තුන් කල් දුටු ඉසිවර දැක්ම මාර්ටින් වික්‍රමසිංහ

582

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 133 වැනි ජන්ම දිනය සමරන හෙට (2023 මැයි 29) වනවිට රටේ අධ්‍යාපනය ප්‍රමුඛ ජනතාවට බලපාන ක්ෂේත්‍ර ගණනාවක විවිධ ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවතී. ජාතියේ අනාගතය පිළිබඳ තීරණාත්මක මේ ප්‍රතිසංස්කරණ සැකසීමේදී කුශාග්‍ර බුද්ධිමතුන්ගේ ප්‍රඥාලෝකය අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

කොග්ගල මහා ප්‍රාඥයා යනුවෙන් හඳුන්වනු ලැබූ මාර්ටින් වික්‍රමසිංහ වූ කලි අපේ ජාතික ලේඛකයාය. භාරතයේ ජාතික ලේඛකයා මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් තුමාය. බි්‍රතාන්‍යයේ ජාතික ලේඛකයා ශේක්ස්පියර්ය. රුසියාවේ ජාතික ලේඛකයා නිකොලොයි ගොගොල්- පුෂ්කින් හෝ මැක්සිම් ගෝර්කිය. එනයින් බලන කල අපේ ජාතික ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ බවට වාදයක් නැත්තේය.

සිංහල සාහිත්‍ය නිර්මාණයෙහි ගුණාත්මක වර්ධනය කෙරෙහිද, මෙරට විධිමත් සාහිත්‍ය විචාර මාර්ගයන් නිර්මාණය කිරීමෙහිද නිර්මාණකරණයටත් විචාරයටත් පිරිමැසෙන වාග් කෝෂයක් නිර්මාණය කිරීම කෙරෙහි ද ඔහුගේ දායකත්වය විද්වතුන්ගේ අවධානයට ලක්වී ඇත.

වික්‍රමසිංහ සිය පූර්ණ ජීවිත කාලය ගත කළේ මේ මාහැඟි කාර්යය උදෙසාය. මේ සඳහා හෙතෙම සිංහල ජාතියේ ආධ්‍යාත්මය මැනවින් අධ්‍යයනය කළේය. ඒ බවට ඔහුගේ ලිපි ලේඛන වලින් ඕනෑ තරම් සාධක සොයා ගත හැකිය.

මාර්ටින් වික්‍රමසිංහිසිංහලයන්ගේ ආවේණික උරුමය හා භික්ෂූන් වහන්සේලා’ යන හිසින් විශේෂ ලිපියක් ලියයි. ඒ 1958 දී පළ කළ සංස්කෘති – මාර්ටින් වික්‍රමසිංහ අංකයටය.

“ සිංහලයන්ගේ ආවේණික උරුමය නමින් මා මෙහිලා හඳුන්වන්නේ බුදු දහම- සිංහල බස- සාහිත්‍යය- පිළිම සිත්තම් කලා- සිරිත් විරිත්- කෑම බීම- ඇඳුම් පැළඳුම් හා මෙකල දේශපාලනය නමින් හැඳින්වෙන පාලනය- රාජකාරිය හා අර්ථ ක්‍රමය ද ඇතුළු තවත් දේය. අපේ උරුමයෙහි ඇතුළු වන මේ සියලු අංගෝපාංග එක්කොට ගෙන මෙකල “සිංහල සංස්කෘතිය” නමින් හඳුන්වනු ලැබේ.

අපේ උරුමය සමුදයාර්ථයෙන් ගෙන තර්කානුකූලව හැඳින්වීමට ඒ පද දෙක ඉතා මැනවැයි මට හැඟේ. සිංහලයන් විසින් සකස් කරනු ලැබූ හැමදේම වාගේ ඒ දෙපදයට හසුවන බැවිනි.

සිංහලයන්ගේ උරුමය නමින් හැඳින්වෙන ඒ කිසිවකට පිටිපසින් වෙනස් නොවන ආත්මයක් හෝ ආත්මවාදයක් හෝ නැතිය. චතුරාර්ය සත්‍යය නමින් හැඳින්වෙන බුදු සමයෙහි හරය හැර අනිත් සියල්ලම විපරිණාම ධර්මයට යටත් වෙයි.”

මේ වූ කලි ප්‍රාඥයෙකුගේ ප්‍රකාශයකි. බුදු සමය ප්‍රමුඛ සමය සමයාන්තරද දර්ශන දර්ශනාන්තරද මාක්ස්වාදයද විද්‍යාවද දත් මාර්ටින් වික්‍රමසිංහ තර්කානුකුල චින්තකයෙකු වන ලකුණු පහළ කළේ, විසි හැවිරිදි වියේදි බවට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා කළ සඳහනකින් හෙළිවෙයි.

‘සත්ත්ව සන්තතිය පළමුවෙන්ම ප්‍රසිද්ධ කර ඇත්තේ වර්ෂ 1934 දීය. එහෙත් එම පොත ලිවිමට ආරම්භ කරන ලද්දේ ඊට වසර විසි ගණනකට උඩදි යැයි වික්‍රමසිංහ මහතා වරක් මා සමඟ කීවේය.’

ඉනික්බිති ඔහු පවසන්නේ නවීන විද්‍යාවන් සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් පළමුවෙන්ම ක්‍රමානුකුලව ලියා ඇති පොත සත්ත්ව සන්තතිය වශයෙන් සැලකිය යුතු බවයි.

වික්‍රමසිංහයන් තුළ යමක් ගැන අපක්ෂපාතීව තර්කානුකුල ලෙස සිතා නිගමනයකට පැමිණීම සිංහලයාට නුහුරු දෙයක් බවත් යතාභූතය හෙවත් යමක ඇති සැටිය දැනගැනීම ඉතාම උසස් අධිගමය බැව් උගන්වන බුදුන්ගේ ධර්මයම උරුමක්කාරකම් තියෙන සිංහලයා සැම දෙයක් ගැනම නොගැඹුරු ලෙස සිතන්නෙකු වී සිටීම අභාග්‍යයක් බවද අදිකාරම් මහතා අවධාරණය කරයි. එම සඳහන ඔහු කරන්නේ 1962 නවලෝකය මාර්ටින් වික්‍රමසිංහ කලාපයට “තර්කානුකුලව සිතීමට මඟපෑදු චින්තකයා” යන හිසින් ලිපියක් ලියමිනි.

සිංහල සාහිත්‍ය නිර්මාණයෙහි ගුණාත්මක වර්ධනය කෙරෙහිද මෙරට විධිමත් සාහිත්‍ය විචාර විධීන් නිර්මාණය කිරීමෙහිලා වික්‍රමසිංහගේ දායකත්වය අන් කිසිදු ලේඛකයකු අතින් සිදුවි නැත.

බටහිර සාහිත්‍ය ගැන මෙන්ම භාරතීය විචාර සිද්ධාන්ත ද උපයෝගී කරගෙන චිරාගත සාහිත්‍යය මෙන්ම නූතන සාහිත්‍යය ද කිරා මැන බැලිමට ව්‍යවහාර කළ හැකි විචාර මාර්ගයක් පාදා දුන්නේ වික්‍රමසිංහයන්ය. එපමණකුදු නොවේ. සාහිත්‍ය විචාරය සඳහා භාවිත කළ හැකි ඊට උචිත වාග් මාලාවක් නිර්මාණය කළේද ඔහුය.

මාර්ටින් වික්‍රමසිංහ වර්තමාන මධ්‍යම පන්තිය ගැඹුරු ලෙස වටහා ගත් එකම කලාකරුවා ලෙස හැඳින්වීම යුක්ති යුක්තය. මධ්‍යම පාන්තික ජීවිතය – සිතුම් පැතුම් මානසික ප්‍රතික්‍රියා අපූරු ප්‍රතිභාවකින් විනිවිද දකින්නට සමත් වි ඇත. එමෙන්ම මනුෂ්‍යයාගේ යහපත් අයහපත් සියලු ගුණාංග දෙස මානව දයාවෙන් යුක්තව අවලෝකනය කිරීම ඔහුගේ විශේෂත්වයයි. මේ බව ගම්පෙරළිය- කලියුගය- යුගාන්තය සහ විරාගය විචාරාත්මකව කියවන කවරෙකුට වුවද වැටහී යනු ඇත.

ගම්පෙරළිය මහගෙදර පිරිහීම හා බිඳ වැටීම පිළිබිඹු කරන අතර, කලියුගය හා යුගාන්තය පිළිබිඹු කරන්නේ මධ්‍යම පන්තියේ නැඟීමයි.

වික්‍රමසිංහට පෙර නවකතා ලියූ පියදාස සිරිසේන හෝ ඩබ්ලිව්. ඒ සිල්වා මැවූ චරිත සමාජයේ උපන් චරිත නොවේ. ඒවා මුල් රහිත ඕපපාතික චරිතය. පියදාස සිරිසේන සැබෑ බටහිර ආක්‍රමණය හෝ විජාතීකරණය වැනි ව්‍යසන ගැඹුරින් වටහා ගත් බවක් නොපෙනේ.

ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ නවකතාද නිසරු විනෝදය සම්පාදනය පිණිස ලියූ ඕපපාතික චරිතයෝ වූහ. එම නවකතා හුදු සිහින ලෝක බැවින් තත් කාලීන සමාජය හෝ තත් කාලීන සමාජගත චරිත පාඨකයාට හමු නොවේ.

“අමරණීය යෞවනය සොයා හිමාලයටත් ක්ලියෝපැට්රාගේ සුරතලා වූ (සර්පයාගෙන්) ගැලවීමට ‘දෙයියන්ගේ රට සිටන් දිව ගිය දහහත් හැවිරිදි මට 1944 දී පිටිසර බද කුඩා ගමක සිදුවූ පෙරළියක් ගැන අසන්නට දකින්නට ලැබිණ. සුරංගනා ලෝකයේ සැරිසැරූ මට මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය එදා ඉතා රසවත් විය. මා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යව සිටි තිලක් රත්නකාරය.’

1958 දී සංස්කෘති මාර්ටින් වික්‍රමසිංහ අංකයට ‘ගම්පෙරළිය පෙරළිය’ යන හිසින් ලියූ ලිපිය ආරම්භ වන්නේ එලෙසිනි.

වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියෙන් ආරම්භ වන කලාත්මක නවකතාකරණය වර්ධනය කරන ලද්දේද ඔහු විසිනි. ගම්පෙරළිය, කළියුගය හා යුගාන්තය ගම්පෙරළියේ ආරබ්ධ සමාජ පරිණාමය පිළිබඳ වෘත්තාන්තයේ දිගුවයි.

“ගම්පෙරළියේ සෑම පිටුවකම පාහේ කිසියම් සමාජ දර්ශනයක් ගැබ් වී ඇත. එනම් කිසියම් සමාජයක වසන්නවුන්ගේ චරිත -අදහස් උදහස්- හැඟුම් කෙටියෙන් කියතොත් මුළු ජීවිතයම ආර්ථික බලවේගයන් අනුව හැඩ ගැසෙන බවයි. ඒ ආර්ථික බලවේගයට හසුවූවන්ට ගැලවීමක් නොමැත්තේය. බොහෝ විට ඔවුන් නොදැනුවත්වම ඒ බලවේගයට අනුව හැඩ ගැසෙයි. එසේ හැඩ ගැසීමට නොහැකි අය ඒ බලවේගය නිසාම විනාශයට පත්වෙති. මේ ගැඹුරු සමාජ ධර්මය ද ගම්පෙරළියේ ගැබ්වි ඇත්තේ යැයි අර්ථශාස්ත්‍රය පිළිබඳ කථිකාචාර්යවරයකු වන තිලක් රත්නකාර පෙන්වා දෙයි.

ගම්පෙරළිය- කළියුගය- යුගාන්තය ප්‍රමුඛ මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය කෘති පරිශීලනය නවීකෘත සිංහල සමාජය අර්ථ සම්පන්නද? ගම්පෙරළිය වැනි කෘතියක් දීර්ඝ කාලයක් උසස් විභාගවලට නිර්දිෂ්ට ග්‍රන්ථයක් වීම පිළිබඳ අපවාද සාධාරණද?

ඊට දියයුතු හොඳම පිළිතුර මට හමු වූයේ ගුණසේන විතාන සහ කේ. ජී. කරුණාතිලකගේ සංස්කාරකත්වයෙන් පළවූ ‘මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන’ ලිපි සංග්‍රහයට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ ‘මාර්ටින් වික්‍රමසිංහ හා අද්‍යතන සමාජයීය ප්‍රශ්න’ යන ලිපියෙනි.

“…අපට අද දවසේ මුහුණ පාන්නට සිදුවී තිබෙන ප්‍රශ්න අවම කර ගැනීමටත්, ඒවාට පිළිතුරු සැපයීමටත් වුවමනා නම් ඊට ඉතාමත්ම හොඳ මඟ වික්‍රමසිංහ මහතාගේ පොත පත පෙරළා ඔහුගේ අදහස් පුනරාවර්ජනය කිරීම වෙයි. මේ වූ කලි වික්‍රමසිංහ මහතාට පිරිනැමිය හැකි අතිමහත් බුහුමන ද බව කිවමනාය. අර්ධ ශතවර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ අපේ සමාජ ප්‍රශ්න දෙස හැම අංශයකින්ම බලා ඔහු විසින් ඉදිරිපත් කරන ලද විග්‍රහාත්මක දර්ශනය අද දවසට පමණක් නොව, මතු අනාගතයටත් අපට මාර්ගෝපදේශ වන්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ යැයි සිතමි.

අද අප සමාජයට සිදුවී ඇති විපත්තියේ පෙර නිමිති අවුරුදු ගණනකට ඔබ්බෙහි වුවද දක්නට තිබිණ. වික්‍රමසිංහ මහතා ‘මිරිඟු දිය’ නවකතාව ලියුවේ ස්වකීය සංස්කෘතියේ සාරධර්මවලට පිටුපා බටහිර සංස්කාතිය නමැති මිරිඟුව ඔස්සේ ගොස් තම ජීවිත නාස්ති කර ගත් පන්තියක් විවේචනය කරනු පිණිසය. මිරිඟු දිය දැන් කියවන්නෙකුට පෙනෙන්නේ එය අද්‍යතන සමාජය ඇසුරු කොට ලියූවක් සේය. බටහිරට ගැතිවූ ඒ ඉහළ පන්තිය දැන් හිස ඔසවා ඇත. එකල ධර්මපාල තුමාගේත් පියදාස සිරිසේන ගේත්, වික්‍රමසිංහගේත් විවේචනයට ලක්වූ පන්තියට වෙනස් කිසියම් සංස්කෘතියක් තිබිණ.

සරච්චන්ද්‍රයන් කියන්නේ අද බටහිර ගැතිව සිටින පන්තියට සැබෑ බටහිර සංස්කෘතියක් පවා අහිමි වී ඇති බවයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය ලිපි අධ්‍යයනයෙන් නවීනත්වය යන සංකල්පයේ සැබෑ අර්ථය වටහා ගත හැකි බවයි. ඔහුට විද්‍යාත්මක සංකල්පනාවකින් යුත් නවීනතම මනසක් තිබිණ. නිර්මාණාත්මක ලේඛකයින් අතර ඔහු කැපී පෙනෙන්නේ එහෙයිනි.

1924 ලියූ ‘ගැහැනියක්’ සහ 1937 ලියූ ‘පව්කාරයාට ගල් ගැසීම’ කෙටි කතා සංග්‍රහ ඔස්සේද 1925 ලියූ ‘මිරිඟු දිය’ 1944 ලියූ

‘ගම්පෙරළිය’ 1957 ලියූ ‘කලියුගය’ 1949 ලියූ ‘යුගාන්තය’ 1956 ලියූ ‘විරාගය’ හා 1973 ලියූ ‘බවතරණය’ ආදී සියලු කෘති ඔස්සේ සැබෑ සමාජයේ ජිවමාන චරිත ද ඔවුන්ගේ මනෝභාවයන් ද ගැඹුරින් විශ්ලේෂණයට ලක් කළේය. සැබැ ජීවන අත්දැකීම් ආශ්‍රයකොට ගෙන මනුෂ්‍ය චිත්ත සන්තානයේ යථාර්ථය විශද කර දැක්වූයේය. එසේම ඔහුගේ තුන් ඈඳුතු නවකතාව ඔස්සේ වැඩවසම් සමාජයේ බිඳ වැටීමත්, ධනවාදයේ නැඟීමත් අපූර්වාකාරයෙන් පිළිබිඹු කළේය.

ඔහුගේ චරිත විශ්ලේෂණයේ තියුණු බවට හොඳම නිදසුන විරාගයේ අරවින්දගේ චරිතයයි. සෑම විචාරකයකු විසින්ම අගය කරනු ලැබූ අරවින්දගේ චරිතයේ ගති සොබාව වටහා ගැනීමට හොඳම සාක්ෂිය වන්නේ තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ එනමින් යුතු චිත්‍රපටයේ අරවින්දගේ චරිතය හැදෑරීම උදෙසා ප්‍රවීණ නළු සනත් ගුණතිලක දැරූ පරිශ්‍රමය පැවසෙන ‘හදවිල මත පිපි අරවින්දය- අරවින්දට පණ දුන් සනත් ගේ කතාව’ කෘතියයි.

මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යකරණයේ නියැළුණේ බෞද්ධ යථාර්ථවාදයත්, සාහිත්‍යයේ යථාර්ථවාදයත් මහත් කොට සලකමිනි. ජනතාවගේ සභ්‍යත්වයත්, බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔහුගේ නිර්මාණ මහත් සේ උපකාරි වේ.

“සාහිත්‍යය වූ කලි සභ්‍යත්වයේ වැඩිම බස දන්නවුන්ට ඇසෙන සේ කියන්නකි” යනු වික්‍රමසිංහගේ කියමනකි.

විදේශීය ආක්‍රමණ නිසා අප විසින් අහිමි කර ගන්නා ලද “අපේ ජාතික හැඳුනුම්පත” හෙවත් අනන්‍යතාවය අපට පාදා දුන්නේ වික්‍රමසිංහය. අපරදිගින් මෙන්ම පෙරදිගින් ද සේන්දු වුණු සාටෝපකාරි ගුණාංග බැහැර කර යථාර්ථවාදී රීතිය තහවුරු කළේ වික්‍රමසිංහ ය. දැනුමින් දිළිඳුව සිටි ජනතාව නව දැනුම සොයා යන්නට ජනතාව යොමු කළේ වික්‍රමසිංහ ය. නිමග්නව සිටි මුග්ධභාවයෙන් මිදෙන්නට, තර්ක බුද්ධිය අවදි කරන්නට මතක් කර දුන්නේ වික්‍රමසිංහ ය. අපේ ජන බසේ -ජන සංස්කෘතියේ හරවත් භාවය වටහා දුන්නේ වික්‍රමසිංහ ය. කොටින්ම ජාතියේ ආධ්‍යාත්මය ස්පර්ශ කර අපේ ඇස් පෑදුවේ වික්‍රමසිංහ ය.

එනයින් තුන් කල් දුටු ඉසිවර දැක්මකින් යුත් කොග්ගල මහා ප්‍රාඥයා අපේ ජාතික ලේඛකයා බවට වාදයක් ඇතැයි නොසිතමි.

තිලකරත්න කුරුවිටබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment