ඇරඹීම සිදු වන්නේ ජීවිතයේ අවසන් කාලයේ දී ය. මෙහි අරුත නම් හුදෙක් පොත් යන්න ම නොවේ. රූමිගේ සංදර්භයෙන් ගෙන සැලකූ විට පොත් යනු ආගමික වූ ශුද්ධ වූ අර්ථයකින් යුක්ත අන්තර්ගතයන් සහිත දෙයයි. පොත් කියවීම හෙවත් ජීවිතය පිළිබඳ ඔබට අවබෝධ කර ගැනීමට හැකි වන්නේ පරිණතභාවයත් සමඟිනි.

ජීවිතාවබෝධය යනු කාලයත් සමඟින් ලැබෙන්නකි. ජීවිතාවබෝධය ලැබූ මහල්ලා කිසිවකින් කලබල නොවෙයි. දුක සැප දෙකෙහි උපේක්ෂා සහගත වෙයි. නින්දා අපහාස, ලාබ අලාබ සම සිතින් උසුලයි. සූෆි දර්ශනය හා බැඳුණු දෛවය පිළිබඳ අදහස් (ideas of destiny) රූමිගේ මෙම කවියෙන් විනිර්මුක්ත වෙයි. රූමි විශ්වාස කළේ සෑම කෙකුගේ ම දෛවය රැඳී ඇත්තේ දෙවියන්ගේ දෑතෙහි බවයි. ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් පැවසුවේ, දෙවියන් දාදු කෙළින්නේ නැති බවයි (God does not play dice). අයින්ස්ටයින් මෙය හැඳින්වූයේ මහල්ලාගේ රහස (secret of the Old One) ලෙසයි.

මහාචාර්ය පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගමගේ විසින් පරිවර්තනය කර ඇති ‘සෑම දිනයක් ම’ යන කවිය සැලකීමේ දී පෙනී යන්නේ කාලයේ සහ අත්දැකීම්වල ඇති වටිනාකමයි.

සෑම දිනයක් ම පෙනේරයකි ආත්මය පෙරාලන
අනාවරණය කර අපිරිසිදු දේ එසමගින් ම
පෙන්වා දෙමින් ඇතැමුන් මුදාහරිනායුරු
තමන්ගේ ම යැයි කිව හැකි ආලෝකයක් විශ්වයට

මනුෂ්‍ය ජීවිතයක් පරිපූර්ණ වන්නේ අත්දැකීම් ඔස්සේ ය. දිනක් දිනක් පාසා අත්දැකීම් ලැබෙන අතර, ඒ සෑම දිනක් ම ආත්මය ශුද්ධ කර ගැනීම සඳහා ලැබෙන අවස්ථාවක් වේ. විශ්වය සමඟ ආත්මීය ආලෝකය එක් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ ජීවිතය ඔස්සේ ම ය. අත්දැකීම ඔස්සේ ය. දෙවියන් තුළ ව්‍යාවෘත වීම ඔස්සේ ය. රූමිට අනුව ආලෝකය යනු ලෝකය විශද කරන දෙයයි (Tis light makes colour visible). එනම්, ආලෝකය යනු මහා ප්‍රඥාවන්තයායි. දෙවියන් වහන්සේයි. විශ්වීය ඥානය සංජානනය කිරීමේ ශක්‍යතාව (perceptibility) ඇත්තේ මෙම ආලෝකය තුළයි. අප ජීවත් වන මරණීය (mortal) ලෝකය රූමි සංකේතවත් කරන්නේ අඳුරේ සාර්වත්‍රික බව (ubiquitous darkness) තුළිනි. මෙම මරණීය සහ ආපාතික ලෝකය අර්ථවත් කළ හැක්කේ ආලෝකයේ පහළ වීම තුළිනි. ‘චක්ඛුං උදපාදි ආලෝකෝ උදපාදි’ ආදී වශයෙන් බෞද්ධ දර්ශනයේ ද දැක්වෙන්නේ සමාන අදහසකි.

රූමි යනු කාලයකට හෝ අවකාශයකට නැත්නම් ජාතියකට හෝ ආගමකට සීමා කළ නොහැකි කවියෙකු බව මෙම කෘතිය පරිශීලනය කරන්නෙකුට වැටහෙනු ඇත. සිංහල සාහිත්‍යයට අඩු වශයෙන් ඇතුළු වී ඇති සූෆි සාහිත්‍යය සහ දර්ශනය මෙපමණකින් හෝ අප වෙත ගෙන ඒම ගැන මහාචාර්ය සසංක පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දු ගමගේ යන අයට අපගේ ස්තුතිය හිමි විය යුතුය.

ආචාර්ය දර්ශන අශෝක කුමාර

තුටින් පිරීගිය එක් මොහොතක්: පරිවර්තිත කාව්‍ය කෘතිය පිළිබඳ විමසුමක්

advertistmentadvertistment
advertistmentadvertistment