තුන් ඉරියව්වෙන්ම දුර්වලවීම පරාජයට  හේතු වුණා

300

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කියයි

පිතිහරඹයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද ප‍්‍රදර්ශනය කළ දුර්වලතා හේතුවෙන් ඉන්දියාවට එරෙහි පැවති ටෙස්ට් තරගාවලියෙන් පරාජයට පත්වීමට සිදු වූ බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ඊයේ (17 වෙනිදා) ප‍්‍රකාශ කළේය.

ටෙස්ට් තරග දෙකකට සහභාගි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ අලූයම කටුනායක ගුවන්තොටුපළින් ශ‍්‍රී ලංකාවට පැමිණි අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායකයා එසේ පවසා සිටියේය.

එම තරගාවලියේ පැවැති ටෙස්ට් තරග දෙකම දින තුනක් තුළ පරාජයට පත්වූ අතර එසේ කෙටි කාලයක් තුළදී තරග දෙකම අවසන් වීම කනගාටුවට කරුණක් විය.

දිමුත් පවසන පරිදි ශ‍්‍රී ලංකාව මෙම තරගාවලිය තුළදී පිත්තෙන් සහ පන්දුවෙන් යන දෙඅංශයෙන්ම දුර්වල වූ අතර ඉනිම් හතරක් තුළදී කණ්ඩායම ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලබා ගත් ලකුණු 208 පමණි. ටෙස්ට් ඉනිම් හතරක් තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමා ඉක්මවා ගිය පළමු අවස්ථාව එය වූ අතර එම ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න ශතකයක් ලබා ගත්තේය.

සත්කාරක ඉන්දියාව ඉනිම් තුනක් තුළදී පමණක් ලකුණු 500 සීමාව ද ලකුණු 300 සීමාව ද දකුණු 250 සීමාව ද ඉක්මවා යන්නට සමත් විය.

තරගාවලියේ එක් තරගයක් හෝ ජයග‍්‍රහණය කිරීමේ අදහසින් තමන් ඉන්දියාවට ගිය බවත් එහෙත් පන්දුවෙන් සහ පිත්තෙන් ප‍්‍රදර්ශනය කළ එම දුර්වලතා හේතුවෙන් එක් තරගයක් හෝ ජයග‍්‍රහණය කිරීමට කණ්ඩායමට නොහැකි වූ බවද ශ‍්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

‘‘තරගාවලියේ එක් තරගයක්වත් ජය ගැනීමට අපට නොහැකි වුණා. අපේ පැත්තෙන් සෑහෙන දුර්වලකම් සිදු වුණා. ඉදිරි තරගාවලිවලට පෙර ඒවා හදාගන්න ඕන.’’

කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් මේ පරාජයත් සමග සිදු වනවාදැයි එහිදී මාධ්‍යවේදියකු දිමුත්ගෙන් විමසා සිටි අතර දිමුත් ඊට පිළිතුරු ලෙස පැවසූයේ එය තේරීම් කමිටුව සතු තීරණයක් බවත් ඔවුන්ට වෙනත් නායකයෙකු අවශ්‍ය බව දැනෙනවා නම් තමන්ව ඉවත් කර සුදුසු අයෙකු ඒ සඳහා පත් කර ගත හැකි බවද ඊට තමාගේ කිසිදු විරෝධතාවක් නොමැති බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු විසින් සුරංග ලක්මාල් වෙත බැණ වැදීමේ සිද්ධියක් ද වාර්තා විණි. තම අවසන් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී දිවයිනට පැමිණි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නා ඊට පිළිතුරු ලෙස මාධ්‍යයට පැවසූයේ ඔහු දොස් කීවද ශ‍්‍රී ලංකාව යනු ඉතා හොඳ පේ‍්‍රක්ෂකයන්ගෙන් යුතු රටක් බවත් හැමදාම ඔවුන්ගේ සහාය කණ්ඩායමට ලැබුණු බවත් ය.

advertistmentadvertistment
advertistmentadvertistment