තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නේ පුටින්

528

රුසියානු-යුක්‍රේන යුද්ධය දෙවන වසරටත් පා තබා ඇත. ලෝකයේ දේශපාලන, සමාජ හා ආර්ථික සංහිඳියාවන් බොහෝ සෙයින් අස්ථාවරත්වයට පත්කර ඇති මෙකී අර්බුදය අවසන් වීමේ පැහැදිලි සේයාවක් තවමත් දක්නට නැත. සාමය සඳහා වූ ප්‍රවේශ මාර්ග කුමක් හෝ හේතුවක් නිසාවෙන් ඇහිරෙමින් තිබේ. බොහෝ විශ්ලේෂකයන් මේ දෙස බලන්නේ තමන්ට ආවේණික දේශපාලන පැති කණ්ණාඩිවලින් මිස භූමියේ පවත්නා භූ-දේශපාලනික යථාර්ථයට අනුව නොවේ. දෙපාර්ශ්වයේ නායකත්වයන් වීරත්වයට ඇද දමමින් ලියැවෙන මාධ්‍ය වාර්තා ද බහුලය. රුසියානු ජනාධිපතිවරයා න්‍යෂ්ඨික ප්‍රහාරයකට අර අඳින බවත් ඒ හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක් දක්වා අර්බුදය දිග්ගැස්සීම වැළැක්විය නොහැකි බවත් කියවෙන්නේ යුද්ධය ආරම්භ වූ පසුගිය වසරේ පෙබරවාරි 24 දිනටත් පෙර සිටය. තවත් පැත්තකින් කියවෙන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර සහයෝගය සහිතව රුසියාව පරාජය කරන දිනය වැඩි ඈතක නොවන බවය.

යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ තිබූ ජයග්‍රාහී මානසිකත්වය රුසියානුවන්ට දැන් නැති බව පැහැදිලිය. රුසියාව බලාපොරොත්තු වූ තරම් දුර්වල තත්ත්වයක නොවේ දැන් යුක්‍රේනය තිබෙන්නේ. ක්‍රෙම්ලින් පාලනයේ ඉහළම කවය මේ පිළිබඳව විශ්ලේෂණාත්මක මනසකින් යුතුව ඉදිරියට පියවර තබන බව දැන් පැහැදිලිය. සෙලෙන්ස්කිගේ යුක්‍රේන ආණ්ඩුව, හුදු විකට නළුවෙකුගේ මෙහෙයවීමෙන් නැටවෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ නාසිවාදී තරුණයන් පිරිසක් ලෙස පුටින් මහතා මුලින් විග්‍රහ කළේය. නමුත් දැන් තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී ඇත. නේටෝ (NATO) හා බටහිර බලවතුන්ගේ යුද ආධාර හා තාක්ෂණික උපදෙස් නිසා දැන් නැගෙනහිර යුක්‍රේනය ගල උඩ සටන් බිමක් බවට පරිවර්තනය වී ඇත. පුටින් මහතාට යුද්ධයට අමතරව තම අභිමානය රැක ගැනීමේ සටනක ද නියැළීමට සිදුව ඇත.

● පෘථිවිය අට වරක් පිපිරවිය හැකි න්‍යෂ්ටික අවි ගොන්න

රුසියානු න්‍යෂ්ඨික ප්‍රහාරයක් පිළිබඳව රතු එළිය විටින් විට දැල්වෙමින් තිබේ. ලෝකයේ න්‍යෂ්ඨික අවි බලය හිමි රටවල් ලැයිස්තුවේ තවමත් ඉහළින්ම සිටින්නේ රුසියාවය. යුද විශ්ලේෂක වෙබ් අඩවි වාර්තාවලට අනුව රුසියාව සතු න්‍යෂ්ඨික අවි ප්‍රමාණය 5977 කි. ඇමෙරිකා එක්සත් ජනපදය සතුව න්‍යෂ්ඨික අවි 5487 ක් පවතී. තවද, මෙම ලැයිස්තුවේ තුන් වැනි තැන සිටින චීනයට ඇත්තේ න්‍යෂ්ඨික අවි 350කි. ඊට අමතරව පිළිවෙළින් ප්‍රංශය, එක්සත් රාජධානිය, පාකිස්තානය, ඉන්දියාව, ඊශ්‍රායලය හා උතුරු කොරියාවද මෙකී න්‍යෂ්ඨික බලවතුන්ගේ ලේඛනයට නම ඇතුළත් කරගෙන ඇත. කෙසේ වෙතත් ලෝකය සතුව කෙතරම් න්‍යෂ්ඨික අවි ප්‍රමාණයක් පැවතිය ද තුන්වැනි ලෝක යුද්ධයක් ඇවිලීමටනම් මෙයින් එකක් භාවිත කිරීම ප්‍රමාණවත්ය. මෙකී අවි සන්තකය එකවර පිපිරුවහොත් එය පෘථිවිය එක්වරක් නොව අටවරක් අලු දූවිලි කිරීමට ප්‍රමාණවත් බව කියැවේ. න්‍යෂ්ඨික ප්‍රහාරයක් එක් පසෙකින් එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොවී තිබේ යැයි සිතීමට නොහැක. ලෝකයේ භූ-දේශපාලනික බල අරගලය ඒ තරමටම ප්‍රභලය.

රුසියානු න්‍යෂ්ඨික තුරුම්පුවක් පිළිබඳව කතාබහ උච්චස්ථානට පත්වූයේ පසුගිය වසරේ කර්ච් පාලමේ කොටසක් පුපුරා හැරීමත් සමගය. කර්ච් සමුද්‍ර සන්ධිය හරහා ඉදිකරන ලද මෙම පාලම මඟින් රුසියානු ප්‍රධාන ගොඩබිම හා ක්‍රිමියානු අර්ධද්වීපය එකට යා කරයි. යුක්‍රේනයේ සටන් කරන රුසියානු හමුදා සඳහා වැදගත්ම සැපයුම් මාර්ගය වූයේ මෙම පාලමයි. 2014 වසරේදී ක්‍රිමියාව තමන්ගේ පාලනය යටතට ගැනීමෙන් පසු ඉදිකරන ලද සැතපුම් 12 ක් දිග මෙම පාලම 2018 වසරේදී ජනාධිපති පුටින් විසින් අභිමානයෙන් විවෘත කරන ලදි. යුක්‍රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව් තමන්ගේ ට්විටර් ගිණුමේ පිපිරීමේ වීඩියෝව ප්‍රදර්ශනය කළේ මැරිලින් මොන්රෝගේ සුප්‍රකට “Happy Birthday” Mr’ President” ගීතයේ හඬ මුසු කරමිනි. මෙම පිපිරීම සිදුවූයේ රුසියානු ජනාධිපතිවරයාගේ 70 වෙනි උපන්දින සැමරුමට දිනයකට පසුවයි. “පූටින් මහත්තයෝ ඔන්න ඔහේගේ 70 වෙනි උපන් දිනයට අපි පුංචි තෑග්ගක් දුන්නා” ගින්නෙන් දැවෙන පාලමේ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සමහර යුක්‍රේනුවන් පිපිරීම සැමරුවේ එලෙසිනි. ඒ වන විට රුසියාවට ඉතාම වැදගත් සැපයුම් මාර්ගයක පිහිටි ලයිමන් නගරය ද යුක්‍රේන හමුදා විසින් නැවත අත්පත් කර ගෙන තිබුණි. රුසියාව විසින් තමන්ගෙන් පැහැරගත් ක්‍රිමියානු අර්ධද්වීපය තුළ රුසියානු බලයේ කුප්‍රකට සංකේත එකින් එක පෙරළා දමන බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් තිබුණි.

රුසියානු ජනාධිපතිවරයා පිළිබඳව සෙසු ලෝකය තුළ පවත්නා ප්‍රතිරූපය නිසාම බොහෝ අය උපකල්පනය කළේ ඒ මොහොත ඉතා ඛේදජනක අවසානයකින් නිමා වනු ඇති බවයි. කර්ච් පාලම පිපිරවීම පූටින් මහතාට කරන ලද පෞද්ගලික අපහාසයක් ලෙසත් රුසියාවට නින්දා සහගත පරාජයක් ලෙසත් බොහෝ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. නමුත් ඒ මොහොතේ පවා පන්දුව නිදැල්ලේ යැවීම පුටින්ගේ උපක්‍රමය වූ බව පෙනෙන්නට තිබේ. දැන් නැවතත් රුසියානු න්‍යෂ්ඨික ප්‍රහාරයක් පිළිබඳව උපකල්පනයකින් ලෝකය උණුසුම් වී ඇත. ඒ ජනාධිපති පුටින් විසින් තම අසල්වැසි බෙලරුසියාවේ උපායශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමේ සැලසුමක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟිනි. පූටින් මහතා පවසන්නේ බටහිර රටවල් විසින් යුක්‍රේනයට දෙනු ලබන යුද ආධාර වැඩි කිරීම නිසා ඊට අනතුරු ඇඟවීමක් ලෙස තමා මෙම තීරණය ගත් බවයි. ක්ෂය වූ යුරේනියම් අඩංගු උණ්ඩ යුක්‍රේනයට ලබාදීමට පසුගිය සතියේ බ්‍රිතාන්‍ය ගත් තීරණය නිසා මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඇමෙරිකාව විසින් බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ තුර්කිය තුළ න්‍යෂ්ටික අවි ස්ථාපිත කර ඇති නිසා තමන් ද ඇමෙරිකානු නායකත්වය අනුගමනය කළ යුතු බව රුසියානු ජනාධිපතිවරයා තර්ක කරයි.

මේ අතර ක්‍රෙම්ලිනයේ න්‍යෂ්ටික තර්ජනයට එරෙහිව යුක්‍රේන රජය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා ඇත. එක් යුක්‍රේන නිලධාරියෙකු පැවසුවේ රුසියාව විසින් බෙලරුසියාව න්‍යෂ්ටික ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්කර ගෙන ඇති බවයි. කෙසේ නමුත් බෙලරුසියාවේ වත්මන් ජනාධිපතිවරයා වූ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියානු ජනාධිපතිවරයාගේ අතිජාත මිත්‍රයකු බවට ලෝකයට රහසක් නැත. පැරණි සෝවියට් දේශය නැත්නම් ඊටත් පෙර පැවති සාර්වරුන්ගේ රුසියානු අධිරාජ්‍යය නැවත ස්ථාපිත කරන්නේනම් ලුකෂෙන්කෝ කොන්දේසි විරහිතව රුසියානු ජනාධිපතිවරයාට සහාය දෙනු ඇත.

● පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නේ පුටින්

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC‍‍) මේ මස මුලදී යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම යුක්‍රේනයෙන් ළමයින් නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පුටින් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය. නමුත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එහි වරෙන්තු බලාත්මක කිරීමට තරම් බලයක් නොමැත. රුසියාව එහි අධිකරණ බලය මායිම් නොකරයි. ඒ නිසා අදාළ වරෙන්තුව බලාත්මක කිරීමක් ගැන බලාපොරොත්තු විය නොහැක. පූටින් වෙනත් රටකට සංචාරය කළහොත් ඔහුව අත්අඩංගුවට ගැනීමට එකී රටේ ආණ්ඩුව දක්වන ලැදියාව මත සියල්ල රැඳී පවතී. නමුත් නිදාගෙන සිටින බළලාගේ කරේ මිණිගෙඩිය අටවන්න යන මීයෙකු ගැන අපට අසන්නට නොලැබෙනු ඇත.

● චීන ජනපතිගේ මොස්කව් ගමන

සාමය සඳහා වූ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශ ඇහිරෙමින් තිබෙද්දී පසුගිය දා සිදු වූ චීන ජනාධිපතිවරයාගේ මොස්කව් සංචාරය බොහෝ සෙයින් ලෝක අවධානයට ලක්විය. යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා සාම සැලසුමක් රැගෙන පැමිණි ෂී ජිං පිං මහතා සහ වැලැදිමීර් පුටින් මහතා මොස්කව් නුවරදී හමු වී පැය හතරක් තිස්සේ කතාබහ කළ බව වාර්තා විය. ඔහුගේ සාම ගිවිසුම පිළිබඳව දීර්ඝව සලකා බැලීම මෙම ලිපියේ අරමුණ නොවූවත් ඉතා වැදගත් කාරණා 12ක් ඊට අඩංගු වූ බව කිව යුතුය.

ඉරානය හා සෞදි අරාබිය යනු දීර්ඝ කාලීන පසමිතුරන් දෙදෙනෙකි. මෑතකදී චීනය මෙම සතුරන් දෙදෙනා අතර සාමයක් ගොඩනැඟීම සඳහාද මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇත. සාමය සඳහා පූටින් මහතාව යම් ආකාරයකින් හෝ එකඟ කරවා ගැනීමට හැකිනම් ඒ සඳහා දැනට ලෝකය සිටින්නේ නායකයන් දෙදෙනකු බව ලියුම්කරුගේ මතයයි. එක් අයෙක් ෂී ජිං පිං වන අතර අනෙකා අපේ අසල්වැසියා වන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිය. එබැවින් මේ මොහොතේ මේ දෙදෙනා මැදිහත් වන ඕනෑම සාම ප්‍රයත්නයක් සාමකාමී ලෝකයට යම් අස්වැසිල්ලක් ගෙන දෙනු ඇත. යුක්‍රේන ජනාධිපතිවරයා පවා ෂී ජිං පිං මහතාගේ මැදිහත්වීම පිළිගන්නා අතර ඔහුට තම රටටද පැමිණෙන ලෙස ඉල්ලා ඇත.

නමුත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ මතය අර්බුදයට කල් පවත්නා විසඳුමක් ලබාදීමට නොහැකි නම් තාවකාලික පැලැස්තර විසදුම් අවශ්‍ය නැති බවයි. එවැනි ප්‍රයත්න හේතුවෙන් යුද ගින්න නිවා දමනවා වෙනුවට සිදුවන්නේ ජනාධිපති පුටින්ට යුද්ධය සඳහා වාසිදායක වටපිටාවක් නිර්මාණය වීම පමණක් බව ඔහු පවසයි. දිගින් දිගටම වූ පසුබෑම් හමුවේ විවේක ගැනීමට සහ තම හමුදා නැවත සකස් කර ගැනීමටත්, පසුව අලුත් වටයකින් යුද්ධය ආරම්භ කිරීමටත් රුසියාවට ඉඩක් විවර වීම මෙයින් සිදුවන බව බ්ලින්කන් මහතා පවසයි. චීනයේ මැදිහත්වීම තවත් රුසියානු උපායශීලී පියවරක් බවත් ඊට සෙසු ලෝකය නොරැවටිය යුතු බවත් එසේම යුද්ධය පවත්වා ගැනීමට සහාය දෙන එවැනි පියවර හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ කාර්යභාරය පවත්නා නීති මතම රැඳී පවතිනවාද යන්න අයෙකුට තර්ක කළ හැකිය. රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් ගෞරවනීය පසුබෑම යනු විශාල ජයග්‍රහණයකි. රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් යනු සැබැවින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට එහා ගිය ගනුදෙනුවකි.

● දීර්ඝ කාලීන යුද්ධයක්

රුසියාව මේ වන විටත් දීර්ඝ කාලීන යුද්ධයකට සූදානම් වන ලෙස ජනතාවට දැනුම් දී ඇත. බොහෝ විට බටහිරට එරෙහිව පවත්නා සම්ප්‍රදායික එදිරිවාදිකම්වල දිගුවක් ලෙසම යුද්ධය පවත්වා ගැනීමට රුසියානු පාලනය කැමැත්තක් දක්වන බව පෙනීයයි. රුසියානු පාසල් පෙළපොත්වලට පවා “දේශප්‍රේමය” නව විෂයක් ලෙසින් ඇතුළත් කර ඇත. දිනන්නත් බැරි පරදින්නත් බැරි සටනකට මැදිව ඇති රුසියාව මේ මොහොතේ කල්මරන්නේ 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන තෙක්ද යන සැකය ද බැහැර කළ නොහැක. ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකකන් අපේක්ෂයා ජයග්‍රහණය කළ හොත් යුක්‍රේන- රුසියා අර්බුදයේ මානයන් වෙනස් වනු ඇත. රිපබ්ලිකකන් ජනාධිපති අපේක්ෂක සටනේ ඉදිරියෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ තමන් නැවත බලයට පැමිණිය හොත් අර්බුදය පැය 24න් විසඳන බවයි. එහෙත් ඒ සඳහා වූ ක්‍රමවේද දැනට හෙළි නොකරන බව ද ඔහු පවසයි. ට්‍රම්ප් වෙනුවට රිපබ්ලිකකන් පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත ප්‍රධාන පෙළේ සෙසු ජනාධිපති අපේක්ෂකයන් ද යුක්‍රේනය වෙනුවෙන් ඇමෙරිකාව අති විශාල මුදල් කන්දරාවක් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කර ඇත.

රුසියාව හා යුක්‍රේනය අතර ඇතිවන ඕනෑම සාම ගිවිසුමක් මේ මොහොතේ ඉතා වැදගත් වනු ඇත්තේ මේ දෙරටටත් වඩා යුරෝපයේ සෙසු රටවලටය. ඒ නිසා යම් ආකාරයක සාමයක් ඇති වීම යුරෝපයේ ආර්ථික ස්ථාවරත්වයට අතිශයින් ගුණදායකය. මේ බව තේරුම්ගත් ප්‍රංශය හා ජර්මනිය වැනි යුරෝපයේ ප්‍රබලයන් රුසියාව සම්බන්ධයෙන් ඇමෙරිකානු මතයට පරස්පර මතයක් දරන බව සත්‍යයකි. කෙසේ නමුත් පවත්නා ගිවිසුම් හා එකඟතා නිසා එක්ව කටයුතු කිරීමට බටහිර නායකයන්ට සිදුව ඇත. යුරෝපා සංගමය, යුක්‍රේනය, රුසියාව පමණක් නොව සෙසු ලෝකය පවා මෙකී යුද්ධයෙන් හෙම්බත් වී ඇත. යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වයන් වූ පූටින් හා සෙලෙන්ස්කි දෙදෙනාටම අවශ්‍ය වන්නේ ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡා මේසයට පැමිණීම බව පෙනෙන්නට ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment