තුන්පාරක් වැඳල කිව්වත් පාඨලී ඇමැතිතුමාගෙන් කිසිම උදව්වක් ලැබුණේ නෑ

480

අනතුරට පත් තරුණයාගේ පියා සාක්‍ෂි දෙමින් කියයි

නොසැලකිලිමත් ලෙස හා අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම, රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් පවරනු ලැබූ නඩු කටයුත්තකදී පාවිච්චි කිරීමේ අරමුණින් අසත්‍ය සාක්‍ෂි ගෙතීම ඇතුළු අධි චෝදනා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී ඊයේ (02 දා) පස්වරුවේ කියවාදීම සිදු කළේය.

මහාධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක දනුෂිකා ඩයස් අබේවර්ධන මෙනවිය විසින් පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලූම් කුමාර හා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවන්ට කියවාදීම සිදු කළාය.

විත්තිකරුවන් එකී අධිචෝදනාවලට නිවැරදිකරුවන් බව ප‍්‍රකාශ කිරීම නිසා පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

එම නඩුවේ දෙවන විත්තිකාර තුසිත දිලූම් කුමාර නමැත්තා 2016.02.28 වැනිදා රාජගිරිය ප‍්‍රදේශයේදී සිදු වූ එකී රිය අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරනු ලැබූ නඩුවේ චෝදනාවලට වරද පිළිගෙන දඬුවමට ලක්වී ඇති බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවක් නොමැති බවට පළමු හා තෙවන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා පවරනු ලැබූ නඩු පැමිණිල්ලේ සාක්‍ෂි කැඳවා විභාග කිරීමට සූදානම් වන විට එලෙස නෛතික විරෝධතා ඉදිරිපත් කරමින් නඩු කටයුතු ප‍්‍රමාද කිරීමේ ප‍්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබී ඇති බවත් එකී රිය අනතුරින් බරපතළ තුවාල ලබා සදාකාලික ආබාධිතයකු බවට පත් වී සිටින ඔහුට යුක්තිය ඉටුකර ගැනීම සඳහා වසර 5 යි මාස 10 ක් තිස්සේ ඔහුගේ දෙමාපියන් මඟබලා සිටින බවත් විත්තියේ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීය.

මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ එකී රිය අනතුර සම්බන්ධයෙන් වුවත් පළමු හා තුන්වන චූදිතයන් ඔවුන් සතු රාජකාරිවල බලතල හා දේශපාලන බලය උපයෝගී කරගනිමින් එම අනතුරට සම්බන්ධ නොමැති වෙනත් රියැදුරකු අධිකරණයට ඉදිරිපත් කර වරද පිළිගෙන ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකම සිද්ධිය මූලාශය වුවත් මෙම නඩුව ඊට පසුව අනාවරණය වූ කරුණු මත පදනම්ව ගොනු කළ අධිචෝදනා වන්නේ යැයි ද පැවසීය.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දුන් අනතුරට පත් තරුණයාගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘අපිට ඉන්න එකම වස්තුව තමයි ඔය අනතුරට පත්වුණ සන්දීප් සම්පත් පුතා. ඒ අනතුර වෙලා දැනට අවුරුදු හයක් කිට්ටු වෙන්න එනවා. පුතා තවම ඉන්නේ රෝද පුටුවේ. එයාට අදටත් හරියට කතා කරන්න බෑ. තනිවම හිටගන්නවත් බෑ. පුතා මෝටර් ෂෝ එකකට ගිහින් එනවිට තමයි ඒ අනතුර සිදුවෙලා තියෙන්නෙ. පුතා පදවපු යතුරුපැදිය ජීප් එකකට හැප්පිලා තියෙනවා. ඒ ජීප් එක රිය අනතුරින් පසු නවත්වන්නේ නැතුව පලායද්දී පුතාගේ යාළුවෝ දෙන්නෙක් යතුරු පැදියකින් ඒක හඹාගොස් නතර කරලා තියෙනවා. එතකොට කළු කණ්ණාඩියක් දාගෙන රියැදුරු අසුනේ හිටපු එවකට ඇමැතිවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික මහත්තයා හැඳුනුම්පතක් පෙන්වා ඒ අයට කියලා තියෙනවා ‘‘ගහන්න එපා මම පාඨලී ඇමැති, බොරැුල්ල පොලිසියට යමු’’ කියලා. මට වෙන කිසිම ආදායමක් නෑ. පුතාගේ බේත්වලට විශාල වියදමක් යනවා. මම තුන්පාරක් පාඨලී ඇමැතිතුමාගේ ගෙදර ගිහින් කකුල් දෙකට වැඳලා ඉල්ලූවා මට උදව් කරන්න කියලා. නමුත් අද වනතුරු කිසිම උදව්වක් කළේ නෑ.

වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන ජනවාරි 11 වැනිදා දක්වා කල් තැබිණි. රජයේ අධිනීතිඥ චතුරි ජයසූරිය මෙනවිය, රජයේ අධිනීතිඥ ශෂිකලා කුමාරි මෙනවිය, රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මහත්මිය හා රජයේ අධිනීතිඥ ලක්මාල් දිසානායක මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවිය.

නීතිඥ මාර්ක් ඇන්ටන්, ශාලික ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරුන් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment