තුර්කියේ පාලක මැදිරියේ වැරැද්ද හරිගස්සා ශ්‍රී ලංකා ගුවන් නියමුවා යානය ගෙනයයි

568

තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළ පාලක මැදිරියට සිදුවූ අතපසුවීමක් නිවැරදි කරගෙන සිය ගුවන් යානය පියාසර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකු සමත්වී ඇත.

ඉකුත් 13 වැනිදා ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ යූ. එල්. 504 ගුවන් යානයට අඩි 35,000 ක් ඉහළ අහසේ ගමන් කරන ලෙසට අන්කාරා ගුවන්තොටුපළ පාලක මැදිරිය දැනුම් දී ඇත්තේ එම මාර්ගයේ තවත් ගුමන් යානයක් ගමන් කරන බව නොදැනය.

මෙය අවබෝධ කරගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවා අඩි 33,000 ක් ඉහළ අහසේ ගමන් කරමින් තම යානය ආරක්‍ෂිතව මෙහෙයවා ඇත.

පසුව අන්කාරා පාලක මැදිරිය පවසා ඇත්තේ අඩි 35,000 ක් ඉහළ අහසේ තවත් ගුවන් යානයක් පියාසර කරන බැවින් එම මාර්ගයේ ගමන් නොකරන ලෙසය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමු නවින් ද සිල්වා විසින් මෙම ගුවන් යානය මෙහෙයවා ඇති අතර ඔහුගේ දක්‍ෂතාව මත ගුවන් යානය කිසිදු අනතුරකින් තොරව සිය ගමනාන්තය දක්වා පියාසර කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.

2022 ජුනි 13 වැනිදා ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ. එල්. 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත්වූ බව අපි තහවුරු කරන්නෙමු.

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේදී යූ. එල්. 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බවද අවධාරණය කරනු කැමැත්තෙමු. අපගේ ගුවන් නියමුවන්ගේ විචක්‍ෂණශීලී භාවයත්, ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්‍ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැලසිණි.

තවද යානය තුළ සිටි මගීන් කාර්ය මණ්ඩලය මෙන්ම වටිනා උපකරණ ද ආරක්‍ෂා කර ගනිමින් අදාළ අනතුර වළක්වා ගැනීමට සමත් වූ යූ. එල්. 504 ගුවන් නියමුවන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නොමඳ ප්‍රශංසාව හිමිවේ.

උපාලි ද සේරම්, ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment