තුන් වේලෙන් – දෙවේලට දෙවේලෙන් – එක් වේලට ජනතාව ඇද දැමූ බඩු මිල

143

අපි කන හැටි දැන් ලිපවත් දන්නේ නෑ

ගෙදරක මූලික අඩිතාලම පියාය. පියා විසින් ගන්නා තීන්දු තීරණ මත මුළු පවුලේම ඉරණම තීරණය වේ. පියා වැරදි තීරණයක් ගනු ලැබුවහොත් එයින් මුළු පවුලම විනාශ වේ. පියා තීරණ ගත යුත්තේ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතාය. මේ දහම නිවසට මෙන්ම පාසලකට, ආයතනයකට, මෙන්ම රටටත් පොදුය. ප්‍රධානියා ගන්නා තීන්දු තීරණ මත මුළු රටක අනාගතය තීරණය වේ. දැන් අප භුක්ති විඳිමින් සිටින්නේ එවන් අමනෝඥ තීන්දු තීරණවල ප්‍රතිඵලය. දේශපාලන නායකයන් විසින් ගනු ලැබූ වැරදි තීරණ නිසා විනාශ වන්නේ අද දවස පමණක් නොව උපනූපන් පරම්පරා ගණනක්ද ඊට වන්දි ගෙවිය යුතුය. අද වන විට රටේ ජනතාවට වැඩිපුරම දැනෙන ප්‍රශ්නය වී ඇත්තේ එදාවේල හරිහම්බකර ගන්නේ කෙසේද? එලෙස දුක් මහන්සියෙන් හම්බකර ගන්නා මුදලට සරිලන ලෙස වෙළෙඳ පොළේ ගැනීමට භාණ්ඩ තිබේද? එදා වේල පමණක් යන්තමින් ගැට ගසා ගන්නා ජනතාව අද පත්වී ඇති තත්ත්වය කුමක්ද? අප මේ පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ නගරය අවට තැන් කිහිපයකම සංචාරය කළා. පහතින් පෙළ ගැසෙන්නේ එහිදී දැක ගැනීමට ලැබුණු ජනතාවගේ දුක්ඛදෝම නස්සයන් සහ ඊට බලපෑ හේතු සාධකය.

මේ නිර්ලජ්ජී දේශපාලනඥයන් මේ වන විට රට ඇද දමා ඇති තත්ත්වය වටහා ගැනීමට මේ මොහොත වන විට රටේ බඩු මිල ඇති තැන තේරුම් ගැනීම වුව ප්‍රමාණවත්ය. එය තේරුම් ගැනීමට මේ මොහෙත වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් විමසා බලන ලෙස අප ඔබට කියමු.

එළවළු මිල

මාළු මිරිස් රු:890

කැරට් රු:850

දෙහි රු:950

අමු මිරිස් රු:900

ලීක්ස් රු:320

බීට් රූට් රු:600

තුඹ කරවිල රු:1360

වැටකොළු රු:550

දඹල රු:660

මෑ කරල් රු:460

තක්කාලි රු:890

ලොකු ලූනු රු:290

මාළු මිල

ලින්නා රු:1400

ලේන පරව් රු:1440

දැල්ලා රු:2130

අලගොඩුවා රු:1230

ඉස්සා රු:1690

කරවල මිල ගණන්

හාල් මැස්සන් රු:3000

බලයා රු:2400

කට්ටා රු:3400

තලපත් රු:3600

කීරමින් රු:3000

මුලින්ම විමසා බැලීමේදී පෙනී යන්නේ බඩු මිල වැඩි වීමට මූලිකම හේතුව රටේ ගොවි ජනතාව අමතක කර සීත කාමරවල සිට ගත් මෝඩ තීන්දු තීරණ බවය. මේ ආණ්ඩුව මුල සිටම සිට ගත්තේ ව්‍යාපාරික ප්‍රජාව පැත්තේය. ව්‍යාපාරිකයන් සැනසීමට අති විශාල බදු සහන දුන්නත් ඉන් සත පහක වාසියක් සාමාන්‍ය ජනතාවට ලබාදුන්නේ නැත. රුපියල් 80-85 ට තිබුණු සීනි මිල විශාල ලෙස ඉහළ යෑම පමණක් සිදුවිය. සුදු ලූනුවලට සිදුවූයේද එයම ය. මෙවැනි තකතීරු තීරණ නිසා රටේ ජනතාව විඳින්නේ අපමණ දුකකි.

තුන් වේලෙන් - දෙවේලට දෙවේලෙන් - එක් වේලට ජනතාව ඇද දැමූ බඩු මිල

ජනතාව විඳින පීඩාව ගැන නිහාල් ප්‍රේමසිරි මහතා පැවසුවේ මෙවැන්නකි. ආණ්ඩුව රසායනික පොහොර සහ කෘමිනාශක ගෙන්වීම නතර කිරීමත් සමග මෙරට කෘෂිකර්මාන්තය වළපල්ලටම ඇද වැටුණා. කාබනික පොහොරවලින් විතරක් වගාකරන්න බැහැ. මේක තේරුම් ගන්න තරම් මොළයක් ආණ්ඩුවට නැද්ද? නැත්නම් ඇහුණේ නැති ගානට ඉන්නවද? අපි පෝලිම්වල ඉන්නකොට සමහරු කෝටි ගණන් වටිනා වාහනවලින් පෝලිම්වල ඉන්න අය දිහා උපහාසයෙන් බල බලා හිනාවෙවී යනවා. ඔවුන්ගේ වාහනවලට තෙල් කොහෙන්ද? ඒ අයට මේ ප්‍රශ්න නැද්ද? ඔවුන් පෝලිම්වල ඉන්නේ නැද්ද? මේ වාහනවල තෙල් වැඩකරන්නේ ලීටරයට කිලෝ මීටර් 2-3 යි. මේවා සීමා කළ යුතුයි. පාර්ලිමේන්තුවේ 225 ට මේ ප්‍රශ්න බලපාන්නේ නැද්ද? අපි විතරද දුක් විඳින්න ඕනෙ. ඔවුන් කැපකිරීමක් කරන්නේ නැද්ද? අපි මොකක්ද කරපු වරද?

අද වන විට මෙරට සුපිරි වෙළෙඳ සල් ජාලය තුළ සහ සාමාන්‍ය වෙළෙඳ පොළේ භාණ්ඩ අතර මිලෙහි වෙනසක් නොමැති තත්ත්වයට පැමිණ ඇත. ඒ වගේම සෑම භාණ්ඩයකටම පාහේ පෝලිමක් නිර්මාණය වී ඇත. සහල් මිලට ගන්න ගියත් පෝලිමය. කිරිපිටිද පෝලිමේය. ගෑස්වටද එම ඉරණමය. පෝලිම් දැන් ජනතාවට හොඳට හුරු පුරුදුය. එය ජීවිතයේ එක් අංගයක් වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය දැඩිව බලපා ඇත්තේ කොළඹ මහල් නිවාස සංකීර්ණවල ජීවත්වන ජනතාවටය. මේ පිළිබඳ සොයා බැලීමට අපි මුලින්ම මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ගියෙමු. බඩුමිල පිළිබඳ මුලින්ම අදහස් දැක්වූයේ ෆාතිමා මහත්මියයි. මහත්තයෝ අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. අපිට එළවළුවක් බතක් උයාගන්න ගෑස් ටිකක් නැහැ. ගෑස් ගන්න දවස් ගණන් පෝලිම්වල ඉන්න වෙලා. කරන්න දෙයක් නැතිම තැන භූමිතෙල් ළිපක් ගත්තා. ඒකත් කූට කඩකාරයෝ එකට එකක් මිල වැඩි කරලා. මුලදී භූමිතෙල්වලින් යන්තම් උයා පියා ගත්තා. දැන් ඒක කරන්න විදිහකුත් නැහැ, භූමිතෙල් නැති නිසා. මුන්ට තේරෙන්නේ නැද්ද මහත්තයෝ අපි කන්නෙ බොන්නෙ කොහොමද කියලා. පොඩි උන් කිරි ඉල්ලලා අඬනවා. මම ගෑස් පෝලිමේ, මහත්තයා තෙල් පෝලිමේ. මහත්තයා ත්‍රීවීල් එළවන්නේ. ඒකත් කරගන්න විදිහක් නැහැ. රුපියල් 90-100 තිබුණු හාල් 200 – 210 ට නැග්ගා. දැන් 260-270 යි. එළවළු දිහා බලන්න බැහැ. ඉස්සර කිලෝ එකම 100-150 ට තිබුණු ඒවා දැන් 1000 ට කිට්ටු කරලා. දැන් වෙලා තියෙන්නේ කන්න නෙවෙයි ලෙවකන්න.

ඊළඟට අපට හමුවූයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු වන සමන් කාරියවසම් මහතාය.

මම දැන් දවස් තුනක් තිස්සේ තෙල් පෝලිමේ. ගෙදරින් කතා කරල කියනව හාල් නැහැලු, කරවල නැහැලු, පොල් නැහැලු. මොනව ගෙනි යන්නත් සල්ලි එපෑය මහත්තයෝ. ගිය මාසේ 200 ට තිබුණු හාල් දැන් 260 – 270 යි. හඳෙන් හාල් ගෙනාවත් මෙච්චර වැඩිවෙන්නේ නැහැ. මෝල්කාරයො ඒකත් උන්ගෙ වාසියට හරවගෙන. කරවල කෑල්ලක් කන්න නැහැ. මාළු කෑල්ලක් කන්නත් නැහැ. රුපියල් 100-150 ට තිබුණු සාලයොත් දැන් 600-700 යි. ළමයි අහනව තාත්තේ මාළු දැන් අපේ ගෙදරට ගේන්නේම නැද්ද කියලා. මාළු තියා මහත්තයෝ ලෙඩ එළවළු කියන පතෝල, වැටකොළු එක්කවත් කන්න පුළුවන්ද? ඒවත් දැන් 500-550 යි. මේවට වගකියන්න ඕන මේ රට පාලනය කරන 225 ම. ඒ ගොල්ලන්ට වාසියක් නම් ඒවට හැමෝම එකතු වෙනවා. අපිට තමයි ඔක්කොම කතා. මම දැන් මාස ගාණක ඉඳන් තෙල් පෝලිම්වල ඉන්නවා. කොයි ඇමැතිගේ වාහනේද, කොයි මන්ත්‍රීගේ වාහනේද තෙල් පෝලිමේ හිටියේ. පොඩි මිනිහට විතරයි ඔක්කොම.

රට තොට පිළිබඳ සොයා බැලූ අපට කොටුව දුම්රියපළ ආසන්නයේදී මාලනී මහත්මිය මුණගැසුණි.

මම පෞද්ගලික ආයතනයක රැකියාව කරන්නේ. අපට දැන් අවුරුදු ගාණකින් පඩිනම් වැඩිවුණේ නැහැ. ඒ වුණාට දවසින් දවස බඩු මිලනම් අහස උසට නගිනවා. දැන්නම් සම්බෝලයි බතුයිවත් කන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ගෘහණියක් වශයෙන් ගෙදර පාලනය ගෙනියන්නෙ කොහොමද කියල හිතාගන්න බැහැ. එළවළු ගිනි ගණන්. හොද්දකට ඕන කරන තක්කාලි, අමුමිරිස්, වගේ හැම දෙයක්මත් ගණන්. ඒවා දැන් රුපියල් 1000 කට කිට්ටු වෙනවා කිලෝ එක. ඔෆිස් එනකොට හොදි දෙකක්වත් අරන් එන්න ඕන. ඒත් දැන් තියෙන තත්ත්වේ අනුව කරවල, මස්, මාළු තියා එකක් එක්කවත් කන්න බැහැ. ගිය මාසේ රුපියල් 200 ට ගත්ත හාල්මැස්සෝ ග්‍රෑම් 250 දැන් 450 යි. රුපියල් 210 ට හාල් තියෙනවා කියලා ආණ්ඩුව කිව්වට ඒ මිලට තියෙන්නේ ටී. වී. එකේ විතරයි. මහත්තයට මාසෙකට බෙහෙත්වලටම ඕන රුපියල් 5000 කට වඩා. සල්ලිවලට ගන්නවත් බෙහෙත් නැහැ. අපිට මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුවට ගාණක්වත් නැහැ. සාමාන්‍ය වෙළෙඳ පොළේ මෙන්ම සුපිරි වෙළෙඳ සල්ද පාළුවට ගොස් ඇත. සහල්, කිරිපිටි, පරිප්පු, පාන්පිටි ආදිය තිබුණු රාක්ක ආදිය පාළුවට ගොස් ඇත.

සුපිරි වෙළෙඳ සල්ද දැන් බඩු නිකුත් කරන්නේ සීමා කිරීම්වලට යටත්වය. සුපිරි වෙළෙඳ සලකදී අපට අදහස් දැක්වූ බෝධිරත්න මහතා –

මම ගිය මාසේ ගත්තු බඩු ටිකම මේ මාසේ ගන්න ඒ වගේ තුන් ගුණයක් විතර වියදම් යනවා. රුපියල් 250ට තිබුණු බිත්තර පැක් එකම රුපියල් 550 ක් වෙනවා. මාළු ගිනි ගණන්. රුපියල් 200-300 ට තිබුණු ලින්නා පවා දැන් 1500 ක් විතර වෙනවා. මාළු මිල වැඩි දවස්වලට කරවල කෑවා. දැන් කරවල කන්නත් බැහැ. කරවලත් දැන් හැම එකක්ම 3000 ට කිට්ටුයි. බිත්තරයක් රු. 50 වෙනවා. දැන්නම් මේ රට ඉන්න හිතෙන නෙවෙයි යන්න හිතෙන රටක්. මැරෙන්න හිතෙන රටක් බවට පත්වෙලා. ජනතාව දැක්වූ අදහස් සත්‍යදැයි සොයා බැලූ අපට පෙනී ගියේ එය සත්‍යයක් බවයි. මීට පෙර රුපියල් 100 ට අඩුවෙන් තිබුණු එළවළු මිල දැන් මාළු, මිරිස්, තක්කාලි, දෙහි, අමුමිරිස්, කැරට්, සුදු ලූනු, රතු ලූනු ආදී සියල්ල රුපියල් 900 ද පසුකර ගොසින්ය. ලීක්ස්, පතෝල, වැටකොළු, දඹළ, මෑකරල් ආදී සියල්ල 500-600 අතර පවතී. එළවළු සියල්ල අසීමිත ලෙස ඉහළගොස් ඇත.

මීට මාස කීපයකට පෙර ග්‍රෑම් 100 රුපියල් 80 සිට 150 දක්වා විහිදුණු කරවල මිල මේ වන විට ග්‍රෑම් 100 රුපියල් 150 සිට 350 දක්වා විහිදේ. මාළු මිලද එසේමය. එම මිල ගණන්වලටවත් භාණ්ඩ නැත. බෙහෙත් නැත. හාල් මිල ගැසට්ටුවේ පමණක් ඇත. එයද තවත් දින කිහිපයකින් රිවස් වනු ඇත.

ජනතාව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමට ඡන්දය පාවිච්චි කොට තිබුණු භාග්‍යයත් නැතිකරගෙන ඇත. ජනතා පීඩනයනම් උපරිම සීමාවට පැමිණ ඇත. එය කොයි මොහොතේ හෝ පිපිරී යනු ඇත. සැබෑ ජනතා නැඟීටීමක් සිදුවන දිනය වැඩි ඈතක නොවේ. එදිනට ජනතාව දේශපාලනඥයන්ගේ නිවෙස් සොයා පැමිණෙන්නේ නැත. ඔවුන් එන්නේ මේ රට අගාධයට ඇද දැමූ ජනතා නියෝජිතයන් සොයාය.

වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා ගොවි ජනතාවට පවසන්නේ හැකිතරම් වගාකරන ලෙසයි. ඔහු වගාවට යූරියා දෙන බව පවසයි. ටික දිනකින් පොහොර නැති බව පවසයි. නැවත පොහොර නැවක් එන බව පවසයි. මෙලෙස වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරන්නේ 2005 සිටම එක දිගට හැම ආණ්ඩුවකම ඇමැතිකම් දරපු ඇමැතිවරයෙකි. අනෙකුත් දේශපාලනඥයන්ගේ කතාද ඊට දෙවැනි නැත. ප්‍රශ්නය වන්නේ උන් කියන දේ අසන්නට තවමත් පිරිසක් ඉතිරිව සිටින මුත් රටේ ජනතාව කියන දේ අසන්නට කිසිවෙක් නොමැති වීමය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment