තුන්වේල කන්න බැරි ජනතාව විපතින් මුදවා ගන්නවා

154

මගේ දහඩිය මහන්සිය ඊට කැප කරනවා – එජාප 76 වැනි සමුළුවේදී ජනපති කියයි
අරගලය නැති වුණාට තරුණ බලාපොරොත්තු නැති වී නැහැ

අනිකුත් ජනාධිපතිවරුන් මෙන් ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි බවත් දිය හැක්කේ දහඩිය මහන්සිය විවේචනය වුවත් ඉන් ජනතාව මුදා ගැනීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ 76 වැනි සංවත්සරයට එක්වෙමිනි.

“එක්ව රට ගොඩනගමු” යන්න මෙවර එක්සත් ජාතික පක්‍ෂයේ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය. මෙහි විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්‍ෂ සංවත්සර උත්සවයක් පවත්වනු ලැබුවේ වසර 28කට පසුව වීමය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

තුන්වේල කන්න බැරි ජනතාව විපතින් මුදවා ගන්නවා

කොරෝනා වසංගතයෙන් පසුව පක්ෂ සංවත්සරය සඳහා මෙහි පැමිණි ඔබ සැමට ස්තුතිය පුද කරනවා. අමාරු කාලයේදී ඔබ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පැමිණීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

අද අපේ පක්ෂය හැදූ නායකයන් සිහිකරනවා. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග වැනි නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා. ඒ අයගෙන් ඉගෙන ගෙන මා මෙතනට පැමිණ සිටිනවා.

මම අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහිවූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙනවා. මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් නැහැ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහය සමඟ ආණ්ඩුව ගෙන යනවා. අද අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඉතිහාසයේ මෙවැනි අර්බුදයක් තිබුණා කියා මා දන්නේ නැහැ. ආර්ථිකය කඩා වැටිලා. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය මැද මා මෙහි පැමිණ සිටිනවා.

තුන්වේල කන්න බැරි ජනතාව විපතින් මුදවා ගන්නවා

අනෙක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් මෙන් තනතුරු දෙන්න මට හැකියාවක් නැහැ. ජනතාව පීඩනයෙන් සිටිනවා. සමහර අයට තුන් වේලක් කන්නට බැරි තත්ත්වයක් තිබෙනවා. විරැකියාව ඇති වී තිබෙනවා.

මට ඔබට දීමට හැකියාව ඇත්තේ දහඩිය මහන්සිය සහ විවේචනය පමණයි. නමුත් අපේ දහඩිය මහන්සියෙන් අප සියලු දෙනා යළිත් මේ රට ගොඩ ගන්නා බවට බය නැතිව ප්‍රකාශ කරනවා.

ගිය අවුරුද්දේ අපේ සංවත්සරය පැවැත්වූයේ සූම් තාක්ෂණය ඔස්සේ. මෙරට තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරන බව මා එදා පැවසුවා. ආණ්ඩුව රට රවට්ටන බවත් කිව්වා. පක්ෂ විවේචනයට ලක්වී තිබෙන බවත් පැවසුවා. ප්‍රතිපත්ති දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙන බවත් කිව්වා. එමෙන්ම නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. අප කිසිවකු එය අනුගමනය කළේ නැහැ. අවසානයේ පීඩනය වැඩි වී මෙරට තරුණ තරුණියන් අප්‍රේල් මාසයේ අරගලය ආරම්භ කළා. එය සාමකාමී අරගලයක්. ඔවුන් දක්ෂතා පෙන්වමින් ඉල්ලීම් ඉදිරිපත් කළා. අප ඒ දක්ෂතා අගය කළා. මෙම තරුණ තරුණියන් තුවක්කු බෝම්බ නැතිව රටේ වෙනසක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. අමාරුයි නමුත් එවැනි ව්‍යාපාර හොඳ හිතින් ගෙන යෑම අසීරුයි. ඒක ඇතුළේ ප්‍රචණ්ඩත්වය මුල්කරගෙන පෙරටුගාමී සංවිධානය ඉදිරියට පැමිණියා. පසුව සාමකාමී තරුණයන් පිට වුණා.

තුන්වේල කන්න බැරි ජනතාව විපතින් මුදවා ගන්නවා
ජනාධිපතිවරයා පක්‍ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව.

පසුගිය ජූලි 9 සහ 13 අතර රටේ පාලනය නතර කර පාර්ලිමේන්තුව අරගන්න කටයුතු කළත් එය අසාර්ථක වූ විට අරගලයත් නැති වුණා. අරගලය නැති වුණාට තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු නැති වී නැහැ. මේ බලාපොරොත්තු ඉදිරියට ගෙන යනවා. මේ කාලසීමාවේදී අප විසිදෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එය සම්මත කර ගන්නවා. අප එතැනින් නතර කරන්නේ නැහැ. ව්‍යවස්ථාව තවත් සංශෝධනය කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත කරන බලය ඉවත් කරන්නට තිබෙනවා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තවත් කාරණාවක් තිබෙනවා. ව්‍යවස්ථාව අප ඒ අනුව සංශෝධනය කළ යුතුයි.

අප අධීක්ෂණ කොමිටි ආරම්භ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටත් එහි සභාපති ධුර ප්‍රදානය කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ට වගකීම් දෙන්නට තිබෙනවා. පක්ෂ නායකයන් ඒ පිළිබඳ කථානායකවරයා සමඟ සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තුවට මුදල් පාලන බලය ශක්තිමත් කර තිබෙනවා. දැනට කොමිටි තුනක් තිබෙනවා. මීට අමතරව කෝප් කමිටුව කෝපා කමිටුව මෙන්ම රජයේ මුදල් කමිටුවට අමතරව තවත් කමිටු තුනක් පත් කරනවා. රජයට ආදායම් ලබාගැනීමට, බැංකු පිළිබඳ පරීක්ෂා කිරීමට, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටු පිහිටු වනවා. පාර්ලිමේන්තුවටත් වෙනම අයවැය කාර්යාලයක් ලබා දෙනවා.

තුන්වේල කන්න බැරි ජනතාව විපතින් මුදවා ගන්නවා

මේ සියල්ලටම වඩා ජාතික සභාව වැදගත් වෙනවා. පක්ෂ නායකයන්ගෙන් යුතු මණ්ඩලයක් එකතු වී ආවරණ වැඩසටහනක් පිළිබඳව කටයුතු කරනවා. ඒ පිළිබඳව මේ සතියේ කතා කර අවසන් කරන බව අගමැතිතුමා පැවසුවා. පාර්ලිමේන්තුව මේ වැඩ කටයුතු කරනතුරු මම බලා සිටිනවා. මේ සමගම අලුත් නීති ගෙන එනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ එමෙන්ම සත්‍ය කොමිසම පිළිබඳ අලුත් නීතියක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

රජයේ තට්ටු නිවාස ලබාදීමට තවත් නීතියක් ඉදිරිපත් කරනවා. ඉඩම් වලට සින්නක්කර ඔප්පු ලබා දීමේ නීතියක් ඉදිරිපත් කරනවා.

දේශගුණ විපර්යාස අවම කිරීමේ අලුත් නීතියක් ගෙනෙනවා. යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. මේවා මර්දන ද?

සියල්ල ගෙන එන්නේ රට ශක්තිමත් කර අලුත් පාලනයක් ගෙන එන්නයි. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ජන සභා යෝජනාවයි. මේ රටේ දේශපාලනයෙන් තොරව ජනතාවට වැඩකටයුතු වලට සහභාගි වීම සඳහා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජන සභාවක් ඇති කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

මීට පෙර ප්‍රේමදාස ජනාධිපති ග්‍රාමෝදය මණ්ඩල යෝජනා කළා. එමෙන්ම දේශපාලනයෙන් තොරව ජන සභාවක් මාර්ගයෙන් නැවත ග්‍රාම නිලධාරී වසම් දාහතර දහසෙන්ම අදහස් ලබාගත හැකි, ව්‍යවස්ථාව නීති ගැන තමන්ගෙ ගම දියුණු කිරීම ගැන අදහස් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේකට ආණ්ඩුවේ සහයෝගය ලබාදෙන බව මා පැවසුවා.

කැමති නම් ඊට නීතියක් සම්මත කරගත යුතුයි. දේශපාලනය දේශපාලකයාට සීමා කළ යුතු නැහැ. අප රටේ ප්‍රධාන වැඩකටයුතු දේශපාලනයෙන් තොරව ජනතාව සමග එකතුවී කරමු. අද එම ක්‍රමවේදය වෙනස් කරන්නයි පවසනවා. තව ස්වල්ප දෙනෙක් එක්ක එකතු වී කතා කරනවාද නැතිනම් ඔබ සියලුම දෙනා එකතු කරගෙන කරනවද?

එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව මෙන්ම පක්ෂ නැති අය සියලුම දෙනා එකතු කරගෙන ගම් 14000 ම එකතු කරගෙන අප ඉදිරියට යමු.

මෙවැනි තවත් යෝජනා ගණනාවක් තිබෙනවා. එමෙන්ම අපේ ආර්ථිකය ගැන සිතිය යුතුව තිබෙනවා. විදුලි බලය නැතිව අමාරු කාලයක අප සිටිනවා. තවමත් අප එයින් ගොඩට පැමිණ නැහැ. මට ඉන්ධන පොහොර සොයා දීමට හැකියාවක් තිබෙනවා. සීමා සහිතව හෝ ආර්ථිකය ගෙන යෑමට අවස්ථාවක් සැලසිය හැකියි. ඊළඟ පියවර ලෙස මූල්‍ය අරමුදලෙන් ණය ගෙන තිබෙනවා. ණය ලබාදුන් රටවලින් සහන ගන්නට තිබෙනවා. මේ සියල්ල කරන අතර ආහාර සුරක්ෂිත වැඩසටහන අනුව අප ග්‍රාම නිලධාරී කොට්ඨාස දහහතරදාහක් වගා ව්‍යාපාරයක් ආරම්භ කර ආහාර සඳහා ගෙන යනවා. එයින් එන ආහාර හැමදෙනාටම ලබාදිය යුතුයි. කොළඹ වැනි නගර වලත් ආහාර වගා කිරීමේ සටහන් ආරම්භව තිබෙනවා.

මෙවර මහ කන්නයට පොහොර මෙන්ම ඉන්ධන ලබා දෙනවා. බීජත් ලබාදෙනවා. විශාලතම අස්වැන්න ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සියලු දෙනා එකතු වී මේ කටයුතු කරමු.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා:-

වසර 28කට පසු අපේම ජනාධිපතිවරයෙක් සමඟ එක්සත් ජාතික පක්ෂ සංවත්සරය සැමරීම පිළිබඳව ආඩම්බරයට පත් වෙනවා. ඉතිහාසයේ සිය පක්ෂයට නායකත්වය ලබා දුන් සියලු නායකයන් මෙහිදී සිහි කරනවා. අපේ ජීවය වන්නේ පාක්ෂිකයන්. පක්ෂය වෙනුවෙන් ජීවිත කැප කළ සියලු පාක්ෂිකයන් මෙහිදී සිහිපත් කළ යුතුයි. එමෙන්ම පක්ෂය වැටී තිබූ අවස්ථාවේ පක්ෂය අතහැර නොගිය ඔබ සැමට ස්තුතිය පළ කරනවා. අපේ නායකයන් මේ පක්ෂය

ගොඩනැගුවේ අපේ රට ලෝකයට හඳුන්වා දීමටයි. අපේ පැරණි සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන අපේ නායකයන් විසින් රට ලෝකයට විවෘත කළා.

අප කිසිවිටෙක ජාතිවාදයට හෝ ආගම්වාදයට නතු වුණේ නැහැ. අප කිසිවිටෙක අන්තවාදයට හිස නැමුවේ නැහැ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා:-

මේ වේදිකාවට එන විට මට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැහැ. මම නැවත තාත්ත ළඟට පැමිණි බව අද මට තේරුණා. එක්සත් ජාතික පක්ෂය ආරම්භයට පත් වුණේ ලංකාවේ විශාල අභියෝගයක් පැවති සමයකයි.

මා සැමවිටම දේශපාලනය කලේ අභියෝග සමඟයි. අභියෝගය භාරගත් නායකයාගේ පිටුපස සිට ගැනීමට මට අවශ්‍ය වුණා. ජනාධිපතිතුමා ආරම්භ කළේ පාර්ලිමේන්තුවේ තනි මිනිසෙකු ලෙසයි. දේශපාලනයේදී ආසයි බයයි වෙන්න බැහැ. දේශපාලනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසත් නැති වූ විට තවත් නැති වන්නට දෙයක් නැහැ.

වැරදි තීන්දු නිසා නිධානයක් උඩ හිඟා කන රටක් බවට පත්ව තිබෙනවා. අපි ස්වකැමැත්තෙන් ආවේ එතුමා තනි කරන්නට බැරි නිසයි. සමහරුන් නෙල්සන් මැන්ඩෙලා, ලීක් වාන් යූ ලා හෙව්වා. අපට දැන් අවශ්‍ය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ කෙනෙක් පමණයි. මේ අභියෝගය පහසු එකක් නොවේ. මේ වගේ අභියෝග තීන්දු ගන්නට කොන්ද අවශ්‍යයි. රට ස්ථාවර කරන්න නොදෙන අයට එරෙහිව අප හෙට අනිද්දාම දෙවන අරගලය ආරම්භ කරනවා. මේ රට හරි පාරට ගැනීම ජනාධිපතිට බාරයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා:-

අද දවස රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට සන්ධිස්ථානයක් වන දිනයක් බව කිව යුතුයි. රටට නිදහස ලබා ගැනීම සඳහා ලංකා ජාතික ව්‍යාපාරයෙන් ඇරැඹුණු ව්‍යාපාරය පසුව එක්සත් ජාතික පක්ෂය ලෙස එකතු වුණා. සියලු ජාතීන් එකතු වී එම එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවා.

නිදහස් සටන ජය ගත්තෙත් එකමුතුකම නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැමවිටම ප්‍රකාශ කරන්නේ එකමුතුකමින් සියල්ල ජයගත හැකි බවයි. අරගලයෙන් මතුවුණු හොඳ දේවල් ජනපති නිතර සිහි කරනවා. නමුත් එවැනි අරගලය නීති විරෝධී තැනකට ගමන් කළා. එය වැරදි ක්‍රියාවක්.

මෙම අවස්ථාවට අගමැතිවරයා, මැතිඇමැතිවරු සහ පාක්‍ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

චමින්ද සිල්වා
ඡායා – නිෂාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment